Friday, 29 March 2024

වැඩි මිලට පොහොර අලෙවි කළහොත් දැඩි පියවර

Posted On Friday, 11 May 2018 09:46

විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක් රු. 1500ට වඩා මිලකට අලෙවි කළහොත් ඔවුන් එරෙහිව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.


රජය විසින් රටේ ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය   ලබාදෙන අතර රු. 500ක මිල යටතේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් ද, රු. 1500ක මිල යටතේ විවෘත වෙළෙඳ පොලෙන්ද පොහොර මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

ගොඩිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා දෙන පොහොර  මිටියක් රු. 500ක් වශයෙන් ද, බාහිර අලෙවිසැල් සැල්වලින් අලෙවි කරන පොහොර මිටියක උපරිම මිල රු. 1500 ද වශයෙන් රජය නිර්දේශ කර තිබේ.

2018 යල කන්නයේදී පොහොර සහනාධාර වැඩපිළි‍වෙළ  යටතේ ලබාදෙන  පොහොරලාභී ගොවීන් ප්‍රමාණය  705,370කි. එමෙන්ම ඒ යටතේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය අක්කර 1,103,861.87කි. 2018 වසර තුළ පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රු. මි. 32,500කි.

කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා ගොවි නියෝජිත පිරිස් සමඟ සිදු කළ සාකච්ඡාවක දී ඔවුන් විසින් පැහැදිළි කළ කාරණයක් වුයේ ඇතැම් වෙළෙඳුන්  විවෘත වෙළෙඳ පොළේ පොහොර මිටියක මිල රු. 1500ක් වශයෙන් රජය දැනුම් දී තිබිය දී ඊට වඩා ඉහළ මිලකට පොහොර අලෙවි කරන බවයි.

එම කාරණය සැළකිල්ලට ගනිමින් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ විවෘත වෙළෙඳ පොලේ පොහොර මිටියක මිල රු. 1500ට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ තොරතුරු වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව එම අලෙවිකරුවන්ගේ  පොහොර අලෙවි කිරීමේ බලපත් පවා අහෝසි කිරීමටත්, ඔවුන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම විවෘත වෙළෙඳ  පොළේ වැඩි මිලකට පොහොර අලෙවි කරන්නන් සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සැළකිල්ලට ගෙන  අවශ්‍ය කටයුතු කරන්නැයිද අමාත්‍යරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉදිරියේදී ගොවි ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් , කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතනවල ඉළක්කය විය යුත්තේ ගොවියා තවතවත් වගා කටයුතු සඳහා දිරිගැන්වීම බවත් අමාත්‍යරවයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ගොවි සංවිධාන නියෝජතයින් හමු වී සාකච්ඡා කිරීමෙන් පසුව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.