Friday, 19 April 2024

නෙළුම් කුලුන අද ජනතා අයිතියට පත්කෙරේ

Posted On Monday, 16 September 2019 08:36

උසැති නෙළුම් පොහොට්ටුවක හැඩයකින් යුතු නෙළුම් කුලුන මීටර් 300ක් නොහොත් අඩි 1167ක් උස දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුණ ලෙස අද ජනතා අයිතියට පත්වෙයි. කලකට පෙර කොළඹ විශාලතම ගොඩනැගිල්ල ලෙස නම් දැරූ පිට්ටු බම්බුව නමින් හැදින්වූ ලංකා බැංකු ගොඩනැගිල්ලද,

පසුව එම ස්ථානය දිනාගත් ලෝක වෙළද මධ්‍යස්ථානයද (WTC) පරදවමින් අද කොළඹ අහස සිඹිමින් නැග සිටින්නේ නෙළුම් කුලුණයි.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් ඇරඹෙන්නේ 2008 වසරේදීයි. පෑලියගොඩ ඉංජිනේරු සංස්ථා වැඩබිමට අයත් හෙක්ටයාර දහයක භූමියක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක් ඉදිකිරීමට තීන්දු කර තිබූ අතර ඒ සදහා පරීක්ෂණ කටයුතු ආරම්භ විය. එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතුවී තිබූ නෙළුම් මලක් දැකීමෙන් පසු යෝජිත කුලුන නෙළුම් දණ්ඩක් හා නෙළුම් මලක් ලෙස නිර්මාණය කිරීමේ අදහස ඔවුන්ට මතුවිය.එයට සියල්ලන්ගේම අනුමැතිය හිමිවී ඉන්පසු එහි සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්ඩක් හා එහි ඉහළ කෙලවරේ වූ නෙළුම් මලක හැඩය ගන්නා ලදී. කෙසේ වෙතත් මුලින් තෝරාගත් පෑලියගොඩ ප්‍රදේශයට නෙළුම් කුලුන හිමිකර ගැනීමේ වරම් නොලැබුණු අතර එය නගරයෙහි සංචාරය කරනා කාගේත් නෙත් සිත් පැහැර ගන්නා මනරම් දසුනක් වශයෙන් කොළඹ නගරයට හිමිවිය.

අද දින ජනතා අයිතියට පත්වූ නෙළුම් කුලුන සම්පූර්ණයෙන්ම රජය සතු ගොඩනැගිල්ලක් වන අතර එය අයත් වන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිරිවැය වන ඇමරිකන් ඩොලර් මිලියන 104.3 ක් හෙවත් රුපියල් බිලියන 12ක මුදල කුලුනෙන් ලැබෙන ආදායමෙන් ගෙවාදැමීමට නියමිතයි. නෙළුම් මල මගින් අර්ථ ගැන්වෙන්නේ ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුවයි. මෙහි කුලුනේ පාදම සදහාද නෙළුම් මලක හැඩය යොදාගෙන තිබේ. නෙළුම් දණ්ඩක පැහැය ගන්නා කොළ පැහැයෙන් කුලුන වර්ණ ගන්වා ඇති අතර නෙළුම් පෙති වල රාමුව වානේ වලින්ද, එහි පෙති වීදුරු වලින්ද නිමවා ඇත. වෙනස් වන වර්ණයන්ගෙන් යුතු එල්.ඊ.ඩී. බල්බ වීදුරු පෙති සදහා සවිකොට ඇති අතර වෙසක්, අවුරුදු හා නත්තල් වැනි උත්සව කාල වලදී ඒ ඒ උත්සවයන්ට ගැලපෙන වර්ණයන්ගෙන් එම පෙති විචිත්‍රවත් කිරීමට නියමිතයි. මෙලෙස අලංකාරවත් ලෙස සකසා තිබීමත් විශේෂිතවූ ආලෝකකරණයත් නිසා රාත්‍රී කාලයේදී සැලකිය යුතු දුරක සිට නෙළුම් පොකුණ දැකගැනීමේ භාග්‍ය ජනතාවට හිමිවෙයි.

නෙළුම් කුලුනේ කද නොහොත් නටුවේ සම්පූර්ණ උස අඩි 592කි. ඉන් පසුව පටන්ගන්නා නෙළුම් පොහොට්ටුවක කොටස තට්ටු 7කින් ඉදිකර ඇත. එය සකසා ඇත්තේ පහළ සිට ඉහලට පළමු හා දෙවැනි මහල් දෙක ගුවන්විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු වෙනුවෙන් වෙන්කර ඇත. නෙළුම් කුලුනේ මධ්‍යයේ ගමන්කර ඉහළට ගිය විට හමුවන පොහොට්ටුවේ පළමු මහල් දෙක වෙන් වන්නේ විදුලි සන්දේශ හා සන්නිවේදන අංශ වෙනුවෙනි. එය සාමාන්‍ය ජනතාවට නැරඹිය නොහැකි විශේෂිත ආරක්ෂිත කලාපයකි. අධි තාක්ෂණික ගොඩනැගිල්ලක් ලෙස හැදින්වෙන නෙළුම් කුලුනේ එක් ගොඩනැගිල්ලක සිට එක් එක් මහල වෙත ගමන් කල යුතු වන්නේ ස්වයං අවසර පත්‍ර ක්‍රමවේදයක් ඔස්සේ වීමද ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති විශේෂිත පියවරකි. මෙය මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් ජනතාවට දැකබලාගැනීමේ වරම් හිමිවේ. අද දින ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වෙන නෙළුම් කුලුනේ සමාරම්භක උළෙල සදහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතයි.
මෙලෙස අධි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් අධි සුඛෝපභෝගී ලෙස නිමවා ඇති අද සුපිපෙන ආසියාවේ උසම නෙළුම, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන වේගවත් ගමනට ආශ්ර්වාදයක් වනු නොඅනුමානය.