Thursday, 28 March 2024

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් මිල දී ගතහැකි නව අලෙවිහලක් ඉසුරුපායේ විවෘතයි

Posted On Tuesday, 02 July 2019 05:29

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් ඇතුලු නිෂ්පාදන අඩු මිලට ලබා ගත හැකි අලෙවිහලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි පැලවත්ත ඉසුරුපාය ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඉකුත් දා විවෘත විය.



සංස්ථාවේ අභ්‍යාස පොත් සියයට 30 ක වට්ටමකින් මෙහි දි මිලට ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අලෙවිහල විවෘත කිරීමේ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

ඉසුරුපායෙහි කාර්යමණ්ඩලයට මෙන් ම පැලවත්ත අවට පාරිභෝගිකයන්ට සංස්ථාවේ උසස්ම තත්ත්වයේ  නිපැයුම් මිලට ගතහැකි පහසුකම් ලබාදීම මේ අලෙවිහළ විවෘත කිරීමේ අරමුණ බව ද අමාත්‍යවරයා  පැවසීය.

1968 දි එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අධ්‍යාපන හා සංස්කෘතික උප ඇමති ගාමණී ජයසූරිය මහතාගේ උපදෙසින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ආරම්භ කළේ පාසල් පොත් මුද්‍රණය සඳහා ම බවත් පසුව 1980 එජාප රජය නොමිලේ පෙළ පොත් ලබා දීම ආරම්භ කළ පසු මේ දක්වා ම ගුණාත්මක පෙළපොත් නිෂ්පාදනයෙහි මෙන් ම අභ්‍යාස පොත් නිපදවීමේ ප්‍රමුඛත්වය සංස්ථාවට හිමි වි ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, කලක් අඩපණව පැවති මේ සංස්ථාව තම අමාත්‍යාංශය යටතට පැවරුණු පසු අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් නව යන්ත්‍ර ලබා ගැනිමට සළස්වා හැකිතාක් පෙළපොත් මුද්‍රණයට අවස්ථාව ලබා දීම හා ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව අභ්‍යාස පොත් නිපදවීම සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම සපයා දී ඇති බවත් සඳහන් කළේය.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති  එස්.ඒ .බිනර ජයවර්ධන මහතා අදහස් දක්වමින් 1968 පාර්ලිමේන්තු පනතකින් මේම සංස්ථාව ආරම්භ කළේ පාසල් පොත් මුද්‍රණය කිරීමේ අරමුනණින් බවත් 1981 සිට අභ්‍යාසපොත් නිෂ්පාදනය ද ඇරම්භ කළ බවත් ඉසුරුපායේ විවෘත වූයේ සංස්ථාවේ 12 වැනි අලෙවිහල බවත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් වූ පසු මෙම සංස්ථාවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දී එහි ප්‍රගතිය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පූර්ණ අනුග්‍රහය ලබා දුන්  බවත් සඳහන් කර සිටියහ.