Thursday, 28 March 2024

ළමා අපයෝජන අවම කිරීමේ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පැසසුම්

Posted On Tuesday, 23 January 2018 04:44

ළමා අපයෝජන අවම කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනිද ලිවේරා මහත්මිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඔවුන් විසින් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැසසුම් ලැබී ඇත.
 
ශ්‍රී ලංකාව තුළ පවතින වීදි දරුවන්ගේ ගැටළුව සඳහා රටක් ලෙස ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ, වින්දිත ළමුන් තාවකාලිකව රඳවා තබාගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර ඇති සුරැකි පියසේ ක්‍රියාකාරීත්වය හා ළමා ආරක්ෂාව තහවුරු කිරීමට පවුල ශක්තිමක් කිරීමේ යාන්ත්‍රණය, කායික දණ්ඩනය අවම කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සඳහන් කරුණු පිළිබඳව ගමින් ගමට, පාසලින් පාසලට ගොස් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන අන්දම, ළමයාගේ මතයට ගරු කරමින් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ අවස්ථාව ලබාදී ඇති අන්දම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් සයිබර් අවකාශයේ සැරිසරමින් අන්තර්ජාල අවේක්ෂණ කටයුතු සිදු කරන අන්දම මෙන්ම ජාත්‍යන්තරව පිළිගෙන ඇති විශේෂ දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් වන වීදි නාට්‍යානුසාරයෙන් සිදු කරන විශේෂ දැනුවත් කිරීම පිළිබඳව ද ජිනීවා සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරුණු බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
ඊට අමතරව ළමා අපයෝජන පිළිබඳ විමර්ශන හා නඩු කටයුතු වේගවත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට ගෙන යමින් පවතින විශේෂ වැඩපිළිවෙළ සම්බන්ධව මෙන්ම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයේ විශේෂ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කොට ඇත.
 
ඉන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරනු ලබන මෙම වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ සභාපතිවරිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ විශේෂ පැසසුමට ලක්විය.
 
1989 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය එළි දැක්වූ අතර, 1990 දී ශ්‍රී ලංකාව ඊට අත්සන් තබන ලදි. 1991 වර්ෂයේ සිට එය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන්නට කටයුතු කෙරිණි. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කර ඇති සෑම රටක්ම එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී.