Tuesday, 16 April 2024

සාමාන්‍ය වේලාවෙන් පසුවත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීමට වැඩපිළිවෙළක්

Posted On Wednesday, 15 May 2019 07:06

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව ද රෝහල් තුළ දී සිදු කිරීමට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ඒකඟත්වය පළ කර ඇත.



සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර දක්වමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒකගත්වය පළ කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති බෝනොවන රෝග කවුන්සිලයේ මාසික රැස්වීමේ දී මෙම ඒකගත්වය පළ කරන ලදි.

මෙම අවස්ථාවට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී ජී.ආරියරත්න මහත්මිය සහ විෂන් 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකරණ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් එක්ව සිටියහ.

මෙහිදී විෂන් 2020 ජාතික වැඩසටහන පිළිබදව ද සාකච්ඡා කළ අතර, දුප්පත් අක්ෂි රෝගීන්ට උපැස්යුවල කඩිනමින් ලබාදීමට ද සාකච්ඡා කළ අතර, ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදීමට ද තීරණය කරන ලදි. විවිධ අක්ෂි ආබාධ වලට ගොදුරුවූවන් ලක්ෂ 12 කට අධික සංඛ්‍යාවක් සිටින බව ඇස්තමේන්තු කොට ඇත. එම රෝගීන්ට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කඩිනමින් සිදු කිරීමට සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කිරීමට නියමිත අතර, ඒ සදහා අවශ්‍ය අක්ෂි කාච සහ ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදු කිරීම මගින් පොරොත්තු ලේඛණය අවම කිරීම ඉතා වැදගත් බවත්, එය අහිංසක දුප්පත් ජනතාවට සහනයක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ ආකාරයට හෘද රෝග සැත්කම් වලට ගොදුරු වූ රෝගීන්ට පැය 24 පුරාම සැත්කම් සිදු කිරීමට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් එකගත්වය පළ කළ අතර, එම වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා අවශ්‍ය අක්ෂි කාච සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීරණයක් මත රෝගීන්ට නොමිලේ ලබාදෙන අතර, අක්ෂි කාච ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු අධ්‍යක්ෂවරුන් එක්ව සිටියහ.