Wednesday, 24 April 2024

දුම්රිය වර්ජනයට මුහුණ දෙන්න තවත් අමතර බස්රථ 1750 ක් ලංගමයෙන්

Posted On Tuesday, 12 December 2017 06:48

පසුගිය 08 වන දින සිට ආරම්භ කර ඇති දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංවිධානය විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් මහජනතාවට ඇති වී තිබෙන ගමනාගමන අපහසුතාවය නැති කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මේ වන  දීපව්‍යාප්තව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.
 


සාමාන්‍යයෙන් දෛනිකව ලංගම විසින් බස්රථ 5700 ක් පමණ සේවාවේ යොදවන අතර මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000 ක් මේ විට යොදවා ඇත.
 
එමෙන්ම පාසැල් නිවාඩුව හේතුවෙන් පාසැල් සේවා සඳහා යොදවා ඇති බස්රථ 750 ක් දුරගමන් සේවා සඳහා ද,  සුඛෝපබෝගි බස්රථ 60 ක් මේ වන විට ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා ඇත.
 
මෙම බස්රථවල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර  හිමිකම් තිබෙන අයට සහ කලින් දුම්රිය ආසන වෙන්කරවා ගත් මගී ජනතාවට කිසිදු ගාස්තුවක් ගෙවීමකින් තොරව ගමන් පහසුකම් ලබා ගැනීමට අවසරය ලබාදි ඇති බවද ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කරයි.  
 
මේ පිළිබඳව විශේෂ චක්‍රලේඛයක්, සියළුම ඩිපෝ අධිකාරිවරුන්ට යවා ඇති අතර යම් හෙයකින් එම ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම් ලබා ගැනීමට නොහැකි යැයි පවසන ඕනෑම කොන්දොස්තරවරයකුට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන බවද සභාපතිවරයා දන්වා සිටි.
 
මේ අතර ජාතික ගමනා ගමන කොමිසම විසින් සියලුම පුද්ගලික බස්රථ ධාවන සංගම්වලට දන්වා ඇත්තේ 12 දින සිට ආරම්භ වන අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනි සිටින දරුවන් හට තමන්ගේ දුම්රිය වාර ප්‍රවේශපත්‍රය පෙන්වා පුද්ගලික බස්රථවලින් ගමන් කිරිමට හැකි බවයි.
 
අද පෙරවරු 10 පමණ වනවිට දුම්රිය ගමන්වාර 16 ක් ක්‍රියාත්මක වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර අද දහවල් 12.00 ට පෙර වර්ජනයේ නියැලෙන වෘත්තීය සංගම් සාමාජිකයන් හට සේවා කටයුතු සඳහා වාර්තා කරන ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.