Saturday, 18 November 2017

අරලිය මැදුර

Posted On Saturday, 31 December 2016 08:01

‘අරලිය මැදුර’ යන්නෙන් අතින් ලියූ ඉංග්‍රීසි නාම පුවරුවක් උස්සගෙන දුම්රියෙන් බහින අය ඉදිරියේ කුසලානි හිටගෙන. කොළඹ ඉඳන් ආ කෝච්චියෙන් බැහැපු තරුණ කොල්ලො කාණ්ඩයක් කුසලානිගෙන් මල් ගෙනාවෙ නැද්ද කියල අහල ගියා. වන්දනාවේ යනවා කියල ට්‍රිප් යන අයද කොහෙද.


“මම ආවෙත් ඔහාට යන්න තමයි.”

ගමන් මල්ලක් කරේ දමා ගත් මැදිවියේ තරබාරු කාන්තාවක් කුසලානි ළඟට කිට්ටු වුනා.

“හලෝ! මමත් ඔයාගේ කණ්ඩායමට අයිති.”

තද පාට පාට ලොකු මල් පිරිච්ච චීත්ත රෙද්දකින් මහපු දිගු කලිසමකින් සැරසුන සුද්දියක් ඉංග්‍රීසි වචන නුහුරුවට හසුරවමින් ඔවුන් සමීපයට ආවාය.

“එන්න. එන්න. වාහනේ නවත්තලා තියෙන්නෙ මේ පැත්තෙ.”

තිදෙනාම අසුන් ගත් පසු ලා නිල් පැහැති මිට්සුබිශී එල් 300 වෑන් රථය දුම්රිය පොළෙන් ඉවතට ඇදුනි. වාහනය අයිති අරලිය මැදුර යන ස්ථානයටයි. එය දේශීය ආයුර්වේද වෛද්‍ය විධි සහ දේශීය විදේශීය සම්බාහන ක්‍රම, රූප ලාවණ්‍යය පිළිවෙත් ප්‍රයෝජනයට ගෙන කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන රුව රැක ගැනීමේ හා නිස්කලංක සුවය විඳිත හැකි මධ්‍යස්ථානයකි. දැන්වීම් වල පළවෙන්නේ එසේ වුවත් මෙහි වැඩි වශයෙන් පැමිණෙන්නේ ශරීරයේ බර අඩු කර ගන්නට තැත දරන අයයි.

ලංකාව දුප්පත් රටක් වුවත් එන්න එන්නම සිය හිතවත් කොළඹ නෝනලා නම් මහත් වෙන බව දුටු සූක්‍ෂම ව්‍යාපාරිකාවක් අරලිය මැදුර පටන් ගත්තාය. ඒකාකාරී ජීවිතයෙන් මිදී සැප සොයනා සල්ලි ඇත්තෝ මෙහි අඩුවක් නැතිව පැමිණෙති. දැන් දැන් කට වචනයෙන් පමණක් එන අයගෙන් අරලිය මැදුර පිරී ඇත්තෙන් ඔවුන් දැන්වීම් වලට මුදල් වැය කරන්නේ ද නැත.

“මගේ නම බාර්බරා. මම වැඩ කරන්නෙ එම්බසි එකක.”

සුද්දිය තමාව හඳුන්වා දුන්නීය. තමන් කවුදැයි ආවේ කොහෙන්දැයි හැමටම කියා පෑම විදේශිකයන්ගේ සිරිතකි. ඇහැව්වත් නැතත් ඔවුන් තමන්ගේ නම් ගම් මුණ ගැසෙන හැමටම කියති. අනිත් අය කිසිම සද්දයක් නැත. කුසලානි රියැදුරු සමඟ වාහනයේ ඉස්සරහ අසුන් ගත්තාය. සීට් හයක් ඇති වාහනයේ මැද කෙරෙන කතාවට ඇය ඇහුම් කන් දුන්නා පමණි. මධ්‍යස්ථානයට එන අමුත්තන් සමඟ ඇයි හොඳයි කතා වලට ඇයට අවසර නැත.

“මම සෝමා. මම කොළඹ අන්තර්ජාතික පාසැලක ඉංග්‍රීසි උගන්වනවා.”

සුද්දි ගැන දුක හිතිලා ද කොහෙද අනික් තැනැත්තිය කීවාය.

සුද්දිටත් ඉංග්‍රීසි උගන්වන්න වෙයි වගේ. කුසලානිගෙ හිතට ආවා. මෙතැන කිහිප දවසක් දිවා රෑ එකට කාලය ගෙවන්නෝ බර අඩු කර ගන්නවා පමණක් නොව වෙනත් පුද්ගලික ප්‍රශ්නයන්ට විසඳුම් ද සොයා ගනිති. නන්නාඳුන අය දෙතුන් දවසකින් කළණ මිතුරියන් බවට පත්ව නැවත මුණ ගැහෙන්නට ආපසු මෙහි එති.

සුදු වැල්ලෙන් වැසී තිබුන මිදුල මැද මිට්සුබිශී එල් 300 වෑන් රථය චර බර ගා වැලි යට කරගෙන ඇවිත් නතර වුනේ වැඩි සද්දයකින් තොරව. ඒ නිසල පරිසරය රැක ගන්න වගේ හැමෝම වාහනේ දොරවල් ඇරියෙත් වැහුවෙත් හෙමිහිට.

“අපි ඉස්සෙල්ලම ලියාපදිංචි වීමේ වැඩ කරල ඉමු. කරුණාකර එන්න මා එක්ක.”

මැද මිදුලකින් යුත් පරණ වලව්වක ඉස්තෝප්පුවේ කෙරවලක සිටි පිළිගැනීමේ නිලධාරිනිය ඔවුන් වෙත පැමිණ කිරි සුදු දත් පෙළක් විදහා සිනාවක් පෑය.

“අරලිය මැදුරෙ ප්‍රතිපත්තිය තමයි උදෙන් ඇහැරෙන එක. හවස හත අට වෙද්දි අපි වැඩ ඉවරයි. නමයට ලයිට් නිවනවා. සිංදු අහන්න බැහැ. රූපවාහිනි නැහැ. හොඳ නින්දක් ලබන අයගෙ ඇඟේ ග්‍රේලින් නිෂ්පාදනය පහළ යනවා. ලෙප්ටින් නිෂ්පාදනය ඉහළ යනවා. ග්‍රේලින් කියන්නෙ ඇඟේ බර වැඩි කරන හෝර්මෝනයක්. හෝර්මෝනය අඩු වුනාම බර අඩු වෙනවා. ලෙප්ටින් අඩු වුනාම කෑම රුචිය වැඩියි. ඉතින් නින්දෙන් ලෙප්ටින් හෝර්මෝනය ඉහළ ගියාම ඊ ළඟ දවසෙ වැඩිය බඩගිනි වෙන්නෙ නෑ. හොඳ නින්දකින් පස්සෙ අපි කරන ව්‍යායාමත් ප්‍රතිඵලදායක ලෙසින් කරන්න ඇඟට ලැබෙන ශක්තිය වැඩියි.”

පිළිගැනීමේ නිලධාරිනිය කාන්තාවන් දෙදෙනාට කාල සටහන් ආදිය විස්තර කර දෙමින් කීවාය.

මේ වගේ තැනකට ආව කියල මට විශ්වාස කරන්නත් බැහැ යයි තමාගේ භාෂාවෙන් සුද්දිය ඇයටම කියා ගත්තීය. හැර දමා තිබුන ජනෙල් පලු වලින් සීතල සුළඟක් කාමරයට ගලා ආවේ ඇය සතුටට පත් කරමිනි. අත් බෑගයට අත දමා සොයන සිගරැට් පැකැට්ටුවේ අවසාන සිගරැට්ටුවත් බී හමාර කළ බව ඇයට මතක් වුනි. දුම්රියේ ගමනින් පැවති විඩාවත්, සිහිල් සුළඟින් නැහැවුන කාමරයේ සුවපහසු වාතාවරණයත් බාර්බරාව නිදි දුව වෙත කැඳවා ගියේ සිගරැට්ටුවට තිබූ ඇල්ම අමතක කරමිනි.

ගමන් මල්ලේ දමාගෙන ආ ඉංග්‍රීසි නවකතා පොත් කීපය ඇඳ අසල වූ කෙටි මේසය මත තබා, ඉන් පළමුව කියවන්නේ කොයික දැයි සිතන්නට ගත් සෝමා, පොත කියවන ගමන් වෙනදා මෙන් තොල ගාන්නට කිරි තේ කෝප්පයක් හා විස්කෝතුවක් ඇත්නම් හොඳ යයි සිතුවාය. නින්දට සැරසුන ඇයට තෝරා ගත් පොත කියවද්දී මේසය මත වූ ගුරුලේත්තුවේ ඇල් වතුරෙන් පමණක් පිපාසය සංසිඳවා ගන්නට සිදුවිණ.

“නැඟිටින්න වෙලාව හරි. තව මිනිත්තු දහයකින් උදේ කෑමට වාඩි වෙන්න අවශ්‍යයයි.”

දොරට තරමක සද්දයකින් දැමූ තට්ටුවකින් අනතුරුව නැඟුන ක්‍රියාශීලී කටහඬෙන් අවදි වූ නිල්මිණිට තමා ඉන්නේ කොහේදැයි අවබෝධයක් නොවීය.

“මෙච්චර උදේ පාන්දරින් මම කවදාවත්ම නැගිටිලා නැහැ.”

පොරෝනයෙන් ඔළුව වසා ගත් ඇය ඇඳේ අනිත් පැත්තට හැරී නැවතත් නින්දට වැටුණාය.

තේ කෝපි හා ඉංග්‍රීසි කෑම වට්ටෝරුවකින් පිළියෙල වූ උදේ ආහාර රැගත් කාමරය හොයා ගන්නට කිසිවෙකුටත් අමාරු වුනේ නැත. නිදිබර දෑසින් කෑම මේසයට වාඩිව සිටි අමුත්තන් අතර කඩිසර ගමනින් එහා මෙහා ගිය සේවිකාවන් කෑම බෙදන්න පටන් ගත්තේ ඇඟමෑලි කඩමින් පියවි සිහියට එන විටම කන්න පටන් ගන්න යයි ඇවටිලි කරන්නා සේය.

“මගෙ නම ජෙසිකා. උදේ කෑම ඉවර වුනාම අද දවසේ කාල සටහන බෙදනවා. මෙතැනට එන අරමුණ සාර්ථක කර ගන්න අපි කාල සටහන් පිළිපදින්න අවශ්‍යයයි. කෑම වේලාවල් විශේෂයෙන්ම මතක තියා ගන්න. පරක්කු වෙලා ආවොත් මෙතැන කෑම දෙන්න කෙනෙක් නැහැ. අරලිය මැදුරේ පහසුකම් වලින් ඔබ උපරිම ප්‍රයෝජන ගනීවි කියල අපි හිතනවා.”

එහෙම කිව්වෙ අර උදේ පාන්දරින්ම හැමෝවම නැගිට්ටෙව්ව ජෙසිකා. ඇය උපදෙස් දුන්නෙ ඉංග්‍රීසියෙනි.

කෑම මේසය පිරී තිබුනේ මාංශජනක ධාතූන්ගෙන් පරිපූර්ණ ආහාර වලිනි. මුලින්ම ඒ ගැන කුතුහලයට පත් වුවද, දවසින් දෙකෙන් එහි අරුත වටහා ගැනීමට අපහසු නොවුනි. මාංශ ජනක ධාතූන්ගෙන් වැඩි ආහාර පමණක් ගැනීමෙන් කෙටි කලක දී වැඩි බර ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකි බව හැමටම වැටහී තිබුණි.

සති දෙකක දී ඉක්මණින් බර අඩු කර ගන්නත්, ඒකාකාරී කාර්ය බහුල ජීවිතයෙන් මිදෙන්නටත් මෙය කදිම ස්ථානයකි. එහි සේවාවන්ට අය කෙරුනේ පොඩි පහේ මුදලක් නොවේ. නමුත් නිතරම අරලිය මැදුර කාන්තාවන්ගෙන් පිරී තිබුණි. රුව රැක ගැනීම හා මානසික සහනයේ පුනර්ජීවනයට පා තබනු කැමති ධනවත් කාන්තාවෝ අපමණය.

“ප්‍රෝටීන් කාලා බර අඩු කරගන්න පුළුවන් ඩයට් මම කරල නැහැ.”

තෙවන දිනයේ දී සෝමා ළඟින් වාඩිගත් සුද්දිය ඉතාමත් ආසාවෙන් ආහාර බුදින්නට වූවාය.

ඉඳි ආප්පයක් සමඟ පොල් සම්බෝලයක් තිබුනා නම් කෙතරම් අගනේ දැයි රාත්‍රී භෝජනයට අසුන් ගත් සෝමාට සිතිණ. මේසයේ අනිත් කෙළවරෙහි ඉන්නා, තම නෙත් යුවල කෑම පිඟාන දෙස පමණක් යොමු කරගෙන ආහාර ගන්නා හැඩ රුවැති තරුණිය දැක පුරුදු කෙනෙකු සේ දැනෙයි. එහෙත් ඇය කවුදැයි සෝමාගේ මතකයට එන්නේ නැත. රූමතියට ඇති ප්‍රශ්නය කුමක් දැයි සෝමා සිතින් කුතුහලයට පත් වූවාය. යුවතිය තරබාරු නැත. ඇය කිසි දිනෙක උදේ ආහාරයට නොපැමිණෙයි. ඇයව දහවල් කාලයේ දී ව්‍යායාම පංති වල දී ද දකින්නට නොලැබේ. කෑම වේලාවල් වල දී ද කිසි කෙනෙකු හා ඇය කතා බහක් නැත.

“ඔයාගෙ නම මොකක්ද?”

“මම සුරංගනී.”

“හලෝ සුරාංගනේ. මම බාර්බරා.”

ඔවුන් දෙදෙනා කතාවට වැටුනහ. අරලිය මැදුරේ අමුත්තන්ට තමන් පැමිණි කාරණය හැරෙන්නට අනිත් ඕනෑම මාතෘකාවක් ගැන කතාවට අවසර තිබුණි.

“ලංකාවෙ අපිට හරි මේ වගේ කෑම ගන්න අමාරුයි. මට බත් කන්න පුළුවන් තුන් වේලටම.”

සුරංගනී කියන්නීය.

“මට නම් මේක කියාපු ඩයට් එක.”

බාර්බරා තවත් කෑම තම පිඟානට බෙදා ගත්තීය.

උදෑසන ආහාර නිම කර ගැහැණු කණ්ඩායම ජෙසිකා සමඟ මීදුමින් පිරුණු කඳුකරයේ ඇවිදින්නට ගියහ. දින කීපයක් යද්දී උදේ ආහාරයට තිබූ දොඩම් පළු හැරෙන්නට මස් පිඟන් හිස් වුනේ බාර්බරා අතින් පමණි. සීනි රහිත උණු තේ බොන්නත්, දවස පුරා පොල්පලා, රණවරා ආදී ඇඟ සිහිල් කරවන පානයන් ඉක්මණින් හිස් කරන්නට කාන්තාවන් සියල්ලම පුරුදු වුනහ. මේ පානයන්ගෙන් කුස පිරුණ ද එයින් බඩගිනි ගතිය නැති වුනේ නැත. කුසගිනි අමතක කරන්නට අරලිය මැදුරේ කටයුතු හැමෙකකටම වාගේ ඔවුන් සහභාගී වූහ.

දවස පුරා ව්‍යායාම් පංති පැවැත්වුනි. ඉන් ඇඟට අමුතු වෙනසක් දැනුනි. හුමාලයෙන් පිරි කාමරයක වූ උණුවතුර පොකුණෙහි බැස ඉන්නටත්, තවත් විටෙක මඩ පොකුණක බසින්නටත්, පාට පාට ඖෂධීය ආලේපයන් වලින් මුහුණ බෙල්ල තවරා නව ජීවනයක් ලබන්නත් ඔව්හු පුරුදු වූහ. මසෙන් පිරුණ කෑමෙන් ලැබෙන තෘප්තිය මඳ හෙයින් කෑම කාමරයේ ගත කළ වේලාව ඔවුන් අතර එන්න එන්නම අඩුව ගියේය.

අතැඟිලි හා දෙපා හි නියපොතු පිරිසිදු කර සම්බාහනය කරද්දී සුවපහසු ආසනයේ ඇයට නින්ද ළඟා වූ අවස්ථා සෝමා මතක් කළාය. හැමදාම කලබලයේ පාසැලට දුවනා ඇයට නියපොතු කපන්නට පවා ඉඩක් ලැබෙන්නේ එහෙමත් දවසකය.

“කොළඹ දී හැම තිස්සෙම තානාපති කාර්යාලයේ වැඩට දුවනව. මේ වගේ නිදහස් වෙලාවක් ලැබෙන්නෙ නෑ.”

සෝමාගේ සිතුවිලි දෝංකාරය කරමින් බාර්බරා කීවාය.

“මගේ දුව මට උපන් දිනයට දීපු තෑග්ග මේ. එයා තමයි කිව්වෙ මමී යන්න නිවාඩුවට කියලා. එයාත් ඇවිත් තියෙනවා මෙහෙ.”

සෝමා පිළිතුරු දුන්නේ අරලිය මැදුර පිළිබඳ ඇති වුනු ප්‍රීතියෙනි.

“මගේ බර අඩු වෙලා කිලෝ පහක්. සිගරැට් එකක්වත් බිව්වේ නැහැ ආවට පස්සෙ. ඔයත් එක්ක කතා කරල මගේ ඉංග්‍රීසිත් දැන් හොඳයි.”

සුද්දිට අරලිය මැදුරේ නීති රීතිත් අමතක වෙලා. සති දෙකකින් පස්සෙ බර අඩු කර ගත්ත කාන්තාවෝ අළුතින් දැන හඳුනා ගත් යෙහෙළියන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් පිටව යන්න සූදානම් වුනේ සැහැල්ලු බවින් සිත ගත දෙකම පුරවා ගෙන.

“අර ලස්සන කෙල්ල නිළියක්. බැන්ඳට පස්සෙ හරි මහත් වෙලා. මෙහෙ ඇවිත් බර අඩු කරගෙන. දැන් හැම අවුරුද්දෙම මෙහෙ එනවලු.”

සිංහලත් බැරුව ඉංග්‍රීසිත් බැරුව බාර්බරාත් හොයාගෙන තියන දේවල් යයි අසා සිටි සෝමා සිතුවාය.

Read 207 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!