Saturday, 20 April 2024

ඊසාන දිග මෝසමත් වැඩි විශ්වාසයක් නෑ

Posted On Thursday, 29 December 2016 15:10

නිරිත දිග මෝසම සහ දෙවැනි අන්තර් මෝසම් සමයේ බලාපොරොත්තු වූ පරිදි දිවයිනට වර්ෂාව නොලැබීමත් ඉදිරියේ දී ඊසාන දිග මෝසම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ලබන වසරේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


දිවයිනට ලැබෙන වර්ෂාවෙන් තුනෙන් එකක්ම ලැබෙන දෙවැනි අන්තර් මෝසම් සමයේ ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වැසි අඩුවීමත්, මැයි සහ සැප්තැම්බර් දෙවැනි අන්තර් මෝසම් සමයේ ද වැසි නොලැබීමෙන් මෙන්ම මාර්තු දෙවැනි සතියේ පමණ ආරම්භ වන අන්තර් මෝසම් සමයේත් වැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි හෙයින් මෙසේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසයි.

මැයි සහ සැප්තැම්බර්වල නිරිත දිග මෝසමේ වැසි අඩුවෙන් ලැබුණු බවත් ගංවතුර තත්ත්වයක් ඇති වූ මැයි මස ලැබුණු ජලයෙන් වැව් පොකුණු පිරීගිය ද එම ජලය ද දැන් අඩුවෙමින් පවතින බව පෙන්වා දෙන නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ඊසාන දිග මෝසම් වැසි ලැබෙන ජනවාරි මස ද වැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බව ද පැවසුවාය. එසේම මාර්තු දෙවැනි සතියේ ලැබෙන අන්තර් මොසම් සමයේදී ද වැඩි වර්ෂාවක් නොලැබෙන හෙයින් මෙසේ ලබන වසරේ නියඟයක් ඇති වීමේ අවදානමක් ඇතැයි පැවසුවාය.

Read 1747 times