Saturday, 18 November 2017

තිරසර ර‍ටක් හදන්න අපි සියලු දෙනාම උනන්දු වෙමු

Posted On Saturday, 31 December 2016 07:43

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.එල්. සුමතිපාල

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් 'නීලහරිත ආර්ථිකයක්' සංකල්පය සමාජගත කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකා නෙක්ස්ට්' මැයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ තෙදිනක් පුරා දෙස්-විදෙස් විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වූ අන්තර්ජාතික සමුළු හා සම්මන්ත්‍රණ රැසකි. එහිදී පැරිස් සම්මුතිය හා එයට

ශ්‍රී ලංකාව ජාතික වශයෙන් ලබාදීමට නියමිත දායකත්වය පිළිබඳ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල මහතා කළ දේශනය ඇසුරෙන් මේ ලිපිය සැකසේ.

පරිසරය, දේශගුණ විපර්යාස වැනි වචන අප බොහෝ දෙනකු සලකන්නේ අපට අදාළ නොවේ කියාය. ඒ නිසා ඒවා ගැන වැඩිපුර කතාබහ කිරීම පවා කාලය කාදමන කටයුත්තක් ලෙස ඇතැම්හු දකිති. එසේම එවැනි බරපතළ කරුණු සාකච්ඡා කළ යුත්තේ ප්‍රභූන්, දේශපාලනඥයන්, ලෝක නායකයන් වැනි අය බව සමහරුන්ගේ මතයයි. එහෙත් අසල කුණු කන්දෙන් දුර්ගන්ධය හමා එන වි‍ට, මදුරුවන් දෂ්ට කළ විට, නියං-අකල් මහ වැසි නිසා ‍බෝග පාළු වන විට, දිය බිඳක් සෙවීමට සැතපුම් ගණන් දුර පයින් ඇවිදින විටය මේ වචනවලට වටිනාකමක් ඇති බව සමහරුන්ට දැනෙන්නේ. එවිට චෝදනා එල්ල වන්නේද එක්කෝ පවතින ආණ්ඩුවටය; නැත්නම් ළඟපාත සිටින දේශපාලනඥයාටය; එසේත් නැත් නම් මේ වචන නිතර පවසන අන්තර්ජාතික ප්‍රජාවටය.

තමන් අතින් සිදු වන ඉතා සුළු වරදක් නිසා පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වන බවට හොඳම උදාහරණය කරදියාන කසළ කන්දය. එක් පුද්ගලයකු තම නිවෙසින් බැහැර කරන අපද්‍රව්‍ය සිය ඉඩම අසල හිස් බිමකට දැමීම කොතරම් දුර ගියාද යත්: අක්කර 16ක කුණු කන්දක් බවට අද එය පරිවර්තනය වී ඇති බව අසල්වැසියෝම පෙන්වා දෙති. එහෙත් ඉන් දේශගුණ විපර්යාසවලට ඇති සම්බන්ධය කුමක්දැයි සිතන්නට පෙලඹෙන්නේ කීයෙන් කීදෙනාද? ලොව පුරා මෙවැනි අවිචාරවත් සිදුවීම් මහා පරිමාණයේන් සිදු වීම නිසා ගංගා ඇළ දොළවලින් පිරුණු අපේ රටේ ඇතැම් ජනතාවටද ඉරිතැළුණු වැව් බිම් අසලට වී ගිනියම් වූ අහස දෙස බලා සිටීමට සිදු වී ඇත. ඒ දේශගුණ විපර්යාසයන්ට අප මුහුණ දෙන ආකාරය බව සමහරුන් වටහාගන්නේද යන්න ගැටලුවකි.

වෙන් වෙන් වශයෙන් අප පරිසරයට අදාළ කරුණු ගැන කතා කළද අද විඳවන මේ දැඩි රස්නය දේශගුණ විපර්යාසය නිසා ඇති වූවක් බව අපට අමතක වේ. එය මුළු මහත් ලෝකය පුරා මිනිසුන්ගේ ස්වභාවයයි. මේ අනවබෝධය නිසා මෙන්ම විවිධ බල දේශපාලනික කරුණු නිසා පරිසරයට සිදු වන හානිය අවම කරගැනීමට ලෝකය අපොහොසත් වී තිබේ. කලක් තිස්සේ සිදු වූ මේ විනාශයේ අවසන් ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ මිහිතලය උණුසුම් වීමය. එය කොතෙක් දරුණු වන තුරු අප නොසැලකිලිමත් වූයේද යත්: තවත් සෙල්සියස් අංශක දෙකක් ඉක්මවා මහ පොළොවේ රස්නය වැඩි වුව හොත් මිනිසුන්ට ජීවත් වීමට පවා නොසුදුසු තත්ත්වයට ලොව පත් වන බව විද්‍යාඥයන්ගේ මතයයි. මේ ගත වන මොහොතත් අප පත්ව ඇති ඉරණම වෙනස් කිරීමට යෙදවිය යුතු අවස්ථාවකය අප දැන් පසු වන්නේ. එහෙත් මේ කටයුත්ත තනිවම කළ හැකිද? එයට පිළිතුරු සොයන්නටය ලොවම දැන් අවදානය යොමු කර තිබෙන්නේ.

මහාචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල පවසන අන්දමට මේ වෙනුවෙන් වසර 25ක් පමණ පුරා ඇති වූ ගිවිසුම් අතරින් සාර්ථකම එකඟතාව වන්නේ පැරිස් සම්මුතියයි. එය මේ වසරේ සිට ක්‍රියාත්මක වීමට අවශ්‍ය තත්ත්වයන් මේ වන විට සපුරා ඇත. රටවල් 55ක් එකතුව අද පවතින හරිතාගාර වායු හෙවත් මිහිතලයේ උණුසුම වැඩි වීමට හේතු වන වායු වි‍මෝචනය සියයට 55කින් අඩු කිරීමට දැන් එකඟ වී ඇත. මෙය අප වැනි රටවලට වාසිදායක වන්නේ දේශගුණික විපර්යාස නිසා විය හැකි හානිවලට හුරු වීම වෙනුවෙන් අපට ආධාර ලැබීමය. එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය අනුව දියුණු වන රටක් ලෙසත්, නිවර්තන කලාපීය රටක් නිසාත් ආපදාවේ ස්වභාවය අනුව මෙය පහසුවෙන් ලබාගැනීමට යෝජනා නියමිත ආකාරයෙන් ඉදිරිපත් කිරීම පමණි අවශ්‍ය වන්නේ.

මහාචාර්යවරයා එසේ පවසන වි‍ට මට නිතැතින්ම නැඟුණු ප්‍රශ්නය වූයේ අපට මේ විපර්යාසවලින් මතු වන පාරිසරික ගැටලුවලට අනුහුරු වන්නැයි කියමින් දියුණුයැයි සම්මත රටවල් තවදුරටත් ඒ අයුරින්ම තම කර්මාන්ත ආදිය පවත්වාගන්නේ නම් එහි ඇති සාධාරණය කුමක්ද යන්නය. මේ ගිවිසුමට අනුව සියලු රටවල් සිය රටේ කාබන් විමෝචන සීමා පිළිබඳ දත්ත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බැවින් කිසිදු රටකට වංචා කිරීමේ හැකියාවක් නැත. ඒක පුද්ගල කාබන් විමෝචනය මැන බැලූ විට අමෙරිකාව වැනි රටක් විශාල වශයෙන් හරිතාගාර වායු නිෂ්පාදනයට දායක වන්නේයැයි කීවද, චීනය වැනි රටවලින්ද විශාල කාබන් විමෝචනයක් සිදු වන බව වාර්තා වී ඇතැයි මහාචාර්ය සුමතිපාල පෙන්වා දෙයි. එයට හේතුව ජනගහනය වැඩි නිසා පිට කරන කාබන් ප්‍රමාණය ඒක පුද්ගල වශයෙන් මැනීමේදී සුළු අගයක් පෙන්වීමයි. මෙවැනි රටවල් අප මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් ගණයට අයත් වුවද ඒවා දියුණු රටවල් හා සමාන විමෝචනයක් සිදු කරන බැවින් ඒ රටවලින්ද අප වැනි රටවලට ආධාර ලබා දීමට එකඟ වී ඇත. මේ ගණයට අයත් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාවයි. මෙසේ දේශගුණික විපර්යාස සඳහා මුහුණදීමට අනුහුරු වීම වෙනුවෙන් වසරකට වෙන් කරනු ලබන මුදල ඩොලර් බිලියන 100කි.

මේ අතර ඕසෝන් වියන රැකගැනීම වෙනුවෙන් පමණක් මැදිහත් වූ මොන්ට්‍රියෙල් සන්ධානයද අද ඇති වී තිබෙන ගැටලුව නිසා නව හඳුන්වාදීම් පෙළක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ක්ලෝරො ෆ්ලුවොරො කාබන් හරිතාගාර වායුවක් බැවින් ඒ වෙනුවට ශීතකරණ ආදිය‍ට යෙදීම සඳහා හඳුන්වා දුන් හයිඩ්‍රො ෆ්ලුවොරො කාබන්ද අතිශයින් ගෝලීය උණුසුමට උපකාර වන හරිතාගාර වායුවක් බව හඳුනාගැනීම මෙයට හේතුවයි. මහාචාර්ය සුමතිපාල වැන්නවුන් මේ පිළිබඳ වසර 10කට පෙර පවසද්දී එය කනකට නොගත් ඇතැම් ‍විද්වතුන් නිසා ලොව පුරා මේ වායුව භාවිතය ශීඝ්‍රයෙන් පැතිරිණි. එහෙත් අද සිදු ව ඇත්තේ ඒ වෙනුවට තවත් ආදේශක රැසක් ඉදිරිපත් කිරීමය. ලොව පුරා හයිඩෝ ‍ෆ්ලෝරො කාබන් භාවිතයෙන් ඉවත් වුව හොත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5කින් අඩු කළ හැකියැයි ගණන් බලා තිබේ. සෙල්සියස් අංශක ‍2 නොඉක්මවන ලෙස ගෝලීය උෂ්ණත්වය පවත්වාගැනීම සඳහා යා හැකි උපරිම මට්ටම ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අංශක 1.5ය. ඒ නිසා ලොව පුරා ශීතකරණ වෙනුවෙන් 600ඒ වායුව, මෝටර් රථ වායු සමීකරණය සඳහා වායු මිශ්‍රණයක් හා ගිනි නිවීම සඳහා හේලෝන්, ජලය හා කාබන් ඩයොක්සයිඩ් වැනි දේ භාවිතයට ගැනීම යෝජනා වී ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව නීලහරිත ආර්ථිකයක් යනුවෙන් හඳුන්වා‍ දෙන්නේ නිල්වන් මුහුද හා හරිත පැහැයෙන් යුතු භූමිය තිරසර සංවර්ධනය සඳහා යොදාගත යුතු ආකාරය පිළිබඳවය. මෙහිදී මහාචාර්ය සුමතිපාල පවසන්නේ දැනට මෙරට භූමිය මෙන් අ‍ටගුණයක් ඇති සාගර සීමාව අලුත් ගිවිසුම් අනුව 23 ගුණයක් බවට පත් වන බවය. ඒ ලැබෙන සම්පත් තිරසර සංවර්ධන ප්‍රතිපත්තියක් අනුව යොදාගැනීම මඟින් අපේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ඔහු පවසයි. එය තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේදි ඉතා වැදගත් සාධකයකි. විශේෂයෙන්ම දේශගුණ විපර්යාස සඳහා හුරු වීමේදී මානව සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, ජලය, වාරි මාර්ග, වෙරළ සහ සාමුද්‍රික ක්ෂේත්‍රය, ජෛව විවිධත්වය, නාගරික, නගර නිර්මාණ හා පදිංචි කිරීම්, සංචාරක හා විනෝද කටයුතු ආදි ක්ෂේත්‍රවලදී මේ දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැකි ආකාරය හා තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගත හැකි ආකාරය හඳුනාගෙන ඒ අනුව ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව මඟින් ලබා දීමට එකඟ වී ඇති දායකත්වය යටතේ 2021 සිට 2030 දක්වා හරිතාගාර වායු භාවිතය අවම කිරීමට, දේශගුණ විපර්යාසවලට ගැළපෙන පරිදි හුරු වීමට සහ හානි ගණනය කිරීම පිළිබඳ අන්තර්ජාතික වොෂෝ ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතය. 2030 වන විට බලශක්ති ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය සියයට 20කින් අඩු කිරිමට පියවර ගෙන ඇත. ඉන් සියයට 4ක් දේශීය වශයෙන් හා ඉතිරිය අඩු කරගැනීමට මූල්‍ය, තාක්ෂණික ආදි ක්ෂෙත්‍රවලින් අන්තර්ජාතික සහයෝගය ලබාගැනීමට සැලසුම් කර ඇත. එමෙන්ම ප්‍රවාහන, කර්මාන්ත ආදි අනෙක් අංශවල හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 10ක් ඊට සමගාමීව පහත හෙළීමට සැලසුම් කර ඇත්තේ දේශීය වශයෙන් සියයට 3ක් සහ බාහිර ආධාර සහිත සියයට 7ක් වශයෙනි.

මේ කරුණු පැවසීමේදී ශ්‍රී ලාංකිකයකුට නිරායාසයෙන් පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ බටහිරින් මේ සංකල්ප අප වෙත ඉදිරිපත් කරන තුරු සොබාදහම හා බෞද්ධ සංකල්ප මත පිහිටි රටක් වශයෙන් අපට පරිසරය පිළිබඳ පැවැති අවබෝධය යටපත් කරගත්තේ ඇයිද යන්නය. ඒ පිළිබඳ මහාචාර්ය ඩබ්ලිව්.එල්. සුමතිපාල මහතා දැක්වූයේ මෙබඳු අදහසකි:

බුදු දහම අනුව කටයුතු කරන්නේ නම් අපට කිරසර සංවර්ධනය යන්න අරුමයක් වන්නේ නෑ. බ‍ටහිරින් ආ දේ වැලඳගත් නිසායි අප අද මේ වෙනස්කම්වලට මුහුණ දී තිබෙන්නේ. අනෙක් රටවල් කරන පළියට අපිත් කාබන් විමෝචනය තරගකාරිව නොකර ලෝකයටම ආදර්ශයක් සපයන්න පුළුවන් නම් එය අපේ ආර්ථික, පරිසර, සංස්කෘතික මෙන්ම අන්තර්ජාතික පිළිගැනීම අතින්ද ඉතා වැදගත් වනවා. අනෙක අප මේ ආදර්ශය නිවැරැදිව ලෝකයට දුන්නොත් දැනටත් ප්‍රවාහන ආදි ක්ෂේත්‍රවලට සූර්ය බලය වැනි‍ දේ භාවිත කරන අමෙරිකාව වැනි රටවල් ඉතා ඉක්මනින් අපේ ක්‍රමය හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට පෙලඹේවි. ඒ නිසා අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අවබෝධ කරගෙන අපේ ක්‍රමවේදය හා සරල බව ලොවට පෙන්වුවොත් එය මුළු මහත් ජීවි සංහතියටම සහනයක් උදා කර ගෝලීය උෂ්ණත්වය පහත හෙළීමේ මාවතට යොමු කරන්න අපට පුළුවන්.

අරුණි මුතුමලී

Read 206 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!