Thursday, 25 April 2024

ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේට පළඳවන රනින් නිමවූ චූඩා මාණික්‍යය වැඳපුදා ගැනීමට බෞද්ධයන්ට අවස්ථාවක්

Posted On Friday, 01 November 2019 04:49

රනින් නිමවා මැණික් එබ්බවූ පාදම සහිත චූඩා මාණික්‍යය සියලුම බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීමට හැකිවන සේ මහජන ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ.



එහිදී චූඩා මාණික්‍යය සහිත පාදම 2019 නොවැම්බර් මස 18 දින සහ 19 වන දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ "මිහිලක මැදුර" ප්‍රදර්ශන මැදුරෙහිදී බැතිමතුන් හට වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවන බවත් නොවැම්බර් 20,21 සහ 22 යන තෙදින රුවන්වැලි සෑ භූමියේ සරසන ලද සුවිශේෂි කුටියකදී චූඩා මාණික්‍යය සහිත පාදම වැඳපුදා ගැනීම හැකි වන බවත් නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන  හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ(31)පැවැති මාධ්‍ය හමුවකදීය.

ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ විෂයෙහි ශ්‍රී විභූතිය සහ ආරක්ෂාව මුල්කොට ගනිමින් මේ වන විට කොත් වහන්සේගේ මූලික පිළිසකර කිරීම් කටයුතු විශ්ව පාරමී පදනම මඟින් ආරම්භ කර තිබේ.
මීට වසරකට පමණ ඉහතදී උණබට ආධාරයෙන් සලපතල මළුවේ සිට කොත්වහන්සේ වෙතටම ඉනිමඟක් ඉදිකොට විශ්ව පාරමී පදනම මඟින් දේශීය සහ විදේශීය විශේෂඥ කණ්ඩායමක් යොදවා පූර්ණ තත්ව පරීක්ෂාවක් පවත්වා අත්‍යවශ්‍ය බොහෝ දත්ත,පින්තූර මෙන්ම මිණුම් කටයුතු ද සිදුකරන ලදී.මෙම පූර්ණ තත්ව පරීක්ෂාවේදී තවදුරටත් චූඩා මාණික්‍යයේ සහ පාදමේ වර්තමාන තත්වය,සිදුවී ඇති හානිය සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු අලලා සම්පූර්ණ ශක්‍යතා වාර්තාවක්ද ලබාගන්නා ලදී.
දැනට වසර 80 ක් පමණ පැරණි කොත් වහන්සේ ඇතුළු චූඩා මාණික්‍යය කඩිනමින් වහාම පිළිසකර කොට යහපත් මට්ටමකට ගෙන නොආවොත් කොත් වහන්සේ ඇතුළු චූඩා මාණික්‍යය විශාල අනතුරකට මුහුණ දීමට ආසන්න බව පරීක්ෂණවලදී හෙලි වූ බව උන් වහන්සේ සඳහන් කළහ.

ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හුදෙක් සුවිශාල පුණ්‍ය ක්‍රියා මිස කිසිඳු ලෙසකින් හෝ දේශපාලන කටයුතු මේ සද්ක්‍රියාවට බල නොපාන බවත් කිසිඳු පුද්ගලයෙකුගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉෂ්ට නොකරන බවත් අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කර ජනතාව මුලා කරන ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් උන්වහන්සේ පැවසූහ.

එසේම චෛත්‍යරාජයාණන් වහන්සේගේ සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් කිසිම ආගමික කටයුත්තකට බාධා එල්ල වී නොමැති අතර සාමාන්‍ය පරිදි පිංකම් සහ වන්දනාමාන කටයුතු සිදුවෙමින් පවතින බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.