Saturday, 18 November 2017

කටපූච්චම් ඔළුබක්කා

Posted On Saturday, 31 December 2016 07:57

“ලියුම දෙනකොට කීවනේ මං කිව්වොත් නාහා ඉන්නෙ නැහැ කියල.”

සුදු වතින් සැරසුන වයසක තලස්තුනා තැනැත්තිය කිව්වේ හැමෝටම ඇහෙන්න. ඒත් ඇය කියන්න ගණනකට ගත්තෙක් අහල පහලක නැහැ. හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුනෙ කවුන්ටරයට හේත්තු වෙලා ඉන්න මනා දේහයකින් යුත් ඉලන්දාරියා දිහාට.


“බොහොම අමාරුවෙන් මම ඉන්ටව් එකක් ඉල්ල ගත්තෙ.”

“ඉන්ටව් නෙමෙයි දරුවො ඉන්ටවිව්. එහෙම අහපුවම දුන්න එක පුදුම තමා.”

ආයෙත් කියන්නෙ වයසක තැනැත්තිය. ඒත් එයා එතැන නැහැ වගේ අනෙත් හැමෝගෙම කතා බහ.

“ගිහින් හිටියා පැය දෙකක්. ඉඳ ගන්න තැනකුත් නෑ. වතුර පොදක් බොන්න ලැබුනෙත් නැහැ. අන්තිමට හැබැයි ආවා සර් සහපිරිවරත් එක්කම.”

“කවුරු කවුරු ද අයියේ එයැයි එක්ක ආවේ?” එහෙම ඇහැව්වෙ බෝතලයක් ඇරලා ඒක ඇතුලෙන් තල ගුලියක් ඩැහැ ගන්න හදපු සුපුනි. ඒත් උලුවස්සට බර දීලා කතාවට කන් දෙන මුදලාලි හාමිනේ කිසි කතාවක් නැතුවම දාපු අතට තල ගුලියක් අහුවෙන්න කළින් බෝතලේ සුපුනි වෙතින් අහක් කරන්න කඩිනම් වුනේ කතාවට බාධාවක් නොකර. බෙරිවෙන සුපුනිගේ මුහුණ නොදැක්කා වගේ මුදලාලි හාමිනේ තලගුලි බෝතලේ මූඩිය තවත් ටිකක් තද කරල වැහැව්වා.

“නිතරම එකට යන එන සේරම උන්නා. ටීවී එකෙන් දැකලා දැකලා හරියට මං අඳුනනවා වගේ හිතුනා කාණ්ඩෙ දැක්කම.”

“ඔය ළමයගෙන් මොනවැයි ඇහැව්වේ?”

“ඇතුල් කාමරයකට එක්කන් ගියා. මට පැත්තකින් වාඩි වෙන්න කියලා ඒ කාණ්ඩෙ ඉංග්‍රීසියෙන් ලොකු සාකච්ඡාවක් දැම්මා. දෙතුන් දෙන්නෙක් ගුටි කෙළ ගන්න ඔන්න මෙන්න සයිස් එක. මාත් බලන් උන්නා. ජොබ් එක ඒ වෙලාවෙම පටන් ගන්න වෙයි කියල.”

“අනේ මං දන්නෑ ළමයො ඔය රස්සාව වගේ නෙමේ.”

එහෙම කියන්නේ මුදලාලි හාමිනේ. තලගුලි බෝතලෙන් මෑත් වෙලා බිත්තියකට පිට දීලා ඉන්න ඇය බඩට වමත හිර කරගෙන ඊට ඇණ තියා ගත් මිටි කළ දකුණත අත්ල සිය නිකට හිර කරගෙන කතාවට සම්මාදම් වන්නීය.

“අයියා ගමේ උන්නත් කාන්දම වගේ ඇදිලා යන්නේ ගුටි කෙළියටමනෙ. ඉතින් ජොබ් එකට ගුටි ඇනලා කීයක් හරි හොයා ගත්තම මොකො. අපිට ටීවී එකෙන් දකින්නත් ඇහැකි වෙයි.”

“මෙයාගෙත් කට. ගිහින් පොතක් බලා ගත්ත නම් මොකද මේ වැඩිහිටියන්ගේ කතා වලට හූ මිටි තියන්න එන්නෙ නැතිව.”

මුදලාලි හාමිනේ එහෙම කිව්වට සුපුනිව එතැනින් යවන්න තැතක් ගත්තේ නැහැ. තරුණයා සුපුනිට රැව්වා. ඒත් සුපුනි කියපු කතාවෙන් ඔහු කය මඳක් සීරුවෙන් කෙළින් කර ගත්තේ ඒ කියමනෙන් තරමක ආඩම්බරයක් ඇති කරගත් නිසා.

“මං හිතුවෙ කොළුවා ලියන රස්සාවක් හොයා ගන්න ගියැයි කියල.”

කවුරුත් ගණන් නොගත්ත කාන්තාව නැවතත් කියන්නේ කාගෙවත් අවධානය නොලබා. කණ්ඩායමක් එකතු වෙලා කතාබහ කරද්දි ඉන් එක් අයෙක් කියන වදන් මෙහෙම කාටවත් නොඇසෙන ආකාරය කෙතරම් පුදුම ද?

“උඹ ඉතින් වැඩ ටිකක් පෙන්නුවේ නැද්ද?”

ඔහුගේ ගමේ කල්ලියේ සගයෙක් අසයි.

“හැබෑටම සුදුසුකම් මොනවැයි ඇහැව්වෙ?”

මැදිවියේ පසුවන අවිවාහක පිරිමියා අසන්නේ ඔහුටත් මෙවන් රස්සාවක් සොයා ගත හැකි දැයි දැන ගැනීම පිණිස ය.

“මොන සුදුසුකම් ද මාමේ, ලොක්කා හැමෝටම වචනයයි දෙකයි කිව්වෙ. කෙරුමො සේරම මී මැසි බෙනයට දුම් පිම්බ වගේ කටවල් වහ ගත්ත. කිසිම සද්දයක් නෑ. කවුරුත් හෙලවුනෙත් නැහැ.”

“අයිය කවද්ද දැක්කේ මී මැසි බෙනයකට දුම් පිඹිනවා.”

“දෙනවා හොම්බට එකක් සුපුනි ඔන්න ආයෙ..”

“යන්නයි කිව්වෙ සුපුනි ඇතුලට ගිහින් පොතක් බලාගන්න.”

හිනාවකින් මුව සරසා ගෙන එසේ කීව මුදලාලි හාමිනේ ඒ පාර තලගුලි බෝතලේ ඇරලා සුපුනිගේ අතේ තලගුලියක් තිබ්බ. සව් කඩදාසි දවටනයයි තෙල් කඩදාසියයි අහක් කරල තලගුලිය කටේ දාගත්ත සුපුනිගේ කට පිරුණ නිසා වෙන වදනක් පිට වුනේ නැහැ. ඒත් සුපුනි ඇතුල් කාමරයකට නම් ගියේ නැහැ. තරුණයා කතාව අතිශයෝක්තියෙන් නැවත පටන් ගත්තෙ විරාමයක් සිදු නොවුන ගානට.

“ඊ ළඟට බොස් මා දිහා බලපි. මාර බැල්ම. ඇඟ හිරි වැටිල යනවා. ඉබේම නැඟිටෙනවා.”

“සිංහලෙන් ද බං කතා කළේ?”

“ඔව් මාමේ.”

“මොනවැයි ඇහැව්වේ බන්. කරාතේ එහෙම ඉගෙන ගත්තෙ කාගෙන් ද ඇහුව ද?”

“හිටපන්කො කියන්න. මං ලෑස්ති වෙලා ගියේ ටෝක් එක දෙන්න. ඒත් බොස් ඇහැව්වේ නම ගම නෙමෙයි. අර කාණ්ඩෙ කතා කරපුවා තේරුණා ද කියල.”

රැස්ව ඉන්නා සියල්ලෝම මවිතයෙන් තරුණයා දෙස ඇස් අයාගෙන බලා සිටිති. සුදු වතින් සැරසුන තලස්තුනා කාන්තාවගේ පමණක් මුවේ යාන්තමෙන් සිනාවක ඡායාවක් ඇත.

“එහෙන් මෙහෙන් වචනයක් දෙකක් අල්ල ගත්තට ඔය කොළඹ ඉංග්‍රීසි සරස් බරස් ගාල කියන කොට මුකුත් තේරුණේ නම් නැහැ. අනික බොස්ගෙ මූණ දැක්කම ඇත්තම කියවුනා. මං කීවා මට ඒ අය කියපු මුකුත් තේරුණේ නැහැ කියල. හැබැයි… හැබැයි…” තරුණයා වමතේ ඇඟිල්ලක් උරුක් කරයි. ඔහුට බාධා කරන්නට කෙනෙක් නැත. තලගුලිය ගිල දමා ඇතත් සුපුනී ද නිහඬ ය. සියල්ලෝම පසුවන්නේ කතාවේ ඉතිරිය දැන ගන්නටය.

“සර් හිත පිරෙන්න හිනාවක් දාලා අහපි කවදද ජොබ් එක පටන් ගන්න කැමති කියල.”

තරුණයා ජයග්‍රාහී හිනාවකින් කාමරය සිසාරා නෙත් යොමු කරයි. අපේ කොළුවත් කොළඹ රස්සාවක් හොයා ගත්තැයි යන සතුටු සිත් වලින් පිරුණු රැස්ව සිටි ගැමියෝ ඔහුට ප්‍රශංසාව ප්‍රකාශ කරන්නේ සිනා ඉතිරෙන මුහුණු වලිනි.

“පුතා ගිහින් ටික දොහොකින් මාත් ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්.”

කඩවසම් මාමණ්ඩිය කියන්නේ සුදුසුකම් අහන්නේ නැත්නම් ඉංග්‍රීසි අවශ්‍යයත් නැත්නම් මටත් ජොබ් කට්ටක් හොයා ගන්න අමාරු වෙන එකක් නැහැ යන සිතුවිල්ලෙන්.

“කවද්දැයි අයියා යන්නෙ?”

සුපුනි අසන්නී ය.

“සඳුදා ඉඳන් පටන් ගන්නවා. ආයෙ බල බල ඉන්න දෙයක් නෑනෙ.”

සිය ඇඳුම් රැගෙන ගියා නම් තරුණයා දැනටමත් වැඩ පටන් ගෙන ය. එතරම් ඉක්මණින් රැකියාවක් ලැබේ යයි ඔහු නොසිතූ නිසා සිය බඩු මුට්ටු රැගෙන යාමට ඔහුට ගමට අවුත් යන්නට සිදු විය.

“කොළඹ නැන්දා එයාගෙ ගෙදර ඉඳන් වැඩට යන්න ඇහැකි කියන්නෙ.” එසේ කියන්නේ මුදලාලි හාමිනේ.

“මගේ කියලා තැනක් හොයා ගන්නකම් විතරයි ඔන්න මම ඒකට කැමති.” තරුණයා පවසන්නේ රටක් රාජ්‍යයක් අල්ලා ගත්තෙකු ලෙසිනි.

“අයියේ… අයියේ… වාහන පේළියක් එනවා. මේ පැත්තට එන්නෙ.”

හති දමමින් දුව ආ කලිසම් කොටයක් පමණක් ඇඳි කුරුට්ටන් කොල්ලෙක් බෙරිහන් දෙන්නේ ආශ්වාසය ප්‍රාශ්වාසයටත් ඉඩක් නොතබමිනි.

“කවුද බලපන්. මගේ අප්පේ. වාහන පේළියක්ම නේද?”

“ආණ්ඩුවෙ වාහන වගේ.”

“ළඟ පළාතක රැස්වීමක් එහෙම තියේද අපි නොදන්න.”

“මේ දවස්වල මොන රැස්වීම් ද?”

“අයියාව කොළඹ එක්කන් යන්න එනවා වෙන්නැති.”

සුපුනි කිව්වේ විහිළුවට වුනත් ඒක ඇහුණ ගමන් කඩයේ රැස්ව උන් සැවොම කුකුස සමනය කර ගන්න වාහන පේළිය නවත්වන සද්දයත් සමඟ නැඟිට ගත්හ. වාහන වලින් ඇහෙන වැහෙන දොර සද්දය මැද කඩිසර ගමණින් හැඩිදැඩි තරුණයෝ පිරිසක් කඩය වටකර ගති. ඉන් එක් අයෙක් අතේ ඇති වෝකි ටෝකී එකකට සෙමෙන් කතා කරමින් කඩයේ ඇති ඇතුල් කාමර වෙත ද ඔළුව දමා බැලීය. ඉන්පසු ඔහු හිස ඉහළටත් පහළටත් සොලවා පරිසරය සුරක්‍ෂිත බව ඔහු හා කතා කරන්නාට දැන්වීය.

වාහන පේළියේ එකක දොරවල් මෙතෙක් ඇරී නොතිබුණි. වටපිටාවේ උන් සතුන් සිව්පාවුන් ද එතැනට එක්ව සිටින මනුෂ්‍යයන් සමඟ නිශ්ශබ්දතාවය රැක්කහ. වාහනයේ දොරට ළඟා වු කඳ කෙළින් කර ගත් තරුණයෙක් එහි දොර ඇරියේ ගෞරවයෙනි. මෙතෙක් කඩේ කතා බහට මූලික වූ පුද්ගලයා වාහනයෙන් බැස්සේ ය. සමූහයක් සේ එක්ව ගත් ගැමියන්ගේ ආශ්වාසයේ හඬ කෙනෙක් ඇහුම් කන් දුන්නා නම් ඔහුට ඇසෙනු ඇත.

එකිනෙකාගේ මුහුණු දෙස බල බලා ඉදිරියට එන මහා පෞරුෂයෙන් පිරි පුද්ගලයාට ඉඩ දී ගැමියෝ පැත්තට වූහ. ඔවුන් ඈත් මෑත් වන්නේ ප්‍රතාපවත් තැනැත්තාට ගමේ තරුණයා පහසුවෙන් සොයා ගනු පිණිසය.

“සිරිසේන මැඩම්. මදැයි හොයා ගන්න තියෙන අමාරුව. අපිට නොකිය මෙහෙට වෙල සැප ගන්නව නේද?”

අයා ගත් කටවල් වලට රිංගන්න මැස්සෝ නොසිටි නිසා හොඳයි.

“ලියුම දැක්කම ඒත් මං කල්පනා කළා. නෑ නෑ වෙන්න බෑ මෙච්චර කලක් රටේ හිටියා නම් ඇයි අපට කතා නොකළේ කියලා.”

කලබලයේ අනෙක් සැවොම නැඟිට ගත්ත ද තලස්ථ තැනැත්තිය තවමත් වාඩි ගෙන ය. අමතකව ගොස් සිටි ඇය අසලින් අමුත්තාට අසුන් ගන්නට පුටු කිහිපයක් ඉදිරිපත් කෙරුණි. ඒ ඩිංගට කෙනෙක් දිව ගොස් කුරුම්බාවක් ද කපා ගෙන ඇවිදින්.

“සිරිසේන මැඩම් ඉල්ලන කිසි දෙයක් මං බැහැ කියනවද? මැඩම් කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ. ඔය ළමයට…” මෙහිදී ඔහු හිසෙන් ගමේ තරුණයාව පෙන්වයි. “…රස්සාවක් හොයල දෙන්න කියල එව්ව ලියුම දැක්කම මම විශ්වාස කළේ නෑ. ඇත්තටම කියන්නේ මම විශ්වාස කළේ නෑ.”

හොඳින් බලන්නෙකුට මෙම දෙදෙනම එක හා සමාන පෞරුෂයෙන් බලවත් බව පෙනෙනු ඇත. එහෙත් සෑහෙන කාලයක් ගමේ වාසය කළත් සුදු වත හැඳි කයිවාරුවෙන් තොර සිරිසේන මහත්මිය ගැන කිසිවෙක් කුතුහලයක් ඇති කර නොගත්හ. දැනුදු සිරිසේන මහත්මියගේ වර්ණනාව කියන්නේ අමුත්තා ය. තමන් දන්නා හඳුනන සුප්‍රසිද්ධ හිතවතුන් ඇති ඇය ගැන මෙතෙක් කාලයක් අප දැන නොසිටියේ කෙසේද යන්න ගැමියනට අරුමයකි. රැස්ව සිටින සියල්ලන් ම ඇය කියන්න දැන ගනු පිණිස කන් දික් කර ගෙන සිටිති. සභාව බලා ඉන්නේ සුප්‍රසිද්ධ හිතවතා කියන්න නැවතෙන තෙක් ය. ඔවුනට දැන ගන්නට අවශ්‍ය සිරිසේන මහත්මියගෙන් පිටවන වදනයි. සියල්ලෝම බලා සිටිති. අමුත්තා තොර තෝංචියක් නැතුව තව තවත් ගුණ කියයි. සිරිසේන මහත්මියගේ මුවේ ඇත්තේ යාන්තමෙන් ඇඳුනු සතුට පිරි සිනහවක් පමණි.










Read 181 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!