Friday, 19 April 2024

වර්ජනය වෙනුවට සමථකරණය

Posted On Monday, 23 October 2017 06:11

වැඩ වර්ජන ගැන රට පුරා පුලූල් අවධානයක් යොමු වී ඇත. නිතිපතා වර්ජන සිද්ධි වාර්තාවෙයි. වැඩ වර්ජනය කරන පිරිස තම අතියිවාසිකම් ඉල්ලා බල කරති. ඉල්ලන දේ වලින් දෙන්නට හැකි සීමාවක් තිබේ. ඉල්ලීම් දෙන තුරු වැඩ වර්ජනය කරන පිරිස කරන තර්ජනයෙන් විපතට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව සදහන් කළ යුතුය. නොබෝදා දුම්රිය වැඩ වර්ජනය කළේය. එයට කලින් විදුලිය බල මණ්ඩලයේ සේවකයක්ය. වෛද්‍ය ක්ෂේත‍්‍රය ද වර්ජනය කළේය. වර්ජනය කරන අවස්තා වල දී අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටෙන අතර එය ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න ඇති කරයි.


බි‍්‍රතාන්‍යයේ රෝයල් මේල් සේවාව පසුගිය සතියේ වැඩ වර්ජනයකට සූදානම් විය. විශ‍්‍රාම වැටුප, වැටුප් වැඩිකරගැනීම හා රැකියා අවස්ථා ගැන සඳහන් කරමින් මෙම වර්ජනය පැවත්වන්නට තීරණය කරන ලද බව වාර්තාවෙයි. සමාගම වැඩ වර්ජනයට විරුද්ධව අධිකරණයට ගියේය. වසර හතරකට කලින් බි‍්‍රතාන්‍ය තැපැල් සේවාව පුද්ගලීකකරණය කරන ලද අතර මෙම වැඩ වර්ජනය එයින් පසු වාර්තා වූ පළමු වැඩ වර්ජනයයි. අධිකරණය මෙකී වර්ජනය නීති විරෝධී බව පෙන්වා දුන් අතර වර්ජනය කරන්නට හේතු වූ කරුණු සොයා බලා සමථයකටපත් කරගනු සදහා දෙපාර්ශවයේ නියෝජිතයන්ගෙන් සමන්විත සමථ මණ්ඩලයකට යොමු කළේය.

වැඩ වර්ජනය හෝ විරෝධතා ඇතුළු ජනතාවගේ දෛනික පැවැත්මට බලපාන කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අලූතින් හිතන බව මෙයින් තේරුම් ගැනීම සුදුසුය.

බි‍්‍රතාන්‍ය වැඩ වර්ජනට ඇති අයිතිය සම්බන්ධ නීති අනුව එය  ඕනෑම සේවක අයිතිවාසිකමක අවසාන තීරණයයි. එයට කලින් එළැඹිය යුතු අතුරු පියවර ගණනාවක් තිබේ. වෘත්තීව සමිති වලට පොදු කාරණා සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ හැකිය. ඒවා ගැන වෘත්තීය සමිති නියෝජිතයන් හා බලධාරීන් සමග සාකච්ඡා කළ යුතුය. සාකච්ඡා වල දී යුක්ති සහගත විසදුමකට ප‍්‍රයත්න දැරීම අවශ්‍යය. එය දෙපාර්ශවයේම අවබෝධය හා නම්‍යශීලීත්වය අනුව එළැඹිය හැකි තත්ත්වයකි. සාකච්ඡාවෙන් හෝ සම්මුතියකින් එකඟවිය නොහැකි කාරණා වල දී එයින් ඔබ්බට යා හැකි පියවර තිබේ. අවසාන අවස්ථාවේ දී වැඩ වර්ජනය කරන්නේ නම් එය මෙහෙයවන වෘත්තීය සමිතිය සිය සාමාජිකයන් අතරේ අභ්‍යන්තර ඡන්දයක් පැවැත්විය යුතුය. එය රහස් ඡන්ද විමසීමකි. වැඩ වර්ජනය කිරීම සුදුසු බව සාමාජිකයන් බහුතරයක් වැඩි ඡන්දයකින් සම්මත වුවහොත් වැඩ වර්ජනය කළ හැකිය. එය විශාල ප‍්‍රයත්නයකින් අවසානයේ ගත හැකි තීරණයකි. එවැනි පසුබිමක දී පවා වැඩ වර්ජනයෙන් පීඩාවට පත්වන  ජන කොටස සලකා කිසියම් තීරණයක් අපේක්ෂාවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ආයතන පාලකයන්ට බාධාවක් නැත. එයට අනුව බි‍්‍රතාන්‍ය රෝයල් මේල් වැඩ වර්ජන තර්ජනය මැදහත් කණ්ඩායමක සමථකරණයකට යොමු වී ඇත.

ශ‍්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්ද? වැඩ වර්ජනය නීති විරෝධී යැයි කියන අතර වර්ජකයන් නොසලකා සිටීමය. සාකච්ඡා පවත්වයි. ඒවායේ දී දේශපාලන පණිවුඩ හුවමාරු වෙයි. පක්ෂ බලය වැඩ වර්ජනයක දී තහවුරු කරගන්නට තැත් කරන අතර ගැටළු සාකච්ඡා කර මැදහත්ව සාකච්ඡා කර තීරණයක් ගන්නට පෙළැඹෙන්නේ නැත. අන්තිමේ දී පොලිසිය  මැදිහත්ව වර්ජකයන් විසුරුවා හැරේ. එය විශාල කෝලාහලයකි. තවත් පැත්තක් තිබේ. සේවකයන් වැඩ වර්ජන තීරණය දෙන තෙක් ආයතන ප‍්‍රධානීන් සේවක ඉල්ලීම් ගැන මායිම් කරන්නේ ද නැත. දීර්ඝ කාලයක් නොවිසඳී තිබුණ තමන්ගේ වෘත්තීය ගැටළු ඉදිරිපත් කර දවසකින් දෙකකින් උත්තර ඉල්ලන වැඩ කරන ජනතාව එය කරගත නොහැකි තැන මාධ්‍ය හමු පවත්වන අතර දින නියම කරන වර්ජනය කරන බව නිවේදනය කරයි. එය පොදු ජනතාව අසරණ කරන තර්ජනයක් බව පැහැදිලිව සඳහන් කළ යුතුය. සේවය ලබන අහිංසක ජන කොටස ඇපයට තබා තම වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීමට ස්වකීය අරගලයේ අවසාන යොමුව බව හිතන වෘත්තීය සමිති පැවැත්මක් රටට අවශ්‍යය. වැඩ වර්ජනය කරා ගමන් කළ හැකි ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කළ යුතුය. මැදහත්කරුවන් හා සමථකරණය හදුන්වාදීම සුදුසුය.

Read 1487 times