Friday, 29 March 2024

ඇතැම් මාධ්‍ය ආයතන මාධ්‍ය උපමාන සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරනවා- කැෆේ සංවිධානය කියයි

Posted On Thursday, 31 October 2019 08:26

ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කරන බව කැෆේ සංවිධානය කියයි.



එම සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂ අරවින්ද ඉන්ද්‍රජිත් මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන අනුගමනය කිරීම සෑම මාධ්‍ය ආයතනයකම වගකීමක් වන බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ), (ආ), (ඇ) (ඊ අනු ව්‍යවස්ථාව යටතේ මෙම මාධ්‍ය උපමාන හඳුන්වා දී ඇති බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ මෙම මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන බාධාවක් බවයි.

ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණය කිරීමට කැෆේ සංවිධානය විසින් වෙනම ඒකකයක් පිහිටුවා ඇති බවත් එහි දත්ත අවසන් මැතිවරණ නිරීක්ෂණ වාර්තාවට ඇතුළත් කිරීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ප්‍රවෘත්ති ප්‍රකාශවල කාල අවකාශ ලබාදීම පිළිබඳ සළකා බැලීමේදී එක් එක් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඇතැම් අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම ඇතැම් පුවත්පත් වල ප්‍රධාන සිරස්තරලය ඇතුළු ඉඩ පරාසය වෙන් කිරීමේදී සමතුළිත බවක් දක්නට නොමැති බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණයයි. විශේෂයෙන්ම ඇතැම් රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනී නාලිකා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වටා කේන්ද්‍රගත වූ මාධ්‍ය ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවත්, ඒ ඔස්සේ අනියම් ලෙස අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක් සිදුවන බවත් කැෆේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

ඇතැම් අවස්ථාවල අපේක්ෂකයෙකු අගතියට පත්වන ආකරයේ අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයට පවා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි සදාචාර සම්පන්න නොවන මාධ්‍ය ක්‍රියා ඉදිරි ජනාධිපතිවරණයේ නිදහස් හා සාධාරණ බව උල්ලංඝනය කරමින් ජනමතය විකෘති කිරීමේ තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ද කැෆේ සංවිධානයේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයා පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සදාචාර සම්පන්න ජන සමාජයක් බිහි කිරීමේ වගකීම ජනමාධ්‍ය සතු වන බවත් මාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමෙන් එම වගකීම මඟ හැරෙන බවත්, එයින් ජනතාව ජනමාධ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.