Friday, 19 April 2024

වගාවට හානි කරන කෘමි සතුන් බත් පිඟානට එන දවසක්

Posted On Friday, 15 February 2019 07:23

ඇමරිකානු වානිජ පර්යේෂණ ආයතනයකින් නිකුත් කළ නවතම වාර්තාවක් ලෝක අවධානයට ලක් ව තිබේ. වර්තමානයේ ජුගුප්සාජනක බොහෝ කෘමි සතුන් අනාගතයේ දී රසවත් ආහාර වශයෙන් ගැනේ. වගාවට හානිකරන කෘමීන් සේ සලකා විනාශ කරන්නට රසායනික යොදවන නමුත් ඉතාම නුදුරු කාලයේ එම කෘමීන් බත් පිගානට බොවන්නට නැඹුරු වනු ඇත. එය වැලැක්විය නොහැකිය.

වැඩි ඈතක නොවේ. ඉදිරි වසර හතර තුළ කෘමි ආහාර වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවා යනු ඇති අතර එය අද පවතින වෙළඳ පොල තත්ත්වය තෙගුණයකින් ඉක්මවා යාමක් බව ප‍්‍රකාශ වෙයි.

පලා පෙත්තන්, කැරපොත්තන්, කුරුමිණියන් හා බෝග වගාවන්ට හානි කරන කෘමීන් ආහාරයට සුදුසු බව විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. ජනගහනය වැඩි වන විට ලෝකය පුරා ආහාර හිඟයක් ඇති වෙයි. දිනෙන් දින වැඩි වන ජනගහනයට ආහාර නිපදවීම ප‍්‍රශ්නයක් වී ඇත. ඉඩම් සීමාව එක බාධකයක් වන අතර තාක්ෂණික වශයෙන් කරන දියුණු කිරීම පරිසරයට යම් හානියකි. හරිතාගාර වැනි ක‍්‍රම වලින් විමෝචනය වන වායු සෑහෙන ප‍්‍රශ්නයක් වී ඇත. කෘතීම ක‍්‍රම වලින් ආහාර නිපදවීම පැවැත්මට ප‍්‍රශ්නයක් බැවින් පරිසරයේ උචිත ආහාර අනුභව කරන්නට නැඹුරු වී තිබේ. එකසත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආහාරයට සුදුසු කෘමි විශේෂ පහක් මෑතක දී නම් කළේය. ජනතාවගේ ප්‍රොටීන අවශ්‍යතා සම්පූර්ණ කරන අතර වායු දුෂණය අවම කරනු ඇති බව ද කෘෂිකර්ම සංවිධානය කියා සිටියේය.

ගව මස් කිලෝ එකක් වෙනුවෙන් කිලෝ දහයක සත්ව ආහාර සැපයිය යුතු අතර එය ප්‍රෝටීන ග‍්‍රෑම් එකක් වෙනුවෙන් ජලය ලීටර් 120 ක් අවශ්‍ය වෙන තත්ත්වයකි. සත්ව පාලනයෙන් කරන මස් නිෂ්පාදනයේ දී එක කිලෝවකට හරිතාගාර වායු විමෝචනය කිලෝ ග‍්‍රෑම් 2.8 කි. කෘමි ආහාර වලින් ලැබෙන ප්‍රෝටීන ග‍්‍රෑම් එකකට ජලය ලීටර් 230 ක් ප‍්‍රමාණවත් වන අතර කෘමීන් ට අවශ්‍ය ආහාර සැපයුවහොත් එය කිලෝ ග‍්‍රෑම් 1.7 ක් පමණකි. වගා බිම් වලට මහා විනාශයක් ඇති කරන සේ අද සලකන කෘමීන් අනාගතයේ දී ගොවිපොල වල බෝ කරනු ඇති අතර එය පරිසර හිතකාමී සහ මනුෂ්‍ය පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රෝටීන සපයන ප‍්‍රධාන මාර්ගයක් බවට පත් වනු ඇත.

කෑම පිගානට පලාපෙත්තන් හැන්දක් බෙදා ගැනීම අප‍්‍රිය ජනක විය හැකිය. වෙළඳ පොලේ විකුණන ආහාර වර්ගයක කැරපොත්තෙක් හෝ පනුවෙකු සිටියහොත් අධිකරණයේ නඩු පවරා වන්දි ලබා ගත හැකි සිද්ධියකි. ආහාර සපයන වෙළදසැලක අනවශ්‍ය කෘමි සතුන් ගැවසේ දැයි සොයා බැලීම සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියක් වී තිබේ. මෙවැනි සිද්ධි අනාගතයේ දී කිසිසේත් වාර්තා නොවනු ඇති අතර අහඹු සිද්ධි පවා පාරිභෝගිකයන්ගේ ආහාර රුචිය වර්ධනය කරන හේතුවක් බවට පත්වනු නිසැකය.

තවත් වසර තිස් පහකට පසු ලෝකයේ ආහාර රටාව ගැන කරුණු දක්වන විද්‍යාඥයෝ ජනයා අතරින් බහුතරයක් මස් හෝ මාලූ වලින් තොර එහෙත් කෘමි විශේෂ වලින් යුත් ආහාර අනුභව කරනු ඇති අතර තවත් කොටසක් සත්ව නිෂ්පාදන වලින් සහමුලින්ම ඈත්වන එනම් කිරි බිත්තර හෝ බටර් පවා කෑමට ගන්නේ නැති තත්ත්වයක් උදා විය හැකි බව ප‍්‍රකාශ කරයි. ගොවිපොලක ඇති කරන කෘමීන් ගේ නිෂ්පාදන පිරිවැය අඩු හෙයින් අලෙවි මිල ගණන් අඩුවන අතර සත්ව ආහාර, ජලය සෑහෙන ප‍්‍රමාණයකින් සපයා විශාල ගොවිපොල වල ඇතිකරන සතුන් ගෙන් නිපදවන ආහාර අධික මිල ගණන් වලට අලෙවි වීමට ඉඩ තිබේ. මිල අධික නමුත් මස් සුඛෝපභෝගි පැලැන්තියේ ආහාරයක් වෙන්නේ ද නැත. පර්යේෂණ මට්ටමින් නිපදවා අභ්‍යවකාශ සංචාර වලට ප‍්‍රයෝජනයට ගන්නා චොකලට් ස්ලැබ් වැනි අධි පෝෂණයකින් යුතු කුඩා ආහාර වේලක් දෛනික පැවැත්මට වෙළඳ පොලෙන් මිල දී ගන්නා සමාජයක් අනාගතයේ දී නිර්මාණය වනු ඇත.

නිපදවන ආහාර ලෝකයේ පැවැත්මට ගැලපෙන ඒවාය. එනම් ජලය, පස, පරිසරය හා වායුගෝලයට බාධා ඇති නොකෙරේ. පරීක්ෂාකාරීව ගණන් බලා අනුමත කරන ලද ආහාර වර්ග පර්යේෂණා ගාර තත්ත්ව පරීක්ෂාව යටතේ නිපදවනු ඇත. දියුණු රටවල් එයට අනුගත වනු ඇත. තාක්ෂණය ප‍්‍රමාණවත් නැති රටවල් වලට එම ක‍්‍රම අනුගමනය කර ලෝකයේ පැවැත්ම සුරක්ෂිත කරන්නට දායක වන සේ බල කරන සිවිල් සංවිධාන ව්‍යාපාර බිහිවන්නට ඉඩ තිබේ. නිපදවන ආහාර අධි පෝෂණය හා ශරීර සෞඛ්‍ය මැනැවින් පවත්වාගෙන යන්නට දායක වන ඒවාය. මාලූ වගා බිම් වල කෘතීමව බෝ කරන මාලූ ඔමේගා තෙල් බහුල වන අතර කර්මාන්ත ශාලාවේ පැකැට් වල ආහාර වර්ග වල තන්තු බහුල හා සිරුරේ පැවැත්මට අවශ්‍ය කරන ‘‘පොහොර පැකැට්’’ එකක් බවට පත් වීමට ඉඩ තිබේ.

බඩ පිරෙන ලොකු පිඟානක ආහාර ගැනීම අත් හරින්නට සිදුවෙයි. නිරෝගී පැවැත්මට ආහාර අවශ්‍යය. ආහාර වල අඩංගු සංඝටක හිත පිනවනු ඇති අතර නෙත පිනවන සැරසිලි සහිත කෑම මේසයක වලංගු භාවයක් නැත.

ආහාර මිල දී ගැනීමට සුපිරි වෙළඳ සැලකට ගොඩ වෙන පාරිභෝගිකයෙකු ඒවා මිල දී ගන්නේ පවුලේ කා හට ද යන්න තීරණය කරන තැනට පත් විය හැකි බව ද ආහාර විශේෂඥයෝ දක්වන ප‍්‍රබල අනුමානයකි. රාක්කවල ඇති ආහාර වලින් සමහරක් කුඩා දරුවන් වෙනුවෙන් අද කාලයේ විශේෂයෙන් වෙන් කර ඇත. නමුත් අනාගතයේ දී දරුවන්, කාන්තාවන්, වැඩ කරන පිරිමි අය, වැඩිහිටියන් හා නියමිත වයස් කාණ්ඩ වල දී ගත යුතු වශයෙන් පැහැදිලිව වෙන් කරනු නිසැකය. පවුලේ සාමාජිකයන්ගේ වයස හා තරාතිරම බලා ආහාර පැකැට් මිල දී ගත යුතු අතර ඒවා හැබෑවටම නිසි වයස් කාණ්ඩයේ දී අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථ වලින් සමන්විතය. කැරපොත්තන්, පලා පෙත්තන් හා වෙනත් කෘමීන් ආහාරයට සුදුසු බවට හදුනා ගැනෙන්නේ මෙම පසුබිම අනුවය.

10/02/2019 - දේශය

Read 2482 times