Friday, 29 March 2024

රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම්වල සේවකයන්හට ප්‍රසාද දීමනා

Posted On Wednesday, 20 December 2017 08:59

2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිදි රුපියල් 15,000ක උපරිමයකට සහ රුපියල් 3,000ක අවමයකට යටත් ව කාණ්ඩ හතරක් යටතේ රාජ්‍ය ව්‍යවසායයන්ගේ සේවකයන්හට මෙම ප්‍රසාද දීමනා හිමි වෙයි. ඒ පිළිබඳ චක්‍රලේඛයක් භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් මස 11 වැනි දින නිකුත් කරන ලදී.
 


පෙර වර්ෂයේ අලාභදායි තත්ත්වයන් වළක්වා මෙම වර්ෂය තුළ දී ලාභය උපයාගෙන ඇති දිරි දීමනා ගෙවනු නොලබන ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 15,000ක් ප්‍රසාද දීමනා ලෙස ගෙවිය හැකිය.
 
පෙර වර්ෂයේ පැවැති අලාභදායි තත්ත්වය මෙම වර්ෂය තුළ දී ලාභදායී තත්ත්වයට පත් කරගෙන ඇති දිරි දීමනා ගෙවා ඇති ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 13,500ක ප්‍රසාද දීමනාවක් අනුමත කර ඇත.
 
අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කළ ද පෙර වර්ෂයට සාපේක්ෂව අලාභය අවම කරගෙන ඇති ආයතනවල සේවකයන් වෙත මෙතෙක් ගෙවූ රුපියල් 3,000 ප්‍රසාද දීමනාව රුපියල් 5,000ක් දක්වා වැඩි කර ගෙවීමට අනුමැතිය ලබා දී තිබේ.
 
අදාළ වර්ෂය තුළ අලාභදායී තත්ත්වයක් වාර්තා කර එම අලාභය පෙර වර්ෂයට වඩා අඩු කර ගැනීමට නොහැකි වූ ආයතනවල සේවකයන් වෙනුවෙන් රුපියල් 3,000ක ප්‍රසාද දීමනා හිමි වෙයි.
 
කෙසේ වෙතත් සාමූහික ගිවිසුම් මගින් හෝ ඒ හා සමාන අවබෝධතා ගිවිසුම් මගින් හෝ වැටුප් හා දීමනා ක්‍රියාත්මක වන රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වලට මෙම විධි විධාන අදාළ නොවේ. එවැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලට වර්තමානයේ මසක හෝ මාස දෙකක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනා වශයෙන් ගෙවනු ලැබේ.
 
කෙසේ වුව ද මෙම ප්‍රසාද දීමනා ගෙවීමට පෙරාතුව අදාළ රාජ්‍ය සංස්ථා සහ රජය සතු සමාගම්වලින් මේ සඳහා මහා භාණ්ඩාගාරයේ එකගතාව ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.