Friday, 19 April 2024

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාවට -අයිතිය උදුරාගන්න හදනවා නම් එයට එරෙහිව නැඟී සිටිය යුතුයි- කලාකරුවෝ

Posted On Friday, 05 July 2019 15:32

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද කලාකරුවෝ පවසති.



චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජූලි 05 වන දින ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙහිදී චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ අනුර රත්නායක මහතා පැවසූවේ 81 සිට 84 වසර දක්වා සිනමා කර්මාන්තය ප්‍රගතශීලීව ගලා ආ බවත්, එම වර්ෂ වලදී වසරකට සිනමාපට 30කට වඩා ඉදිරිපත් වූ බවත් 88,89 වසර වල තරුණ අසහනය නිසා රටේ ඇතිවූ කලබලකාරී තත්වයත් සමග චිත්‍රපට කර්මාන්තය ක්‍රමානුකූලව පසුබෑමකට ලක්වූ බවද පවසා සිටියේ ය

තවද 2001 වර්ෂයේදී චිත්‍රපට බෙදාහැරීම පුද්ගලික අංශයට පැවරීමත් සමඟ වැඩි මූල්‍ය ප්‍රතිශතයක් පුද්ගලික අංශයට ගලාගිය බවත් දක්ෂ නිර්මාණකරැවන් රැසකට තමා නිෂ්පාදනය කළ චිත්‍රපට පෙන්වීමට නොහැකිව අසරණ වූ බවද පැවසීය.

පෞද්ගලික අංශයට අබලන් වූ සහ වැසීගෙන යන චිත්‍රපට ශාලා නඩත්තු කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට පැවරැණද ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු නොකළ නිසා සිනමා ශාලා වැසීයාමට ලක්වූ බවත්, සිනමා රසික ප්‍රවර්ධනය ක්‍රමයෙන් අඩුවූ බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.. එමෙන්ම චිත්‍රපට තේරීමේදී ඔවුන් හට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවද අවධාරණය කළේ ය.


චිත්‍රපට සංස්ථාව සතු චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය මෙතෙක් පෞද්ගලික අංශය සතුව පැවතීම නිසා වාරණයට ලක්වූ බවත් එය මෙම වසරේ ජුනි 18 දින සිට ඉවත්වූ බවත් දැන් චිත්‍රපට බෙදාහැරීමේ තනි අයිතිය චිත්‍රපට සංස්ථාව සතු බවත් අනුර මහතා පැවසීය.

මෙම චිත්‍රපට ධාරා 03ක් යටතේ පෙළගස්වන බවත් ඔහු කියා සිටියේ ය. එනම් කලාත්මක චිත්‍රපට, වාණිජ චිත්‍රපට සහ කලාත්මක හා වාණිජ සම්මිශ්‍ර චිත්‍රපට වශයෙනි.

තවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිපියන 100ක් ලබාදෙන බවත්, හොද චිත්‍රපට 25ක්සෑදීමට චිත්‍රපට නිෂ්පාදකවරැන්ට අවස්ථාව සලසා දෙන බවත් ඔහු සිහිපත් කර
සිටියේ ය.

ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ, චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය උසාවි නියෝගයකින් ලැබී ඇති බවත්, මෙය නැවත උදුරාගැනීමට හදනවා නම් සෑම කෙනෙකුම මීට එරෙහිව නැගී සිටිය යුතු බවයි.

එමෙන්ම චිත්‍රපට සංස්ථාව අහෝසි කළ යුතු බවට හඩක් එළියෙන් මතුවන බවත්, ඒ හඩට ඉඩ නොදිය යුතු බවත් විද්වතුන් සැමදෙනම එක්වී චිත්‍රපට සංස්ථාව රැකගැනීමේ වැඩපිළිවෙලක් ඇරඹිය යුතු බවත් අවධාරණය කළ අතර මෙම ගැටලුවට යුක්ති සහගත දෙයක් කිරීම සදහා මාධ්‍ය හසුරැවන ලෙසට මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද සිදු කළේ ය.


යහපත් දේශයක් ගොඩනැගීමට සිනමා කලාවේ භාවිතය වැදගත් යැයි සිතන විද්වතුන් වශයෙන් සිනමා කලාව රැකගැනීමට කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය හා මුදල් සමග සම්බන්ධ වූ කලාවක් වූ නිසා චිත්‍රපට කර්මාන්තය වෙනත් කලාවන්ට වඩා වෙනස් බවත්, ගතවූ කාලයේ බොහෝ දෙනා චිත්‍රපට කර්මාන්තයේ වෙනසක් බලාපොරොත්තු වූ බවත් පැවසීය. පසුගිය කාලයේ නිෂ්පාදකවරුන්ට මුහුණපෑමට සිදුවූ බලපෑම් හමුවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පටන්ගත් මොහොතේ සිට ඇයි අපි මෙතරම් විදවන්නේ යනුවෙන් ඔවුන් මැසිවිලි නැගූ බවද  පැවසීය.

මෙම කඩා වැටීමත් සමග වෘත්තීය නිෂ්පාදකවරැන් ලෙස අද සිටින්නේ තුන්දෙනෙකු හෝ හතරදෙනෙකු වැනි සුඵතරයක් බවත් සුනිල් ආරියරත්න මහතා කියා සිටියේ ය.  චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය හිමිවීමත් සමඟ සංයුක්තව සිනමාවට විනකටින පිරිස් හෙළිදරව් වීමත් නිසා ක්ෂණිකව සිදුවූ උඩුයටිකුරැ වීම චිත්‍රපට සංස්ථාවට, සභාපතිනිය ඇතුඵ එහි කාර්ය මණ්ඩලයට අභියෝගයක් බවත් එයට මුහුණ දීමට චිත්‍රපට සංස්ථාවට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි පතන බවද පැවසීය.

ප්‍රවීන රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේ, 1971 පනත මගින් චිත්‍රපට බෙදාහැරීමේ බලය චිත්‍රපට සංස්ථාව සතුව පැවතියත් එය පෞද්ගලික අංශයෙන් උදුරාගැනීමත් සමග සිනමාවට අයිති බිලියන ගණනක මුදලක් ඔවුන් සූරා කෑ බවත් එය රාජ්‍ය මුදල්අවභාවිතාවක් බවත් කීය. නැවතත් සිනමාවට ස්වර්ණමය යුගයක් උදාකිරීම සඳහා මෙම කලාකරුවන් එකතුවී සිටින බවත් රවින්ද්‍ර රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

 මේ අවස්ථාවට ප්‍රවීන කලාකරුවන් රැසක් එක්ව සිටියේ ය.