Saturday, 18 November 2017

ඇලඩින්ගේ කුමාරිය

Posted On Saturday, 31 December 2016 08:02

“මචං, මෙයා කැත ගහෙන් වැටෙන කොට තිබිච්ච හැම අත්තකම හැප්පිලා වගේ නේද?”

සාප්පු සංකීර්ණයේ එකදු කඩයකින් වත් යමක් මිල දී ගැනීමට වත්කමක් නැති කොල්ලො රැලක් නර්මදා අසලින් කියාගෙන ගියහ.

“වැනියන් කළු වැනීයන්, කැත නාඹර වැනීයන්” වැනි පද කුඩා කළ පටන් තමන් වෙත එල්ල වූ බව දන්නා නර්මදා මෙවැනි නොහොබිනා කතා වලින් කුපිත වූයේ නැත.


කාර්යාලයේ තම මේසය සෑමදාම මල් සැරසුමකින් ලස්සන කිරීමට ඇය පුරුදුව සිටියාය. සමහර විට අහළ පහලින් යන අයගේ නෙත් තමන් කෙරෙන් මෑත් කර මල් දෙස යොමු කිරීමට තමන් ගත් උත්සාහයක් වන්නට ද පුළුවනැයි ඇයට සිතිණ. මල් වලට කවදත් ප්‍රිය කළ ඇය දැන් මේ මල් සාප්පුවට ගොඩනැඟුනේ ද අළුත් මල් කීපයක් රැගෙන යාමටය.

“නර්මදා මිස් ගුඩ් මෝනින්!”

“ගුඩ් මෝනින් ශීලා, මොනවද තියන අළුත් මල්?”

“ඇන්තූරියම්ස් ආවා. ලොකු ඒවා.”

“කාගෙන්ද ගෙනාවේ මේවා? හරිම ලස්සනයි. ගොඩ දවසක් තියාගන්න පුළුවන් වෙයි.”

“නර්මදා මිස් මල් ගන්න හැටියට මල් සාප්පුවක්ම දා ගත්ත නමි හොඳ ගානක් ඉතුරු කර ගන්න තිබුණා.”

“මං මල් සාප්පුවක් දැම්මොත් ශීලාගේ බිස්නස් වලට පාඩුයිනෙ.”

ශීලාගේ මල් සාප්පුවට මල් සපයන අය නර්මදා දැන සිටියාය. නර්මදාගේ යහළු මිත්‍රාදීන්ගේ තවාන් වලින් එන මල් ඇය මෙතැනට පැමිණ මිල දී ගන්නා බව ශීලාට රහසක් නොවීය. ඒ අය නර්මදාට ඇති තරම් මල් නොමිලේම දෙනු ඇතැයි ශීලාට නිසැකය. එහෙත් කිසි ‍දිනක ඒ ගැන ප්‍රශ්න නොකිරීමට ශීලා වගබලා ගත්තාය.

“සරලාගේ උපන් දිනේ තව දවස් දෙකකින්. එයාට දෙන්න හොඳ ලස්සන මල් කළඹක් ගෙනියන්න පුළුවන් වෙයි මේ ඇන්තූරියම්ස් දාලා.”

“මේවා පලිපානලගේ වත්තෙන්. සරලා එහෙ යන්නෙ නැති නිසා දැකල නැතුව ඇති මේ මල්.”

“එහෙනම් මට මල් විස්සක විතර අරන් තියන්න ශීලා.”

ලෝබ නැතුව තම යෙහෙළියන්‍ට මල් අරන් දෙන නර්මදාට කියා මල් ගැනීමට කවුරුවත් තම කඩයට ගොඩ වැදී නැති බව ශීලා මෙනෙහි කළාය.

කාර්යාල මේසයේ තැබීමට ගත් මල් තුනක් එතූ සව් කඩදාසිය දරුවකු ලෙසින් තුරුළු කරගත් නර්මදා කලබලකාරී සඳුදා උදෑසන තදබදයට එකතු වූවාය.

නර්මදාට පෙළපතක් ගැන උදම් අනන්නට නොහැකිය. වත්කමකට ඇත්තේ උපාධියත්, දේශපාලන බලපෑම් වලින් තොරව ලබාගත් රැකියාවත්ය. විකෘති පෙනුමකට ඔන්න මෙන්න තිබියදී නිර්මිත වූ ඇයගේ මුහුණුවර ස්වභාව ධර්මයා කරන ලද සරදමක් විය. සිහින් ඉඟක් ද, ඊ‍ට සරිලන මනා දේහයකට හිමිකම් කිව්වද, ඇගේ මුහුණ බලා කතා කිරීමට අදිමදි නොකළේ එහෙමත් කෙනෙකි.

“ඔයාට පිටරටකට ගිහින් ඔය නළු නිළියෝ කරන ශල්‍ය කර්මයක් කරගෙන එතෑකිනෙ.”

වරක් නර්මදාගේ හිතවතියක් ඇයට අවවාද දුන්නාය.

“ම‍ට සල්ලි නෑ අනේ ඕවට වියදම් කරන්න. ඇරත් මගේ මූණ මම දකින්නෙ කණ්ණාඩිය ඉස්සරහට ගියාම විතරයිනෙ.”

“ඒත් නර්මදා හොඳ සැත්කමක් කරගෙන ලස්සන වෙලා ආවම හැන්ඩ්සම් කොල්ලෙක්ව දා ගන්න පුළුවනිනෙ.”

ජීවත්වෙන්නේ කොල්ලෙක් යාළු කර ගන්නම ද යන්න ගැන නර්මදා ඇයගෙන් අසන්නට සිතුවත් සරෝජීනී එසේ උපදෙස් දුන්නේ තමා කෙරෙහි වූ ළැදියාව හෙයින් නර්මදා මඳ සිනහවකින් කතාව නතර කළාය. පැකිළීමකින් තොරව තම හැඩරුව ගැන කතාබහට නර්මදා මුහුණ දුන්නත් අන් අයට එය බෙහෙවින් අසීරු බව නර්මදා දැන සිටියාය.

කිසි දිනක නර්මදා ආත්මානුකම්පාවෙන් තැවුනේ නැත. තම මුහුණුවර බලා අන් අයට දැනුණ වේදනාව තමනට නොදැනුනේ මන්දැයි සමහර විටෙක ඇය තනිවම සිතුවාය. තටිටු නිවාසයක ජීවත් වූ නර්මදා තම නිවස අලංකාරව තබා ගත්තේ ගෙදරට යන එන අය සිටි නිසා නොවේ. ඇයව මුණ ගැසීමට පැමිණියේ කලාතුරකින් කෙනෙකි. ඒ අය ආවේ පණිවිඩයක් දීමට හෝ යමක් ඉල්ලා ගැනීමට මිසක ඇය හා සුහද සාමීචීයේ යෙදී සිටීමට බලාපොරොත්තුවකින් තොරවය.

කාර්යාලයට ගොඩ වූ නර්මදා මේසය මත වූ මල් පෝච්චියත් රැගෙන කැන්ටින් කාමරයට ‍පිය නැඟීය. කැන්ටිමෙන් ගලා ආ දෙබස කන වැදුන ඇය අරින්නට දිගු කළ අත දොර අගුලෙන් ඉවත් කර වටපිට බැලුවාය.

“බෑ අනේ. එයා ආවොත් පාටි එක නිකම්ම හුලං බැස්සා වෙයි. කාටවත් මූණ දීහා බලල කතා කරන්න බැරි වුනාම හරිම අප්සෙට්.”

“හැමෝ‍ටම එන්න කියලා එයාට විතරක් නොකියා ඉන්නෙ කොහොමද සරලා?”

“මං දන්නෑ අනේ. ඒත් ගෙන්න ගත්තොත් අනිත් අයට පවි. එයාටත් පවි. කවුරුත්ම කතා නොකර හිටියොත්.”

මල් පෝච්චියත් අළුතින් ගෙනා මල් කීපයත් අතැතිව නර්මදා ආපසු තම මේසය කරා ගියාය.

“ඇයි මිස්, වතුර එන්නැද්ද ටැප් එකේ?”

“ආ සිරිදාස, මට හදිසි වැඩක් මතක් වුණා. මේක අරන් ගිහින් වතුර ටිකක් දාලා ගෙනැත් දෙන්න ප්ලීස්.”

සරලාගේ උපන්දින සාදයට තම පැමිණීම කරදරයක් වනවා නිසැකය. තමා කොන් වී සිටියොත් එය සරලාගේ විනෝදයට බාධාවකි. කාර්යාලයේ හැමෝටම ආරාධනා කරන සරලාට නර්මදා වෙත පමණක් ආරාධනාවක් නොකර සිටීමට ද නොහැකිය.

උපන්දිනේ වැටෙන්නේ බදාදා. ඒත් එයා පාටිය ගන්නවා ඇත්තෙ සිකුරාදා හරි සෙනසුරාදා හරි වෙන්නැති. වෙන ගමනක් යන්න තියනවා කියන්න පුළුවන්. දවස දැන ගන්න ක්‍රමයක් ඇත්නම් හරි.

“සිරිදාසව මිස්ට වීරසිංහ එක්කන් ගියා මොනවද පෙට්ටි වගයක් උස්සන්න. මේ වතුර ඇති ද මන්දා මල් වලට.”

කට ළඟටම වතුර පිර වූ මල් පෝච්චිය රැගත් සරලා නර්මදාගේ මේසයට ළඟා වුනාය.

“පෝච්චිය පිරෙන්නම වතුර දාන්නෙ නැහැ. ටිකක් වතුර දාලා හැමදාම වතුර මාරු කරන්න ඕන. එතකොට ගොඩක් කල් මල් තියා ගන්න පුළුවන්.”

“මං මල් වලට ආසයි. ඒත් තියාගන්න හැටි නමි ඔයා තරම් දන්නෙ නැහැ.”

“සමහර මල් කල් තියාගන්න ලේසියි. ඔයාගෙ උපන් දිනේට දෙන්න ලස්සන මල් ටිකක් දැක්ක. ඒවා ගොඩක් කල් තියාගන්න පුළුවන් ජාතියේ ඒවා.”

සරලාගේ මුහුණ අඳුරුව ගිය බව දුටු නර්මදා යටිතොල හපා ගනිමින් තම වැරැද්ද නිවැරදි කර ගැනීමට යත්න දරුවාය.

“මට නෑඳෑවෙන දුවෙක් ඉන්වයිටි කරල තියෙනවා පාටියකට. ඒකෙන් ගැලවෙන්න අමාරුයි. ඔයාගෙ පාටියට ආවේ නැත්නම් තරහා නෑනෙ සරලා?”

දිනයක් වේලාවක් ගැන සඳහනක් නැතුව නර්මදා සරලාට ගැලවීමට මඟක් පාදා දුන්නාය. සරලාගේ මුහුණට මඳ ආලෝකයක් වැටුණි.

“මොන වගේ පාටියක් ද නර්මදා? මම නමි රෑ කෑම දෙන්නෙ. ඉරිදා. ඊ ළඟ දවසෙ උදේට වැඩට එන්නත් ඕනනෙ. ඩාන්සිං එහෙම තියන්න ගියොත් ගොඩක් රෑ වෙනවා. අහළ පහළ අයත් එක්ක සද්දෙ ගැනත් බලන්න එපායෑ.”

“දුව තියන්නෙ කොස්ටියුම් පාටියක්. එයාට ඇඳුම් මහන්නත් මම කළින් යන්න ඕන. අර අරාබි කතන්දරයේ ඉන්න ඇලඩින්ගේ කුමාරිය විදියට ඇඳගෙන යන්න මම හිතා ගෙන ඉන්නෙ. එතකොට ඇස් විතරනෙ පේ‍න්නෙ. දුව නම් සීගිරි අප්සරාවියක් වෙන්න හදනවා. නැන්දා ඒකට තදින්ම විරුද්ධයි. මාත් එක්ක යන නිසා තමා දූට යන්නත් අවසර දුන්නෙ.”

“අපිට කියන්නකො කොහොමද කියලා ගිහින් අවාම. අයියෝ මම තරහ නැහැ ඔයා මගේ උපන් දිනයට ආවේ නැති වුණාට. ඔෆීස් එකේ කාණ්ඩෙමනෙ ආයෙ එකතු වෙන්නෙ. අපිත් දවසක එහෙම විචිත්‍ර වස්ත්‍ර අඳින වේෂ නිරූපන සාදයක් දාමු නේද?”

සැහැල්ලු හිතකින් සරලා ඇයගේ මේසයට පිය නැඟීය. ස්ථානෝචිත පුඥාවක් පහළ කර දීම ගැන නර්මදා තම මොළයට ස්තූති කර ගත්තීය.

‍මෙය 1999 ජූනි 7 වැනිදා නවලිය පත්‍රයේ පළ වූවකි. එසේම “අරුණි ශපීරෝ වෙතින්” බ්ලොග් සටහනේ කෙටිකතා යටතේ ද එකතු කරන ලදි.

Read 188 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!