Saturday, 20 April 2024

ලබන වසරේදී පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් NVQ සුදුසුකම

Posted On Thursday, 14 December 2017 07:05

ලබන වසරේදී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් පේෂකර්ම හා තාක්ෂණ පාඨමාලා සඳහා මෙතෙක් ලබාදුන් උසස් ජාතික ඩිප්ලෝමාව (HND) වෙනුවට ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) ලබාදීමට සැලසුම් කර ඇතයි  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
 


අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟළුම් හා පාවහන් නිෂ්පාදන කර්මාන්තය සඳහා මිනිස්බල පුහුණුව ලබාදෙන ඉහළම ආයතනවලින් එකක් වන  ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පිළිබඳව පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.
 
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මේ වසරේ අගෝස්තු මාසය වන විට සමස්ත මෙහෙයුම් ආදායම ලෙස රුපියල් මිලියන එකසීය විසිහයක් (126) උපයාගෙන ඇති බවත් එම ආදායමෙන් රුපියල් මිලියන හැට අටක් (68) පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් ලබා ගැනීමට හැකිවූ බවත්, බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
 
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ මෙහෙයවීම යටතේ මෙම වසරේදී සිසුන් දෙදහස් විසිදෙනෙක් (2020) මේ වන විටත් ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබා තිබෙන බවත් ලබන වසරේදී  ඇඟලුම් කර්මාන්තය සඳහා ඇඳුම් මසන්නන් පුහුණුකිරීමේ වැඩසටහන් වැඩිදියුණු කර ක්‍රියාත්මක කිරීමටත් කෙසෙල් පතුරු මගින් ස්වාභාවික කෙඳි නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු විධිමත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්  පැවසීය.