Thursday, 28 March 2024

උත්සාහයද? වාසනාවද?

Posted On Saturday, 31 December 2016 07:22

බොහොම කලකට ඉහත රජ කෙනෙක් වාසය කළා. රජ්ජුරුවොයි ඇමැතිතුමයි හරි යාළුයි. දෙන්නා හමු වුණාම රටේ තොටේ දේවල් විතරක්ම නොවෙයි නොයෙක් දේ ගැන කතා කරනවා. තර්ක විතර්ක ඇති වන අවස්ථාත් තියෙනවා. දෙන්න යාළුවො නිසා ඒවා බුද්ධියෙනුයි අවබෝධයෙනුයි තේරුම් ගන්නවා. දවසක් රජ්ජුරුවොයි ඇමැතිතුමයි කතා කර කර හිටියේ මිනිහෙක් දියුණු

වෙන්නෙ උත්සාහය හින්දද නැත්නම් වාසනාව හින්දද කියලයි. රජ්ජුරුවන්ගෙ අදහස වුණේ මිනිහෙක්ගේ දියුණුවට උත්සාහවන්තකම ඕනෑ බවයි. ඇමැතිතුමා ඒකට එකඟ වුණේ නෑ. ඔහු කිව්වේ වාසනාව නැතුව උත්සාහයෙන් විතරක් මිනිහෙකුට දියුණු වෙන්න බෑ කියලයි.

ඉතිං රජතුමයි ඇමතිතුමයි නොයෙක් හේතු ඉදිරිපත් කරමින් මේ ගැනම කතා කර කර උන්නා. ඒ වෙලාවෙ වෙළෙඳාමේ යන දුප්පත් කොහු වෙළෙන්දෙක් යන්නට ආවා. මට පුළුවන් ඕනැ නම් මේ වෙළෙන්දා එක මාසෙකින් පොහොසතකු කරන්න කියලා රජ්ජුරුවො ඇමැතිතුමාට කිව්වා. ඇමැතිතුමාත් කිව්වා එහෙනම් කරලා බලමු කියලා. රජතුමා කොහු වෙළෙන්දාට කතා කරලා මුදලක් අතට දීලා කිව්වා ඒ මුදලින් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්ට කියලා. ඒ වෙනුවෙන් උත්සාහ කරන්න කියලාත් කිව්වා. ඇමැතිතුමා එවෙලෙත් කිව්වේ වාසනාවත් ඕනෑ කියලමයි. කොහු වෙළෙන්දැගේ හිත පුරා සතුට ඇතිවුණා. හිනයක් දකිනවා වගේ හැඟීමකුත් ඇති වුණා. රජු දුන් මුදලෙන් සුළු ප්‍රමාණයක් අතට අරගෙන ඉතිරි මුදල රෙදි කැබැල්ලක ඔතලා ඔළුව උඩ තියාගෙන ආ ලොකු පොට්ටනියෙ හැංගුවා. අතේ ඇති මුදලෙන් තව කොහු ටිකකුයි ගෙදර ගෙනියන්න කෑම ටිකකුයි ගත්තා.

එක පාරටම ‍කොහේදෝ ඉඳල ආව උකුස්සෙක් අර කෑම ඉව වැටිලා වෙළෙන්දා වෙළෙන්දා වටේ කැරකෙන්න වුණා. කැරකිලා කැරකිලා කෑම කියලා හිතාගෙන අර සල්ලි ඔතපු රෙදි කෑල්ල අරගෙන ඉගිළිලා ගියා. වෙළෙන්දට දුකයි. මොනව කරන්නද? ගෙදර ගිහින් බිරියට වෙච්ච ඇබැද්දිය කිව්වා. ආයෙම පරණ පුරුදු ජීවිතේටම වැටුණා. මාසෙකට විතර පස්සෙ රජ්ජුරුවොයි ඇමැතිතුමයි අර කොහු වෙළෙනදා හොයා ගෙන ආවා. වෙ‍ෙළන්දා තමන්ට සිදුවූ දේ කියලා දුක් වුණා. රජ්ජුරුවො ආයෙම තව මුදලක් දී මින් මත්තට පරෙස්සමින් වැඩ කරන්න කියලත් අවවාද කළා.

කොහු වෙළෙන්දා ඒ මුදල ලෙලි පුරවපු කළගෙඩියක් ඇතුළෙ හැංගුවා. වැඩි පරෙස්සමට බිරියටවත් කිව්වේ නෑ. දවසක්දා වෙළෙන්දා පොළට ගියා. ලෙලි එකතු කරන මිනිසෙක් ගේ ළඟින් යද්දි බිරියට ලෙලි ගොඩ ගැන මතක් වුණා. බිරිය ලෙලි ටික ගෙනත් දුන්නෙ කළගෙඩියත් එක්කමයි. ඒත් ඒ ලෙලි පරණ නිසා ගෙනිච්ච මිනිහටත් ඵලක් නැති වුණා. ඔහුත් ඒ ටික එහෙම්ම තමන්ගෙ ගෙදර මුල්ලකට ගෙනත් දැම්මා. පොළට ගිහිං ආ කොහු වෙළෙන්දා කළගෙඩිය හොයන්න පටන් ගත්තා. බිරිය සිදු වුණු දේ කිව්වා. වෙළෙන්දා බොහෝ සෙයින් පසුතැවිලි වුණා. බිරින්දෑත් තමන්ට ඒ බව නොකී නිසා දුක් වුණා. රජ්ජුරුවොයි ඇමැතිතුමයි ආයෙම මාසෙකින් ඇවිත් දියුණු වීම ගැන විපරම් කළා. සිදු වුණු සියල්ලම වෙළෙන්දා දුක් සුසුම් ලමින් කිව්වා. දැන් ඉතිං රජ්ජුරුවො පරාදයි. ඊළඟට ආවේ ඇමැතිතුමාගේ වාරේ. ඇමැතිතුමා පුංචි 'මුරිච්චියක්' ඇහිදලා අර වෙළෙන්දා අතට දුන්නා. දීලා මෙහෙම කිව්වා.

“මිනිහෙකුට වෙලාව හොඳනම් දියුණු වෙන්ට මේ මුරිච්චිය වුණත් ඇති,,

ඊට පස්සේ රජ්ජුරුවොයි ඇමැතිතුමයි රජ වාසලට යන්න ගියා.

එදා හැන්දෑවෙ මාළු අල්ලන්න යන්ට ලෑස්ති වෙච්ච දැල්කරුවෙක් තමුන්ගෙ දැල් පන්නෙ සෝදිසි කරද්දි ඒ‍කෙ මුරිච්චියක් අඩු බව දැන අවට හැම තැනම හෙව්වා. පස්සෙ කඩමණ්ඩියට ගියා මුදලටවත් ගන්න. ඒත් දැල් පන්නෙට ගැළපෙන මුරිච්චියක් තිබුණේ නැහැ. යාළු මිත්‍රයන්ගේ ගෙවල්වලත් විපරම් කළා. ඒත් තිබුණේ නැහැ. අන්තිමට නිකමට වගේ අර කොහු වෙළෙන්දාගෙනුත් අහලා බැලුවා. ඇමැතිතුමා දුන් අර මුරිච්චිය ගෙනත් පෙන්නුවා. ‍සෝදිසි කරද්දි මුරිච්චිය හරියට හරි. දැන් ඉතින් රෑට මාළු අල්ලන්න යන්න පුළුවන්. දැල්කරු‍ට හරිම සන්තෝෂයි. ඔහු සතුටින්ම මෙහෙම කිව්වා. “මට මේ කරපු උදව්ව හින්දා මට රස්සාවට යන්න පුළුවන් වුණා. ඒකට හිලව් වෙන්ට අද මගේ දැලට ඉස්සරවෙලාම අහුවෙන මාළු කූරියා මං ඔබට තෑගි කරනවා,,. එදා රෑ දැලේ මුලින්ම ලොකු මාළු කූරියෙක් පටලැවුණා. දැල්කරු පහුවදා උදෙන්ම මාළු කූරියා කොහු වෙළෙන්දාට ගෙනත් දුන්නා. වෙළෙන්දා අර මාළුවා කැපුවා. මාළුවගේ බඩ ඇතුළෙ විශාල දියමන්තියක් තිබුණා. ඔහු දියමන්තිය සෝදිසි කරන්නට වුණා. මේ කොහු වෙළෙන්දාගේ අල්ලපු ගෙදර හිටියෙ රත්තරං බඩු හදන මිනිසෙක්. මේ වෙලාව‍ රන්කරුගේ බිරිය ගින්දර ටිකක් ඉල්ල ගන්න හිතාගෙන වෙළෙන්දගේ ගෙදරට ගොඩ වුණා. ඇය දැක්කා කොහු වෙළෙන්දාගේ අතේ තියෙන දියමන්තිය. රන්කරු එය තමන්ට විකුණන්න කියලා ඇවිටිලි කළා. වෙළෙන්දා ඒ දියමන්තිය රන්කරුට විකුණුවා. ඒ මුදලින් ඔහු අලුත් නිවෙසක් හැදුවා. කොහු වෙළෙදාමත් ලොකු ව්‍යාපාරයක් හැටියට දියුණු කළා.

ඔන්න කාලෙකට පස්සෙ රජතුමායි ඇමැතිතුමායි ආයෙත් සැරයක් කොහු වෙළෙන්දා හොයාගෙන ආවා. පුංචි පැල්පත තිබුණු තැන විශාල මන්දිරයක් තියෙනවා ඔවුන් දැක්කා. කොහු වෙළෙන්දා ඔවුන් බොහොම ආදරයෙන් පිළි ගත්තා. සංග්‍රහ කළා. පසුව ආගිය තොරතුරු කතා කරකර උන්නා. ඒ වෙලාවෙ කොහු වෙ‍ළෙන්දාගේ පුතා දුවගෙන අවිත් ගහක පැටළුණු සරුංගලය අරන් දෙන්න කියා ඇඬුවා. කොහු වෙළෙන්දා පුතාට සරුංගලය රැගෙන දෙන ලෙස සේවකයකුට කිව්වා. මේ අතරේ රජ්ජුරුවන්ගෙ කරත්තෙ ඉන්න ගොනාට කන්න දෙන්න ලෙලි ටිකක් ගේන්න කියලා තව සේවකයෙකු පිටත් කළා. සරුංගලය ගන්න වෙලාවෙ ඒකත් එක්ක පැටළුණු කිළුටු රෙදි කෑල්ලකුත් අරගෙන අර සේවකයා පහළට බැස්සා. ලෙලි ගේන්න ගිය සේවකයා පැමිණියේ කළයත් රැගෙනයි. කොහු වෙළෙන්දා උකුස්සා ගෙන ගිය රෙදි කෑල්ලත් තමන් මුදල් හංගපු කළයත් හඳුනාගත්තා. දෙකේම තිබූ මුදලුත් ලැබුණා.

මිනිහෙකුට දියුණු වෙන්න උත්සාහය විතරක් නොවෙයි වාසනාවත් ඕනෑය කියලා රජ්ජුරුවන්ට එදා ඒත්තු ගියා.

මේක ජනකතාවක්

Read 1554 times