Saturday, 23 September 2017
නව පුවත්

සංවර්ධන විශේෂ විධි විධාන පනත අද වැඩි ඡන්ද 04කින් ඌව පළාත් සභාවේදී පරාජයට පත්විය.

සභාපති ඒ.එම්.බුද්ධදාසගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදීය.

Posted On Friday, 30 December 2016 09:18

වයඹ පළාත් සභාවේ නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා තේරී පත්ව ඇතැයි පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි අද (28 දා ) සභාවට නිවේදනය කළේය.
 

Posted On Friday, 30 December 2016 09:13

 අපට මේ ආරංචිය ලැබෙන්නේ මාතලේ, උකුවෙල ප්‍රදේශයෙන් ය. එම ආරංචියට අනුව උකුවෙල ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක් වකුගඩු විකුණා ඇත. මිනිසාට උපතින් ම වකුගඩු දෙකක් හිමිවී තිබේ. ජීවත්වීම සඳහා ඉන් එකක් වුව සෑහෙන බව පිළිගැනීම ය. ඒ අනුව අසාධ්‍ය රෝගියකුට වකුගඩුවක් දන්දීමේ අවස්ථාව ඇත.

Posted On Friday, 30 December 2016 09:11

ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා කුඩා - කුඩා ප්‍රජා ව්‍යාපෘති හෙවත් මහජන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය යන්න ප්‍රචලිත වන්නට වූයේ 1980 ගණන්වල සිටය. ඉන්දියාවේ අමූල් ව්‍යාපාරය, බංගලි දේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය හා ශ්‍රී ලංකාවේ ජනසවිය ව්‍යාපාරය එලෙස කුඩා කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ වැඩසටහන්ය.

Posted On Friday, 30 December 2016 09:10

කෝච්චියට අදාළ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් කාගේත් අවධානයට යොමුකරවන්නට කැමැත්තෙමු. එක සිද්ධියකින් කියැවෙන්නේ කෝච්චියේ ඇති වූ බෝම්බ බියක් ගැන ය. ශ්‍රී ලංකාවේ පැවැති තිස් අවුරුදු යුද්ධය කාලය තුළ දී මෙවැනි බිය අමුතු දෙයක් නොවේ.

Posted On Friday, 30 December 2016 09:08

අපේ ඇස මානයෙහි ඇත්තේ තරු සංකල්ප පසුපස වේගයෙන් හඹා යන තරුණ සමාජයකි. ඔවුන් ළඟ ඇත්තේ සිහින පමණකැ’යි සිතන්නට පුළුවන. දුම්රියක හෝ බසයක හෝ යනෙන තරුණයා කිසිවකු හා සමාගමයක් නැත. ඔහු ජංගම දුරකථනයට අනිමින් හුදෙකලා ලෝකයක සිහින දකී. අවට සිදුවන්නේ කුමක්දැ’යි ඔහු නො දනී. ඔහු පමණක් නොව; ඔහුගේ සම - වයස ගෙවන ගැහැනු - පිරිමි කව්රුත් නිහඬ ය. නිසොල්මන් ය. සමාජා’නුයෝජනය නම් වචනයක් අධ්‍යාපන විද්‍යාවෙහි එයි. එහි අර්ථය වන්නේ සමාජය සමඟ ගනුදෙනු කිරීම ඉගැන්වීම ය. සමාජය සමඟ ගනුදෙනුවකින් තොරව රටක් ඉදිරියට ගෙනයෑම දුෂ්කර ය.

ඉහත පූර්විකාව ලියා තැබුවේ සමාජ සිදුවීම් ගැන සංවේදී වූ තරුණයකුගේ කතාවක් ගෙන හැර දැක්වීමට ය. මීට අදාළ සිද්ධිය පුවත්පත් විසින් මනාකොට වාර්තා කරන ලදී. හැබෑවට උක්ත සිද්ධියට අනුව තරුණයා වීරයෙකි. ඔහුට සම්මානයක් දීමට වටී. අපේ ව්‍යාපාර හා ජනමාධ්‍ය සම්මාන හා ත්‍යාග ලබාදෙන්නේ සිංදු කියන හා නැටුම් නටන අයට පමණි. සිංදුවෙන් හා නැටුමෙන් තොර ලෝකයක් නැතැ’යි සිතන තරමට මේ සම්මාන දීමේ තරග පැතිර ගොස් තිබේ. අවම ලෙස මෙබඳු වීර ක්‍රියා ගැන සටහනක් හෝ තබන්නේ පුවත්පත් පමණි. සමාජය ගමන් කරමින් සිටින දිසාව මෙයින් පැහැදිලි කර ගත හැකි ය.

සිද්ධියට අදාළ ස්ථානය පිහිටියේ බදුල්ල - මහියංගණ මාර්ගයේ ලොග්ගල්ලාඔය ජලාශයේ අමුණ ළඟය. මේ ස්ථානය ඉතා මනරම් ඒ තරමට ම බියකරු ස්ථානයක් ලෙස හැඳින්වේ. ජලාශයේ දියවර මහ ඇළ වෙත මුදා හරින්නේ එතැනින් ය. එහි සැඩපහර ඉතා ප්‍රචණ්ඩ වුව එය මතුපිටට පෙනෙන්නේ නැත. පසුගිය 27 දා ප.ව. 3.00 ට පමණ පිරිසක් ඒ අසල දිය නාමින් සිට ඇත. එකවර ම සිඟිත්තෙක් දිය පහරට ගසාගෙන ගියේ ය. දරුවා බේරාගන්නට කාන්තාවක් පැන්නා ය. ඇය බේරාගන්නට තව පුරුෂයෙක් පැන්නේ ය. මේ අයුරින් හයදෙනෙක් ජල රකුසාට බිලිවෙමින් උන්හ. මේ දුටු තවත් කාන්තාවක් හඬ නඟා කෑගසා ඇත. තරුණයා ක්‍රියාත්මක වී ඇත්තේ ඉන් පසුව ය.

ප්‍රදේශයේ අවටින් ලබාගත් තොරතුරුවලට අනුව කියැවෙන්නේ මේ ස්ථානයේ ජලපහරට කිසිවකු නො පනින බවය. පනස් දෙනකුට අධික පිරිසක් මේ වන විටත් අදාළ ස්ථානයේදී දියේ ගිලී මිය ගොස් ඇත. දියට වැටුණු අය බේරාගැනීමට ගිය දක්ෂ පිහිනුම්කරුවන් ද පරලොව ගොස් ඇත. ඒ අනුව තරුණයා ජීවිත හයක් බේරාගැනීම සඳහා දියට පැන සටන් කර ඇත්තේ තමන්ගේ ජීවිතය පරදුවට තබමින්ය. ඔහු සිය ජීවිතයත් - මරණයත් අතර සටනක යෙදී ඇති බව ද, ඉන් ජයග්‍රහණය ලබා ඇති බව ද කිව යුතු ය. මෙබඳු තැනැත්තකුට සම්මාන පිට සම්මාන ලබාදුන්න ද වරදක් නැත. අපේ සමාජය හා ආයතන ඒ සම්බන්ධයෙන් සංවේදී විය යුතුය.

අපට ලැබුණු තොරතුරුවලට අනුව තරුණයා මේ ජලාශය ආසන්නයේ පිහිටි වෙළෙඳ සලක සුළු රැකියාවක් කරන පුද්ගලයෙකි. ඔහුට ජීවත්වීම සඳහා ලැබෙන්නේ සොච්චම් වැටුපක් විය හැකි ය. මෙබඳු වීර ක්‍රියාවල නිරත පුද්ගලයන් රැකගැනීම සමාජයේ යුතුකම විය යුතුය. රටේ රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක හෝ රැකියාවක් මේ තරුණයාට ලබාදීම අනුමත කළ හැකි ඉතා සුදුසු ක්‍රියාවකි. ඔහුට සම්මාන හා ත්‍යාග ලබාදීමටත් වඩා වටින්නේ ජීවත්වීම සඳහා රැකියාවක් සොයාදීමය. තමාගෙන් මාළුවකු ඉල්ලා ඇවටිලි කරන කුසගිනිකාරයකුට මාළුවකු නොව; බිලීපිත්තක ලබාදීම වඩා වැදගත් බව කොන්ෆියුස්තුමා සඳහන් කර තිබේ. ඒ කියමන අදටත් අදාළ ය.

ඉහත සිද්ධියට ගොදුරු වූ පිරිස ගැන ද යමක් කිව යුතුය. සංචාරයක නිරත ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. එක ම පවුලේ පිරිසක් ද ඒ අතර සිටිති. ඔවුන් මේ ජලාශයේ පවත්නා අනතුර ගැන කිසිදු තැකීමක් නොකොට දියට පැන තිබේ. එය කිසිසේත් ම නොසිදු විය යුත්තකි. ඒ හැරෙන්නට කුඩා දරුවන් ද දියට යවා තිබීම බලවත් මෝඩකමකි. මේ පිරිස සිය ජීවිත බේරාගත් තරුණයාට කුමක් ලබා දුන්නේදැ’යි අප දන්නේ නැත. එහෙත් ස්තුතියට හෝ පිනට හෝ වැඩි යමක් ඔහු වෙත ලැබිය යුතු ය යන්න අපගේ වැටහීම ය. වීර ක්‍රියාවක් ඇගයීමකට ලක් විය යුතුය. එලෙසම ඊට වටිනාකමක්ද තිබිය යුතුය.

අපට මෑතකදී අසන්නට ලැබුණු තවත් ප්‍රවෘත්තියකින් කියැවෙන්නේ පිට ගමකින් පැමිණි තරුණයකුට මැරෙන තුරු පහරදුන් තරුණ කණ්ඩායමක් ගැන ය. පිටගම්කාර තරුණයා එම ගමට පැමිණ ඇත්තේ ආදර සබඳතාවක් ඇති කර ගැනීම සඳහා ය. මෙයින් කෝපයට පත් ගමේ තරුණ පිරිස පිටගම්කාරයාට මැරෙන තුරුම පහර දී ඇත. එක අතෙකින් මෙය තිරිසන් ක්‍රියාවකට සමාන ය. බල්ලන් ද තම සීමාව රැකගන්නා අතර එම සීමාව පැනීමට වෙනත් බල්ලකුට ඉඩ තබන්නේ නැත. රංචු ගැසී තනි පුද්ගලයකුට පහරදීම වීර ක්‍රියාවකැ’යි සමහරු කල්පනා කරති. එය තරම් මෝඩකමක් තවත් නැත. මේ ක්‍රියාවට සම්බන්ධ සෑම පුද්ගලයකුම බියගුල්ලන් මිස වීරයන් නොවේ. අවම ලෙස ඔවුන්ට චණ්ඩි යන නාමය ද නුසුදුසු ය.

තරු සංකල්පයේ සිටිනතාක් කිසිදු තරුණයකුට හෝ කිසිදු තරුණියකට හෝ මහ පොළොවෙහි අඩිය ගැසීමේ හැකියාව ලැබෙන්නේ නැත. මහ පොළොවේ අඩිය නොගසන තැනැත්තාට කිසි දිනෙක සමාජ යථාර්ථය ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. සමාජ යථාර්ථය හඳුනා නොගත් තැනැත්තා නිකම්ම හිස් මිනිසෙකි. එබඳු හිස් මිනිසුන්ගෙන් සමාජය පිරී - ඉතිරී පවතී. අද තත්ත්වයට අනුව හිස් මිනිසුන් වැඩිය. හරයක් ඇති මිනිසුන් හිඟය. එලෙසම හරයක් ඇති මිනිසුනට සමාජයේ පිළිගැනීමක් ඇත්තේ ද නැත. සමාජය සලකන්නේ ද ධනයට හා බලයට ය.

අප මුලින් සඳහන් කළ මහියංගණයේ තරුණයා නිර්භීත තැනැත්තෙකි. ඔහු වටිනා ජීවිත හයක් බේරාගෙන ඇත්තේ තමන්ගේ ජීවිතය තුට්ටුවකට නොසලකමින් ය. එසේ කළ හැක්කේ ජීවිතයෙහි අර්ථය වටහාගත් පුද්ගලයකුට පමණි. නූතන සමාජයේ බොහෝ දෙනා මෙබඳු සිද්ධීන් දුටුවිට සිද්ධියෙන් පලායති. ඒ කරුණු කිහිපයක් නිසා ය . එක තමන්ගේ ජීවිතයට ඇති ආදරය ය. දෙක අභියෝගවලට මුහුණදීමට ඇති නොහැකියාවයයි. තුන මෙබඳු ක්‍රියාවලින් කිසිදු ආර්ථික වාසියක් නොලැබීමය. අප මුලින් සඳහන් කළ තරුණයා අභියෝගවලට භය නැති පුද්ගලයකු ලෙස හඳුනාගත හැකි ය. හැබැවටම රටට අවශ්‍ය වන්නේ ද තරු නොව හැඩි - දැඩි චරිත ය.

අපගේ නිර්දේශය වනනේ නම් ඉහත සඳහන් තරුණයා හැම අතෙකින් ම සම්මාන හා ත්‍යාග ලබාගත යුතු බවය. ඉන් නොනැවතී ඔහු‍ගේ අධ්‍යාපනයට හා හැකියාවට ගැලපෙන රැකියාවක් ලබාදීම ද අතිශයෙන්ම වැදගත් ය.

දිනමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Posted On Friday, 30 December 2016 09:07

හාල් ප්‍රශ්නය තව ම විසැඳී නැත. සාමාන්‍ය ලෙස ගත් කල සෑම සහල් වර්ගයක් ම පාහේ රුපියල් පහළොවකින් හෝ විස්සකින් හෝ ඉහළ ගොස් ඇත. එකිනෙක වෙළෙන්දා සිතූ - සිතූ ගණන්වලට හාල් අලෙවි කරන බවක් ද පෙනෙන්නට තිබේ. සහල් ගණන් ඉහළ යෑම හේතුකොට තවත් අහිතකර ප්‍රතිඵල කිහිපයක් මතු වී ඇත. එක; බත් පැකට්ටුවක මිල ඉහළ යෑම ය. දෙක පාන් පිටි පරිභෝජනය 15%කින් පමණ වැඩි වීම ය. තුන හාල් පිටි යොදා සකස් කරනු ලබන ආහාර ද්‍රව්‍යවල මිලත් නංවා තිබීම ය. සුදු ආප්පයක් රුපියල් දහයේ සිට රුපියල් දොළහ දක්වා ඉහළ ගොස් තිබේ. සියල්ලෙන් ම වදින්නේ ජනතාවගේ සාක්කුවට ය.

ශ්‍රී ලංකාව යනු සහල් නිර්යාත කළ රාජ්‍යයෙකි. සහල් අතිරික්තයක් තබා ගැනීම දිගට ම පවත්වාගෙන ගොස් තිබේ. කුමන තත්ත්වයක් යටතේ වුව රටේ සහල් පිළිබඳ ඒකාධිකාරය පවතින්නේ පෞද්ගලික වෙළෙඳුන් කිහිප දෙනකු අතේ ය. රජය කරන්නේ වැඩි මිලට වී ලබාගෙන අඩු මිලට සහල් සැපයීම ය. සහල් මිල ඉහළ යෑමට හේතුව සහල් හිඟය යැයි කියති. එහෙත් පෞද්ගලික ව්‍යාපාරිකයන් ළඟ අවශ්‍ය තරමටත් වඩා වී තොග ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. ඒ අනුව කෘත්‍රීම සහල් හිඟයක් මවා පා ඇති අතර දිගින් - දිගටම මිල ඉහළ දමමින් සිටී. උත්සව සමයේ දී ව්‍යාපාරිකයන් කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.

රජයට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද? ප්‍රධාන විසැඳුම් දෙකක් පවතී. එක; වහාම ක්‍රියාත්මක වන පරිදි පිටරටින් සහල් ආනයනය කිරීමය. දෙක;‍ රජයේ වී ගබඩාවල ඇති වී කොටා සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම ය. දෙවන විසැඳුම මේ අවස්ථාවේ ක්‍රියාත්මක කළ නොහැකි බව රජය කියයි. හේතුව වී තොග ඇත්තේ ලබන අප්‍රේල් මාසයට පමණක් සමගාමීව ය. මහ කන්නය කරුණු දෙකක් නිසා දුර්වල වී ඇත. පළමු හේතුව නියඟය යි. දෙවන හේතුව ඇතැම් කුඹුරු වගා නොකිරීම යි. මේ අනුව වී තොග ආරක්ෂා කිරීමේ වුවමනාවක් පවතී. එක ම විසැඳුම ලෙස ඉතිරි ව ඇත්තේ සහල් ආනයනය කිරීම ය. පළමුවරට තීරු බදු රහිතව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දී ඇත.

සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම රජයේ අරමුණ ය. මෙය පෞද්ගලික අංශයට භාර දීම ගැන ඇතැමුන් තුළ ප්‍රසාදයක් නැත. රජය සහල් ගෙන්වා ස.තො.ස මගින් බෙදා හැරියේ නම්; වඩාත් ප්‍රයෝජනවත් බව සමහරු පෙන්වා දෙති. මේ දිනවල ස.තො.ස. වෙළෙඳසල් තුළ සහල් පිළිබඳ යම් හිඟයක් ද දකින්නට ලැබේ. ස.තො.ස ට වඩා පෞද්ගලික අංශයේ සේවාවන් දියුණුය. එම වෙළෙඳසල් උපාය මාර්ග ඔස්සේ වැඩි ම පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්නා බව ද සත්‍යයෙකි. කුමක් වුව සහල් පිළිබඳ ගැටලුවේ දී ස.තො.ස ට පමණක් එය විසැඳිය නොහැකි බව ද පිළිගත යුතු ය. මහජනයා ගේ අපේක්ෂාව වන්නේ ඉතා ඉක්මනින් සහල් මිල පහළ බසිනු ඇත යන්න ය. එසේ නො වුණ හොත් සියලු දෙනා ම බලවත් අසීරුවකට පත් වනු ඇත.

සහල් ප්‍රශ්නය සඳහා ඇත්තට ම බලපාන කරුණු ඇත. එලෙස ම වෙළෙඳුන් කෘත්‍රීම ලෙස මතු කරන ගැටලු ද ඇත. පැවැති නියඟය නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් විනාශ වූ බවද, තවත් කුඹුරු ඉඩම් ප්‍රමාණයක අස්වැන්න අඩු වූ බව ද අසත්‍යයක් නො වේ. පොහොර ගැටලු ආදිය නිසා ද තවත් කුඹුරු ප්‍රමාණයක් අසාර්ථක වූ බව ද පිළිගත හැකි ය. එහෙත් සහල් පිළිබඳ හදිසි හිඟයක් මතුවීමට හේතුවක් නැත.ඊට පෙර කන්න කිහිපයක වී අස්වැන්න තව ම පවතින බව හෙළිදරව් වී තිබේ. රටට අවශ්‍ය තරම් වී තොග ව්‍යාපාරිකයන් පහළොස් දෙනකු අත ඇතැ’යි එක් පුවත්පතක් වාර්තා කර තිබිණි. එය බොරු යැයි කියන්නට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. එයින් පෙනී යන්නේ අවශ්‍ය තරම් වී තොග ඇති බව ය.

පිටරටින් සහල් ආනයනය කොට වෙළෙඳ පොළට නිකුත් කිරීමට පෙර පෞද්ගලික අංශයේ වී තොග එළියට එන්නටත් පුළුවන. සහල් ආනයනය ද පෞද්ගලික අංශයටම භාර දී ඇති බැවින් එය නොසිදුවන්නටත් පුළුවන. සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් යනු මාස කිහිපයකට ප්‍රමාණවත් සහල් ‍තොගයකි. මේ තොගය නිකුත්වීමත් සමඟ සහල් මිල රුපියල් විස්සකින් පමණ පහළ බැසිය යුතු යැයි පුරෝකථනය වී ඇත. එය එසේ සිදුවන්නේ නම්; උත්සව සමයේ දී සහල් මිල පිළිබඳ ගැටලුවක් මතු නොවනු ඇත. එහෙත් මෙහි අතුරු ප්‍රතිඵල එකවර අතුරුදන් වේ යැයි සිතිය නොහැකි ය.

සාමාන්‍ය වෙළෙන්දන් බත් පැකට්ටුවේ මිල ඉහළ දැමූ අතර යළිත් එය පහළ දැමීමට කැමැති වන්නේ නැත. සහල් මිල අඩු වුව බත් පැකට්ටුවේ මිල පවතින තත්ත්වයේම තිබෙන්නට පුළුවන. සහල් පිටිවලින් නිෂ්පාදිත ආහාර ද්‍රව්‍යවල මිලද ඉහළ නංවා ඇත. ඒවායෙහි මිල ද පහත වැටේ යැයි සිතිය නො හැකිය. පාරිභෝගිකයා පවා මේ ගැන බරපතළ ලෙස කල්පනා කරන්නේ නැත. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගියොත් ගියාම ය. ආප්පයක මිල රුපියල් දහයේ සිට දොළහ දක්වා ඉහළ ගොස් තිබේ. එය සහල් මිල සමඟ ‍ නැවත රුපියල් දහයේ මට්ටමට වැටේ යැයි සිතන්නට බැරි ය. මෙයින් මතුවන තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ පාන් පිටි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ඇතිවීම ය. දැනට ම එය සිදු වී තිබේ.

රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් ය. ශ්‍රී ලාංකිකයා තුන් වේලටම බත් කන ජාතියක් යැයි කීම ඉතා නිවැරැදි ය. එලෙස තුන් වේලටම බත් කන්නේ වුව කුඹුරු වගා කරන්නේ සුළු පිරිසෙකි. නිදහසට පෙර මෙරට ජනයාගේ ප්‍රධාන ආහාර භෝගය වූයේ වී වගාව ය. අවම ලෙස සෑම ගමකම වී කුඹුරු තිබිණි. ඒ හැරෙන්නට ගොඩ වී වගාවත් සාර්ථකව සිදු කැරිණි. ගොඩ වී වගාව දැන් ඇත්තේම නැති තරම් ය. රටේ විශාල කුඹුරු ප්‍රමාණයක් ගොඩකර ඇත. තවත් විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් වී ඇත. කුඹුරු පුරන්වීම ගැන විමසන විට ලැබෙන පිළිතුර වන්නේ වී වගාවෙන් පාඩු සිදුවන බව ය. අතීතයේ දී අපේ මිනිසුන් කුඹුරු අස්වද්දන ලද්දේ තමන්ගේ ආහාරය සඳහා ය. නැතහොත් ස්වයං පෝෂණය සඳහා ය. අතිරික්තය පමණක් අලෙවියට තැබේ.

සහල් පිළිබඳ ගැටලුව අද - ඊයේ ඇති වූවක් නොවේ. සෑම වසරකම පාහේ උත්සව සමයන්හි දී හාල් මිල ඉහළ නංවන ප්‍රවණතාවක් දකින්නට ලැබේ. මේ ගැටලුව චක්‍රීය ආකාරයෙන් ක්‍රියාත්මක වන බවක් ද දකින්නට ලැබේ. වගාව සඳහා වතුර මුදාහරින කාලයට වතුර ප්‍රශ්න පවතී. බිත්තර වී අවශ්‍ය කාලයට ඒ පිළිබඳ ගැටලු පැන නඟී. පො‍හොර ගැටලු, වී අලෙවිය පිළිබඳ ගැටලු, වී ගබඩා කිරීම පිළිබඳ ගැටලු හා ඊළඟට සහල් මිල ඉහළ යෑම පිළිබඳ ගැටලුවත් මතු වේ. රටේ ප්‍රධාන ආහාරය සකස් කිරීම හා අලෙවි කිරීම, වගා කිරීම, ඊට අවශ්‍ය පහසුකම් සැපයීම යන සෑම ක්ෂේත්‍රයකම අර්බුද පවතී. මේවා විසඳාගත හැක්කේ පෞද්ගලික අංශයට සියල්ල භාර දීමෙන් නොවේ. රජය දීර්ඝ කාලීන හා ස්ථාවර සැලැසුමක් ඔස්සේ මේ ගැටලුවට විසැඳුම් සෙවිය යුතුය.


දිනමිණ පත්තරයෙන් උපුටා ගන්නා ලදී.

Posted On Friday, 30 December 2016 09:00
Page 2 of 2

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!