Saturday, 18 November 2017

නැඟී එන බලවතුන්ගේ හවුල හෙවත් බ්‍රික්ස් - බිම්ස්ටෙක් සාකච්ඡා

Posted On Saturday, 31 December 2016 07:41

“බ්‍රික්ස් සංවිධානය නැඟී එන කලාපීය හා ගෝලීය අර්බුදවලදී ප්‍රබල හවුලක් බවට පත් කිරීමට අපි එකඟ වූයෙමු” - ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි

වත්මන් ගෝලීය භූ දේශපාලනික රටාව සලකා බලන කල වැඩි ශක්තියක් හා ප්‍රබල හවුලක් බවට පත් වීමට ලොව දෙවැනි පෙළ බලවතුන්ගේ දැඩි ප්‍රයත්නයක් පවතී. මෙය වඩාත් තීව්‍ර ලෙස නිරීක්ෂණය කළ හැකි වන්නේ බ්‍රික්ස් හෙවත් නැඟී එන ආර්ථික බලවතුන්ගේ හවුලේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයෙනි. එම රටවල රාජ්‍ය නායකයෝ

ඉකුත් දා ඉන්දියාවේ ගෝව නගරයේදී හමු වී තම ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ. එහිදී ආර්ථික වර්ධනය උදෙසාත් ත්‍රස්තවාදය පිටුදැකීම සඳහාත් එක්ව ක්‍රියා කිරීමට බ්‍රික්ස් නායකයෝ තම අවසන් ප්‍රකාශනයෙන් එකඟ වූහ. බ්‍රික්ස් සමුළුව හා සමගාමීව තවත් කලාපීය සංවිධානයක් වන බිම්ස්ටෙක්හි රාජ්‍ය නායක සමුළුව ද පැවැත්වීම තවත් විශේෂ සිදුවීමකි. ඒ අනුව කලාපීය රාජ්‍යයන් රැසකට තම සබඳතා ශක්තිමත් කරගැනීමේ කදිම වේදිකාවක් ගෝවේදී නිර්මාණය විය. එසේ වුවත් සමුළු දෙකෙහිම ඵලදායිතාව ගැන විවිධ මතිමතාන්තර පවතී. එය හුදෙක් සාමාජික රාජයයන්හි විවිධ අභිලාෂයන් හා ගෝලීය භූ දේශපාලනික අපේක්ෂාවන් මත රඳා පවතී. එමෙන්ම මේ තත්ත්වය රාජ්‍යයන්හි විවිධ අභිලාෂයන් හා සාමූහික අභිලාෂයන් අතර දෝලනය වන ප්‍රශ්නයකි. අනෙක් අතට මේ රටවල් එකිනෙකට වෙනස් වූ අරමුණු රැසක් ඔස්සේ ගමන් කිරීම තුළ සාමූහික අභිලාෂයන් කරා යොමු වීමට විශේෂිත ප්‍රයත්නයක් දරන ලද අවස්ථාවක් ලෙස ද මේ සමුළුව හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාව සලකන කල ගෝවේ සමුළුව මෙරට අන්තර්ජාතික සබඳතා තවදුරටත් නැංවීම සඳහා ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙස සැලැකේ. එය දෙආකාර වේ. පළමුව බ්‍රික්ස් සමුළුවේ නිරීක්ෂක නායකයකු වශයෙන් සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇරියුම් ක‍ළේය. අනෙක් අතට ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකි. ඒ අනුව එකිනෙකට වෙනස් අන්තර්ජාතික වේදිකා දෙකකට එකවර අවතීර්ණ වීමේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය.

බ්‍රික්ස් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ලොව කලාපීය හා නැඟී එන ආර්ථික බලවතුන්ගේ හවුලයි. එය මෑත කාලීනව ගෝලීය වශයෙන් වඩාත් අවධානය දිනාගත් අන්තර්ජාතික සංවිධානයකි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවල් එහි සාමාජිකත්වය දරයි. බ්‍රික්ස් සංවිධානය ස්ථාපනය කරමින් එහි සමාරම්භක සමුළුව පැවැත්වුණේ 2009 වසරේදීය. සාමාජිකයන් දෙස බලන කල සංවිධානයේ භූමිකාව පිළිබඳව යම් අදහසක් ලබාගත හැකි වේ. මේ සෑම රටක්ම තමන් පිහිටි කලාපය තුළ ප්‍රධාන රාජ්‍යයේ චරිතය නිරූපණය කරයි. මේ අතරින් රුසියාව 1990 දශකයට පෙර සෝවියට් දේශය ලෙස පවතිද්දී ලෝක මහ බලවතුන් දෙදෙනාගෙන් අයෙකි වර්තමානයේ ද ජගත් භූ දේශපාලනික තලය තුළ විකල්ප මතධාරී පිලට නායකත්වය දෙන්නේ රුසියාවයි. චීනය හා ඉන්දියාව ආසියානු කලාපීය දේශපාලන බලවතුන් වන අතර ගෝලීය තලය තුළ ද එම රටවලට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. බ්‍රසීලය ලතින් ඇමෙරිකානු කලාපීය බලවතා වන අතර දකුණු අප්‍රිකාව අප්‍රිකා මහද්වීපයේ ලබා ඇත්තේ එම කලාපයේ ප්‍රධාන බලවතා සතු ස්ථානයයි. බලය හා ආර්ථික හැකියාව අතින් බ්‍රික්ස් රටවල් දෙවැනි වන්නේ G - 8 හෙවත් ලොව ප්‍රධාන කාර්මික රටවල් අටේ සංවිධානයටයි. ලෝක ජනගහණයෙන් හරි අඩක් එනම් කෝටි 360ක් ජීවත් වන්නේ බ්‍රික්ස් රටවල් පහ තුළයි. ලොව වැඩිම ජනගහණය සහිත චීනය හා ඉන්දියාව ඉන් විශේෂ තැනක් ගනී. භූමි ප්‍රමාණය අතින් ගත් කල ද බ්‍රික්ස් රටවල් පහ පෙරමුණේ පසු වෙයි. ලොව විශාලතම රට වන රුසියාව මෙන්ම බ්‍රසීලය, චීනය හා ඉන්දියාව ද දැවැන්තයෝ වෙති. ආර්ථික වර්ධන ක්ෂේත්‍රය ද එසේමය. ලොව දෙවැනි ප්‍රධානතම ආර්ථික බලවතා වන චීනය ද ඇතුළු බ්‍රික්ස් රටවල් සමස්තය ගත් කල 2015 වසරේදී ලබා තිබූ ආර්ථික වර්ධන වේගය 3.9%කි. ඒ අගය 2016 වසරේදී 4.6%ක් ද 2017 වසරේදී 5.3%ක් ද වශයෙන් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකු ආර්ථික අනාවැකි පෙන්වා දෙයි. සමස්ත ගෝලීය දළ නිෂ්පාදිතයෙන් 22% කට හිමිකම් කියන්නේ බ්‍රික්ස් රාජ්‍ය 5යි.

බ්‍රික්ස් හා සසඳන කල බිම්ස්ටෙක් සංවිධානය ඊට බෙහෙවින් පහළ මට්ටමක පවතින කලාපීය හවුලකි. බෙංගාල බොක්ක ආශ්‍රිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව යන්න එම සංවිධානයේ නිල නාමයයි. එහි ඉංග්‍රීසි නමෙහි මුලකුරු ගෙන බිම්ස්ටෙක් නමැති කෙටි නාමය හඳුන්වා දී තිබේ. ඒ සංවිධානය 1997 ජුනි මාසයේ තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරිණි. එහි බංග්ලාදේශ ඉන්දියා ශ්‍රී ලංකා හා තායිලන්ත ආර්ථික සහයෝගීතාව වශයෙනි. එහෙත් පසුකාලීනව මියැන්මාරය නේපාලය හා භූතානය වැනි රටවල් සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වීමත් සමඟ සංවිධානය වඩාත් පුළුල් විය. සහයෝගීතා ක්‍රියාවලියේදී සාමාජික රටවල් අන්‍යොන්‍ය වශයෙන් විවිධ ක්ෂේත්‍ර බෙදා වෙන් කරගෙන තිබේ. වෙළෙඳ හා ආයෝජන බංග්ලාදේශයත් ප්‍රවාහන හා සන්නිවේදනය ඉන්දියාවත් බලශක්තිය මියැන්මාරයත් සංචාරක කටයුතු ඉන්දියාවත් තාක්ෂණ අංශය ශ්‍රී ලංකාවත් ධීවර කර්මාන්ත ක්ෂේත්‍රය තායිලන්තයත් විසින් මෙහෙයවනු ලබයි. රාජ්‍ය නායක සමුළු පැවැත්වෙන්නේ දෙවසරකට වරකි.

ගෝවේ පැවැති රාජ්‍ය නායක සමුළුවලදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ කරුණු දෙකකි. පළමුවැන්න ත්‍රස්තවාදය පිටුදැකීමයි. දෙවැන්න ආර්ථික වර්ධනයයි. මේ අතරින් දෙවැනි මාතෘකාව සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර පූර්ණ එකඟතාවක් පැවැතිණි. ගෝලීය ආර්ථික අවපාතයෙන් ගැලවීම සඳහා කඩිනම් හා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට එකඟතාව පළ විය. ඒ සඳහා නව යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති ආයෝජන ප්‍රවර්ධන හා නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරිම ගැන බ්‍රික්ස් රටවල අවධානය යොමු වෙයි. ඊට අමතරව රාජ්‍ය නායකයෝ ප්‍රධාන ගිවිසුම් 3කට එළඹුණහ. කෘෂිකාර්මික ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍රය නැංවීම සඳහා අවශ්‍ය අධ්‍යයන සිදුකිරිම හා අදාළ පුද්ගලයන් හා ආයතන ජාලගත කිරීම ආර්ථික අපරාධ, වංචා හා දූෂණ පිටුදැකීමේ නව යන්ත්‍රණයක් හා මුදල් විශුද්ධිකරණය පිටුදැකීම ඒ අතර වේ.

ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා එක්ව ක්‍රියා කිරීමටත්, ඒ සඳහා සෑම අංශයකින්ම සහයෝගිතාව නැංවීමටත් රාජය නායකයන් අතර සමුළු දෙකෙහිදීම එකඟතාවක් ඇති විය. ඒ සඳහා මුල් තැන ගෙන ක්‍රියා කළේ ඉන්දියාවයි. ත්‍රස්තවාදී මාතෘකාව කෙරෙහි ඉන්දියාව සෙසු සියලු කරුණුවලටත් වඩා මුල් තැනක් දෙනු දක්නට ලැබුණු අතර අන් කිසිදු රටකටත් වඩා වැඩියෙන් ඉන්දියාව ත්‍රස්තවාදයට එරෙහිව හඬ නඟනු දැකගැනීමට හැකි විය. එහෙත් ඒ උනන්දුව තුළ සැඟවී තිබූ අන්තර්ජාතික දේශපාලන යටි අරමුණක් පිළිබඳව ඉන්දීය මෙන්ම ලෝක මාධ්‍යය ද බෙහෙවින් කථා කළේය. ඉන්දීය අරමුණ තුළ ගැබ්ව තිබුණේ දකුණු ආසියාවේ සදාතනික ගැටුම වන ඉන්දු - පාකිස්තාන අර්බුදයයි. ඉන්දියාව බ්‍රික්ස් මෙන්ම බිම්ස්ටෙක් සමුළුවේදී ද පුන පුනා කියා සිටියේ දේශ සීමා හරහා ක්‍රියාත්මක ත්‍රස්තවාදය පිටුදැකිය යුතු බව සහ එවැනි ත්‍රස්තවාදීන්ගේ මවු යානය දකුණු ආසියාවේ ඇති බවත්ය. ඉන්දියාව ව්‍යංගයෙන් සඳහන් කළේ පාකිස්තානය පිළිබඳව යැයි සියල්ලටම අවබෝධ වෙයි. කාශ්මීර බෙදුම්වාදීන්ට පාකිස්තානයේ පුහුණුව හා ආධාර ලැබීමේ සංසිද්ධිය සමුළුව තුළ මූලික මාතෘකාවක් කරගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබිණි. ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුණේ පාකිස්තානය දෙපයින් ඔසවා ගඩොල් (බ්‍රික්ස්!) බිත්තියේ ගැසීමට ඉන්දියාව සැරසෙන බවයි. එමෙන්ම කාශ්මීර ප්‍රශ්නය මුල් කරගනිමින් පාකිස්තානය අන්තර්ජාතික වශයෙන් හුදකලා කිරීමට ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට මේ අන්තර්ජාතික සමුළු වේදිකාවක් වශයෙන් භාවිත කිරිමට මෝදි රජය උත්සුක වූ ආකාරය පැහැදිලිය. එහෙත් ගැටලුව වන්නේ ඉන්දියාවේ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුකිරීමට සෙසු රටවල් දායක නොවීමයි. ඔවුන් ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ ද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ තම අවශ්‍යතා සැලකිල්ලට ගෙන මිස ඉන්දියාවේ වුවමනාව ඉටු කිරීමට නොවන බව සමුළුවේදී ඉතා පැහැදිලි වූයේ යැයි ඉන්දීය මාධ්‍ය පවා ප්‍රකාශ කරයි. උදාහරණයක් ලෙස රුසියාව ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී මූලික අවධානයක් දැක්වූයේ කාශ්මීර ප්‍රශ්නය ගැන නොව, සිරියානු අර්බුදය ගැනය. එය රුසියානු නායකයාගේ දේශනයේදී ද පැහැදිලි විය. චීනයේ ස්ථාවරය ඊටත් වෙනස් වූ ලක්ෂ්‍යයක ස්ථානගත වූවකි. චීන ජනාධිපති ෂී ජින් පිං පැවසුවේ කලාපීය උණුසුම් ගැටලු විසඳම සඳහා දේශපාලනික සාකච්ඡා මාර්ගය වඩා වැදගත් බවයි. එම ප්‍රකාශයෙන් පසුව චීන රජයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාකිස්තානය ද ත්‍රස්තවාදයෙන් බැටකන රටක් බවයි. එමඟින් චීනය තම සමීප හිතවත් රාජ්‍යයක් වන පාකිස්තානය ප්‍රහාරයට ලක් වීමෙන් මුදාගන්නට ඉදිරිපත් වූ බවක් දක්නට ලැබේ. එහිදී පැහැදිලිව දක්නට ලැබුණු කරුණක් නම් ඉන්දු පාකිස්තාන ප්‍රශ්නයෙහි පාර්ශ්වකරුවන් වන්නට අවශ්‍ය නැති බව සෙසු රටවල් විසින් ඉන්දියාවට ඇඟවීමක් බව විශ්වාස කෙරේ. මේ නිසා අන්තර්ජාතික සමුළු දෙකක් එකවර කැඳවීමේ අරමුණ ඉටුකර ගැනීමට මෝදි රජය සමත් වූයේදැයි ඉන්දීය පුවත්පත් ප්‍රශ්න කරයි. ද්වි පාර්ශ්වික ගැටලු අන්තර්ජාතිකකරණය සඳහා පෙලඹීමේදී මතු වන ගැටලු සහගත තත්ත්වය ගෝවේ සමුළු මඟින් පැහැදිලි විය.

එහෙත් ගෝවේ සමුළු මඟින් ඉන්දියාව සත්කාරක රට ලෙස අත් කරගත් ප්‍රධානතම සාර්ථකත්වය නම්: එරට අන්තර්ජාතික ශක්තිය පිළිබඳ ප්‍රතිරූපය කලාපය තුළ වඩාත් තහවුරු කිරීමය. විශේෂයෙන්ම රුසියාව සමඟ ඇති කරගත් නව ආරක්ෂක සම්මුති ලෝකයේම අවධානයට ලක් විය. විශේෂයෙන්ම ඉන්දියාවට රුසියාවේ නිෂ්පාදිත නවීනතම ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් හිමි වීමත් ඉන්දියාව හා රුසියාව හෙලිකොප්ටර යානා 200ක් නිපදවීමේ ගිවිසුකට එළඹීමත් යන සිදුවීම් පෙන්වා දිය හැකිය. රුසියානු නිෂ්පාදනයක් වන කමෝච් හෙලිකොප්ටර් 200න් 140ක් ඉන්දියාවේදීම නිෂ්පාදනය කිරීම තුළ කලාපීය බලවතකු ලෙස එරට තාක්ෂණික හැකියාවන් ඉහළ තලයකට අවතීර්ණ වේ.

බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමාගම් සමුළුවලදී සත්කාරක ඉන්දියාව අත් කරගත් ප්‍රධානතම වාසිය නම් සිය ප්‍රතිරූපය නංවා ගැනීමයි.

සමගාමී සමුළු සඳහා විශේෂ ආරාධිතයකු ලෙස එක්වූ ශ්‍රී ලංකාවට ද හිමි වූයේ අන්තර්ජාතික සබඳතා ක්ෂේත්‍රයේ වැදගත් වාසිදායක තත්ත්වයකි. ගෝලීය හා කලාපීය වශයෙන් තීරණාත්මක බලවේග තුනක් වන රුසියාව, ඉන්දියාව හා චීනය මේ සමුළු සඳහා එක්ව සිටි නිසා එකම වේදිකාවකදී එම බලවතුන් හා සබඳතා පැවැත්වීමේ වාසිය ශ්‍රී ලංකාව විසින් හිමි කරගනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යන රාජ්‍ය නායකයන් අතර පැවැති හමුව මේ අතරින් වැදගත් තැනක් ගනී. රුසියාව යනු අතීතයේ සිටම ඉතා අවංක ලෙස දුකේදීත් සැපේදීත් ශ්‍රී ලංකාව සමඟ සිටි මිතුරෙකි. අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවට පත් වන ඕනෑම අවස්ථාවක රුසියාව අප වෙනුවෙන් පෙනී සිටි ආකාරය ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් යටතේ එම මිතුදම අලුත් කරගැනීමට මේ වේදිකාව ශ්‍රී ලංකාවට උපකාරී විය. බටහිර ලෝකය සමඟ සබඳතා නංවන අතරවාරයේදීම තම පැරැණි මිතුරන් අත් නොහරිමින් ඔවුන්ගේ සහාය ද රටේ උන්නතිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා නව මං ඔස්සේ අන්තර්ජාතික සබඳතාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා බ්‍රික්ස් - බිම්ස්ටෙක් වේදිකාව අපට උපකාරී විය.

ආසියාව තුළ බලය සඳහා තරගයක යෙදී සිටින ඉන්දියාව සහ චීනය සැලකූ විට ඉන්දීය භූමියේදීම චීන හා ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමත් එතුළින් ඉදිරි සබඳතා පිළිබඳ එකඟතා තහවුරු කරගැනීමත් යන සංසිද්ධි ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය තහවුරු කරන අවස්ථා ලෙස පෙන්වා දීමට පුළුවන.

ප්‍රසාද් කෞශල්‍ය
දොඩන්ගොඩගේ

Read 2884 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!