Saturday, 23 September 2017

ඉහළින් පහළට!

Posted On Friday, 30 December 2016 09:10

ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා කුඩා - කුඩා ප්‍රජා ව්‍යාපෘති හෙවත් මහජන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය යන්න ප්‍රචලිත වන්නට වූයේ 1980 ගණන්වල සිටය. ඉන්දියාවේ අමූල් ව්‍යාපාරය, බංගලි දේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය හා ශ්‍රී ලංකාවේ ජනසවිය ව්‍යාපාරය එලෙස කුඩා කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ වැඩසටහන්ය.

මේ ව්‍යාපෘතිවලින් සමහරක් ක්‍රියාත්මක වන්නේ රජයේ ඍජු මැදිහත්වීම මත ය. තව සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා සංවිධානවල සහභාගිත්වය ඇතිවය. තවත් සමහර ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කෙළින් ම මහජනයාගේ ශ්‍රමය මතය. මෙබඳු ව්‍යාපෘති මඟින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි බව ආසියාවේ රටවල් පමණක් නොව; අප්‍රිකාවේ රටවල්ද වටහාගෙන තිබිණි.

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් කියා ඇත්තේ සංවර්ධනය පුංචි තැන්වලින් ආරම්භ කිරීම ඉතා සාර්ථක උපාය මාර්ගයක් බව ය. ලෝකයේ වෙනස් කළ හැක්කේ කෙසේද? යනුවෙන් මාහැඟි ග්‍රන්ථයක් සම්පාදනය කළ ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් නම් සමාජ විශ්ලේෂකයා කියා සිටින්නේ දිළිඳු ප්‍රජාව සිය ක්‍රියාකාරකම් ඔස්සේ ලෝකය වෙනස් කරන බව ය. මේ මත දෙක ම එකිනෙකට සම්බන්ධ ය. ප්‍රජා ව්‍යාපෘති පිළිබඳ ඉඟියක් හා අදහසක් ද ඒ මත දෙකෙහි ම පවතී. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ‘ජනසවිය’ සංකල්පය ගොඩනඟන්නේ ද ඉහත කී අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් ය. ජනසවිය කෙළින් ම දිළිඳු ජනතාව කේන්ද්‍ර කොට නිර්මාණය වූ වැඩසටහනක් වන අතර ඒ මඟින් ප්‍රජා ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාවට නංවා තිබිණි.

ප්‍රජා ව්‍යාපෘති තුළ දකින්නට ලැබෙන ප්‍රධාන දුර්වලතා දෙකක් ද පසුව හඳුනාගෙන තිබිණි. එක දුර්වලතාවක් වන්නේ මේ වැඩසටහන් ඕනෑවටත් වඩා දේශපාලනීකරණය වීමය. අනෙක් දුර්වලතාව වන්නේ මේ වැඩසටහන් පිළිබඳ පසුවිපරමක් නො තිබීම ය. මේ දෙක ඔස්සේ ම සංවර්ධනය විනාශ වෙයි. අනවශ්‍ය දේශපාලනීයකරණය නිසා ජනතාවගෙන් කොටසක් ප්‍රජා ව්‍යාපෘතිවලින් ඉවත් වෙයි. පසුවිපරමක් නැතිකම නිසා බොහෝ වැඩසටහන්වල නිය ම ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ නැත. උදාගම් ව්‍යාපාරයේ පරණම ගම්මානවලින් සැලකිය යුතු ගණනක් වල් බිහි වී ඇත. තවත් ගම්මානවල, ගෙවල් පදංචිකරුවන් විසින් අත්හරිනු ලැබ තිබේ. ප්‍රේමදාස මහතාගේ පාලන සමය තුළ ජනසවිය හා නිවාස පහළොස් ලක්ෂයේ වැඩසටහන ඒකාබද්ධ ලෙස ක්‍රියාත්මක වූ කාලයක් තිබුණු බව අපට මතකය. අද ඒ කිසිවක් දකින්නට නැත.

අගමැති කාර්යාලයේ ප්‍රජා ව්‍යපෘති සංවර්ධන කාර්යාංශය මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන පසුවිපරම් වැඩසටහනක් ආරම්භ කර ඇත. පළමුව එහි විමර්ශනයට ලක් වී ඇත්තේ 1990 ගණන්වල ක්‍රියාත්මක වූ ජනසවිය ප්‍රජා ව්‍යාපෘති සමූහයයි. දැනට ම පුරෝකථනය වී ඇති අන්දමට ඇතැම් ප්‍රජා ව්‍යපෘති හොඳින් ක්‍රියාත්මක වෙයි. තව ප්‍රජා ව්‍යාපෘති රැසක් මුළුමනින්ම විනාශ වී ඇත. තවත් ප්‍රජා ව්‍යාපෘති මහජනයා විසින් අත්හරිනු ලැබ තිබේ. මෙබඳු පසුවිපරම් මීට පෙර සිදුවී නැත. එබැවින් ප්‍රජා ව්‍යාපෘතිවල තත්ත්වය නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබුණේ ද නැත. මෙය රටේ සංවර්ධනය පිළිබඳ අලුත් අත්හදාබැලීමක් ලෙස හඳුන්වාදිය හැකි ය. මෙබඳු උපාය මාර්ග තවදුරටත් හඳුනා ගැනීම වැදගත් ය.

ජනසවිය ආරම්භ කොට දින සියයක් ගෙවෙන තැන ප්‍රජා ව්‍යාපෘති සියයක් ආරම්භ කිරීමට නිලධාරීහු කටයුතු කළහ. පසුව ජනසවිය කොමසාරිස් වෙත ඒවායෙහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද ලබා දී තිබිණි. ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ ජනතාව, රජය හා ස්වේච්ඡා සංවිධානවල ඒකාබද්ධ පරිශ්‍රමයක් හැටියට ය. කළුවරගස්වැව, ගලේවෙල, බුලියන්කුලම, සාලියවැව යන ප්‍රදේශවල ඉහත ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක විය. එකල ප්‍රජා ණය නියාමකවරුන් යැයි පිරිසක් ද උන්හ. ඔවුන්ගේ අරමුණ අඩු පොලියකට ඉතා පහසුවෙන් ගැමියාට ණය මුදලක් ලබාදීම ය. ප්‍රජා ණය නියාමකයෝ කෙළින්ම ගමට ගොස් ඔවුන්ගේ කුටුම්භය තුළ අවශ්‍ය ණය ලබාදුන්හ. ඉහළින් පහළට යන සංවර්ධන සටන් පාඨ අප සිහියට නැ‍ඟේ. එහෙත් අද වන විට ප්‍රජා ව්‍යාපෘති පිළිබඳ උනන්දුවක් ගැමියා ළඟ නැත.

සංවර්ධනය සඳහා ජනතා සහභාගිත්වය ලබාගන්නේ කෙසේද යන්න විද්වත් මට්ටමෙන් දිගින් -දිගටම සාකච්ඡා වී ඇත. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ජනතාව ව්‍යාපෘති හා රටේ සංවර්ධනය ගැන දක්වන අවිශ්වාසය යි. එයට හේතු තිබේ. එක අතෙකින්  ගත්කල වැඩසටහන්වල ආකෘතිය හා අන්තර්ගතය බලයට පත්වන දේශපාලන පක්ෂයට අනුව වෙනස් වෙයි. ඇතැම් විට ව්‍යාපෘතියේ නම පවා වෙනස් කිරීම දේශපාලකයන්ගේ සිරිත ය. අනෙක් අතට ව්‍යාපෘති තුළ සාර්ථකව ක්‍රියාත්මක වීමේ උද්යෝගයක් ගැමියන් තුළ ඇත. හේතුව ඔවුන් වෙත ලැබෙන ප්‍රතිලාභය ඉතා සොච්චම් එකක් වීම ය. සංවර්ධනය ස්ථාපිත කිරීම සඳහා චින්තනයේ වෙනසක් ද අපට අවශ්‍ය වේ.

මහජන ව්‍යාපෘති ගැන කතා කිරීමේදී මීට වසර ගණනාවකට පෙර ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා තබන ලද මුල්ගල් දකින්නට ලැබේ. වසර ගණනාවක් තිස්සේ කැලය විසින් වසාගන්නා ලද එම මුල්ගල් දැන් පුරාවිද්‍යාත්මක ස්මාරක තරම් පැරණි ය. තවත් ව්‍යාපෘති භාවිත නොකරන තත්ත්වයට පත්ව ඇත්තේ මහජනයාගේ වැරදි නිසා ය.එක්තරා ගම්මානයක පොදු ළිං ව්‍යාපෘතියක් සඳහා අපූරු ළිං තුනක් සකස් කැරිණි. අද එයින් ප්‍රයේජනයට ගන්නේ ළිං දෙකක් පමණි. අනෙක් ළිඳ ශුද්ධ පවිත්‍ර නොකිරිම නිසා ජරාවාස වී ඇත. කිසියම් ජන කණ්ඩායමක් සියල්ල රජය වෙතින් අපේක්ෂා කරන්නේ නම්; එය වැරැදිය. සංවර්ධනය ගැන හැඟීමක් මෙන් ම ඊට අදාළ සහභාගිත්වයක් ද ජනතාව තුළ පැවැතිය යුතුය. එසේ නොවන කල සංවර්ධනය ජනතාව වෙතින් ඈත්වෙයි. එය අපට හුරු පුරුදු අත්දැකීමකි.

පළමුව කිවයුත්තේ අගමැති කාර්යාලය විසින් ඉතා වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන බව ය. මෙය න්‍යායාත්මකව සේම ප්‍රායෝගික වශයෙන් ද ඉතා වටින්නේ ය. අප දන්නා අත්දැකීම්වලට අනුව රටේ ඇතැම් පාලකයන් ජාතික ආර්ථිකයේ මූලික දත්ත පවා වෙනස් කළේය. එය විශාල අපරාධයක් බව පෙනී යන්නට තවත් කාලයක් ගතවනු ඇත. නිදසුනක් ගතහොත් මාගම්පුර වරාය ඉදිකිරීම සඳහා චීනයෙන් ලබාගත් ණය මුදල නිශ්චිතව කීමට කිසිවකුත් සමත් වී නැත. ඒ කාලය තුළ රට ලබාගත් මුළු ණය ප්‍රමාණය ද නිශ්චිතව හඳුනාගත නො හැකි ය. මෙබඳු තත්ත්වයක් යටතේ ප්‍රජා ව්‍යාපෘති පිළිබඳ පසු විපරම මොන කජ්ජක්දැයි කෙනකු කියන්නට පුළුවන. එහෙත් අපගේ අදහස නම්; කුඩා තැනෙකින් පටන්ගැනීම ඉතා කාලෝචිත බව ය.

සංවර්ධනය පිළිබඳ අලුත් උපාය මාර්ග සෙවීමටත් ඒවා අත්හදාබැලීමටත් රජයකට සිදුවෙයි. මැලේසියාව, සිංගප්පූරුව, චීනය වැනි රටවල් මීට නිදසුන් ය. එදා සමාජවාදී සංකල්ප ඔස්සේ දැඩි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ චීනය අද ලිබරල් චින්තනය යටතේ නිදහස් ආර්ථිකයක් ගෙන යයි. සමාජවාදී චීනයට වඩා ලිබරල් චීනය වේගයෙන් දියුණුවන බව පමණක් කිව හැකි ය.

 

දිණමින පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Read 173 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!