Saturday, 23 September 2017

උකුවෙල වකුගඩු!

Posted On Friday, 30 December 2016 09:11

 අපට මේ ආරංචිය ලැබෙන්නේ මාතලේ, උකුවෙල ප්‍රදේශයෙන් ය. එම ආරංචියට අනුව උකුවෙල ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක් වකුගඩු විකුණා ඇත. මිනිසාට උපතින් ම වකුගඩු දෙකක් හිමිවී තිබේ. ජීවත්වීම සඳහා ඉන් එකක් වුව සෑහෙන බව පිළිගැනීම ය. ඒ අනුව අසාධ්‍ය රෝගියකුට වකුගඩුවක් දන්දීමේ අවස්ථාව ඇත.

එහෙත් වකුගඩුවක් විකිණීම යනු බරපතළ තත්ත්වයකි. මිනිසකු වකුගඩුවක් විකිණීමට පෙලඹෙන්නේ ඇයි? සොයා බැලිය යුතු කාරණය එයයි. උකුවෙල ප්‍රදේශයේ අපේ වාර්තාකරුවන් දක්වන තොරතුරුවලට අනුව පෙනීයන්නේ එම ප්‍රදේශයේ වකුගඩු අලෙවි කළ සියලුදෙනා දුප්පත්කම හා නූගත්කම නිසා එය සිදුකර ඇති බව ය.

මේ හැරෙන්නට වකුගඩු අලෙවි කිරීම ජාවාරමක් බවට පත් වී ඇත. ජාවාරම්කරුවෝ මේ ක්‍රියාවලිය පසුපස සිටිති. ඔව්හු ලක්ෂ ගණනකට වකුගඩුවක් ගන්නා බවට පොරොන්දුවී පසුව විවිධ හේතු-සාධක දක්වමින් වකුගඩු හිමියාට සොච්චමක් දී තම ව්‍යාපාරය කරගෙන යති. ඉන්දියාවේ වකුගඩු පමණක් නොව; සියලු ශරීරාංග විකුණන තත්ත්වයක් දකින්නට ලැබේ. එහෙත් ශ්‍රී ලංකාව එබඳු පහත් තත්ත්වයකට වැටී තිබුණේ නැත. ඉන්දියාවේ අත්දැකීම් අනුව හෝ වෙනත් හේතු මත හෝ ශ්‍රී ලංකාවේ ද දැන් වකුගඩු ජාවාරම ජයටම සිදුවන බවක් පෙනෙන්නට තිබේ. මෙය දිගටම පැවතුණහොත් සිදුවන්නේ බලවත් විනාශයකි.

උකුවෙල ප්‍රදේශයේ අත්දැකීම් විමසා බැලුවහොත් එක පුද්ගලයෙක් සිය වකුගඩුව අලෙවිකර ඇත්තේ නිවෙසක් තනා ගැනීමට ය. ඔහුගේ නිවෙස භාගෙට තනා ඇත. ඉතිරිය සම්පූර්ණ කිරීමට මුදල් නැත. තව පුද්ගලයෙක් සිය වකුගඩුව අලෙවි කර ඇත්තේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ය. එහෙත් අධ්‍යාපනය අවසන් නැත. ඒ සඳහා තවත් මුදල් අවශ්‍ය වේ. තවත් පුද්ගලයෙක් සිය වකුගඩුව අලෙවි කර ඇත්තේ ණය කන්දරාවෙන් නිදහස්වීම සඳහා ය. ඔහු ණයෙන් නිදහස්වී ඇත. එහෙත් දැන් ඔහු සදාකාලික රෝගියෙකි. මේවාට වගකියන්නේ කවුද? සොයා බැලිය යුතු ගැටලුව එයයි.

වකුගඩු අලෙවි කර ඇති සියලු දෙනාම පාහේ දැන් රෝගීහු වෙති. ඔවුනට දැන් සාමාන්‍ය පරිදි රැකියාවල නිරතවීමේ හැකියාවක් නැත. මෙහි ඇති අනෙක් බරපතළ තත්ත්වය වන්නේ වකුගඩු අලෙවි කළ සියලු‍ දෙනාම පාහේ දෛනිකව කුලී වැඩවල නිරත වන පිරිස් වීමය. ඔවුන්ගේ පැවැත්ම සඳහා බෙහෙත්, විටමින් ආදිය මිලට ගත යුතුය. ඒවා අධික මිලකින් යුතුය. පවත්නා තත්ත්වය යටතේ කිසිඳු රෝගියකුට තමන්ගේ වෙද-හෙදකම් කරගත නොහැකිය. එයින් රෝගියා පමණක් නොව; රෝගියාගේ පවුලත් අමාරුවේ වැටී ඇති බව පැහැදිලිව දකින්නට ලැබේ.

වෛද්‍යවරයකුගෙන් මෙන්ම නීතිඥයකුගෙන් ද අපි මේ තත්ත්වය විමසා බැලුවෙමු. වෛද්‍ය විද්‍යාවේ ආචාරධර්මවලට අනුව වකුගඩු අලෙවිය අනුමත කරන්නේ නැත. නීතියේ ඇති ප්‍රතිපාදනවලට ද අනුව වකුගඩුවක් අලෙවි කිරීමේ හැකියාවක් නැත. වකුගඩුවක් දන්දීමට පවා නීතිමය තත්ත්වයන් ගණනාවක් සම්පූර්ණ කළ යුතුය. එහෙත් මේ කිසිවක් ගණනකට නොගෙන උකුවෙල ප්‍රදේශයේ වකුගඩු ජාවාරම සිදුවී ඇත. මේ ජාවාරමට වෛද්‍යවරයකු, සාත්තු සේවකයකු හා ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සම්බන්ධ බව දැනගන්නට ලැබේ. ඔවුන් මෙහි නීතිමය තත්ත්වය තහවුරු කිරීම සඳහා ලිපි ලේඛන ද ලබාගෙන ඇත.

ග්‍රාම සේවක මහතාගෙන් අනුමත ලිපියක්, වෛද්‍යවරයකුගෙන් අනුමත ලිපියක් රැගෙන පුද්ගලයාගේ කැමැත්ත දක්වන ලිපියක් ද සමඟ වකුගඩු ජාවාරම සිදුවන බව පෙනෙන්නට තිබේ. එහෙත් මේ එක සහතිකයක්වත් වකුගඩුවක් අලෙවි කිරීමට ලබාදෙන නීතිමය ලියවිල්ලක් ලෙස සැලකිය නොහැකිය. ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම ලෙස නූගත් මිනිසුන් නොමඟ යවා ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙසේ ලබාගන්නා වකුගඩු ඉතා ඉහළ මිලකට විදේශ රටවලට අලෙවි කරනවා විය හැකිය. එහෙත් අවම ලෙස සාධාරණ මුදලක් හෝ වකුගඩු හිමියාට ලැබී නැත. එය සැලැකිය හැක්කේ බලවත් අපරාධකයක් හැටියට ය. මේ අපරාධයට තවදුරටත් ඉඩදිය යුතු ද යන්න පොලිසිය කල්පනා කළ යුතුය.

ශරීර අවයව අලෙවි කරන තත්ත්වයට ශ්‍රී ලංකාව වැටී ඇතැයි කීම කනගාටුවට මෙන්ම ලැජ්ජාවට ද කාරණයකි. මීට පෙර මෙවැන්නක් සිදුවී නැත. එබැවින් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ ජාවාරම නැවැත්විය යුතුය. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වනවිට සියයකට වැඩි පිරිසක් වකුගඩු විකිණීමට එකඟ වී සිටිති. එයින් සැලැකිය යුතු පිරිසකගේ වකුගඩු ලබාගෙන ඇත. ඒ අයට ද පොරොන්දු මුදල ලබාදී නැත. නූගත් පුද්ගලයන් වකුගඩුවක ඇති වටිනාකම දන්නේ නැත. සමහර පුද්ගලයන්ට මත්පැන් යහමින් ලබාදී වකුගඩු ගලවාගෙන ඇතැ’යි ද තොරතුරු වාර්තා වී ඇත. මේ සියලු සිද්ධිවලින් පෙනීයන්නේ භයානක ජාවාරමක හෙළිදරව්වකි.

තම ශරීර අවයව අලෙවිකොට ජීවත්වීම සඳහා අවශ්‍ය කනගාටුදායක පසුබිමක් තවම ශ්‍රී ලංකාවේ නැත. ඒ හැරෙන්නට ආචාර විද්‍යාත්මක වශයෙන් ද අපේ ජනතාව එබඳු තැනකට යන්නේ නැත. එහෙත් ජාවාරම්කරුවන් කෘත්‍රීම ලෙස එම තත්ත්වය මතුකර ඇත. මෙහි ඇත්තේ අතිශය දරුණු පෙලඹවීමකි. ජාවාරම්කරුවන් එම පෙලඹවීමට සමත් වී ඇත. අප සොයා බැලිය යුත්තේ වකුගඩු අලෙවි කළ පුද්ගලයන් ගැන නොව ඉහත කී ජාවාරම්කරුවන් ගැන ය. මේ කිසිවකු දැන් රටේ නොසිටින්නටත් පුළුවන. ඔවුන් ජාවාරම නිමවා මුදල් පොදි ගසාගෙන රටින් පැන ඇතැ’යි කියන්නට පුළුවන. අමාරුවේ වැටී ඇත්තේ අසරණ - දුප්පත් හා නූගත් ජනතාවය.

මෙබඳු අපරාධයක් සිදුවෙත්දී පොලිසිය නිහඬව සිටියේ මන්ද යනු තවත් ගැටලුවෙකි. ග්‍රාම සේවක සහතික ලබාගැනීම ආදියෙන් පෙනී යන්නේ පොලිසියට ද මෙය රහසක් නොවන බවය. පොලිසිය නිහඬ නම් කළ යුත්තේ කුමක් ද? එක්කෝ ඊට ඉහළින් ඇති බලධාරීන් ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් ජනතාව නැගී සිටිය යුතුය.

දිණමින පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Read 196 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!