Thursday, 18 April 2024

ජනාධිපතිවරණයට අදාළව යුරෝපා විදෙස් නිරීක්ෂකයින් ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු අරඹයි

Posted On Thursday, 24 October 2019 09:04

නොවැම්බර් 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු පසුගිය 22 දින සිට ආරම්භ කර තිබේ.



ඒ අනුව, පූර්ව මැතිවරණ තත්ත්වය සොයා බැලීම සහ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර මෙන්ම සෙසු පළාත් හිද පළාත් නවයම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් යොදවා ඇති බව ද වාර්තා වෙයි.
යුරෝපීය පාර්ලිමේන්තු සාමාජික, මෙරට ප්‍රධාන නිරීක්ෂක ලෙස කටයුතු කරන මාරිසා මතියාස් මහත්මිය ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පවසා සිටියේ, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවේ සිය නිරීක්ෂණ කටයුතු වල නිරත වීම ශ්‍රී ලංකාවට විශාල වරප්‍රසාදයක් ගෙන දෙන්නක් බවයි. එමෙන්ම, නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍රා අයොන්නෝ (Dimitra Ioannou) මහතා කියා සිටියේ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව විසින් විවිධ මැතිවරණ කොට්ඨාස වල සිය නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

එමෙන්ම ඔවුන් ඉතා පළපුරුදු දිගු කාලීන නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවේ මෙවර නිරීක්ෂණ කටයතු සිදු  කිරීමට කටයුතු කරන බව ද මෙහි දී සඳහන් කරන ලදී.
යුරෝපා සංගම් මැතිවරණ අධීක්ෂණ කමිටුව මැතිවරණයට පෙර කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකරන බවත්, මැතිවරණයෙන් දින දෙකකට පසු මූලික ප්‍රකාශයක් නිකුත් කරන බවත් දිමිත්‍රා අයොන්නෝ පවසන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ හයවැනි වතාවට යුරෝපා සංගම් මැතිවරණ අධීක්ෂණ කමිටුවේ නිරීක්ෂකයින් 80 දෙනෙකු පමණ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වනු ඇති බව සඳහන් කෙරිණි.
නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පසු යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව විසින් පිළිගනු ඇතැයි යුරෝපා සංගම් මැතිවරණ අධීක්ෂණ කමිටුව අපේක්ෂා කරන බව දිමිත්‍රා අයොන්නෝ (Dimitra Ioannou) මහතා මෙහි දී සඳහන් කර ඇත.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව පැමිණ ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණ කිරීම සඳහා පමණක් බවත්, මැතිවරණ ක්‍රියා පටිපාටි සඳහා යෝජනා පැනවිය නොහැකි නමුත් යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් නියෝජ්‍ය ප්‍රධාන අධිකාරි
දිමිත්‍රා අයන්නෝ ((Dimitra Ioannou)) මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කමිටුව විසින් 2000, 2001, 2004, 2005, සහ 2015 වසරවල ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් යොදවා ඇත.