Wednesday, 24 April 2024

නගරබද වැඩිහිටි ජනගහනයෙන් 50%කට පූර්ව දියවැඩියාව

Posted On Friday, 10 November 2017 05:01

ශ්‍රී ලංකාවේ නගරබඳ ජීවත්වන වැඩිහිටි ජනගහනයෙන් 50%ක් පමණ පුර්ව දියවැඩියාවෙන් පෙළෙන බව මැතකදී සිදුකල සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.


කොළඹ නගරයේ වැඩිහිටියන්ගෙන් 25%ක් දියවැඩියා රෝගීන් වන අතර යාපනයේ වැඩිහිටියන්ගෙන් 20%ක් දියවැඩියා රෝගීන් වෙති.

එබැවින් ප්‍රධානතම බෝනොවන රෝගයක් වන දියවැඩියා තුරන් කිරීමේ කාර්යය රජයට පමණක් බාර දී බලා සිටිය නොහැකි බවත් මේ සඳහා සමාජයෙන් ද විශාල සහයෝගයක් අවශ්‍ය වන බවත් ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ඊයේ (9) කොළඹ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවැසීය.

කාන්තාව සහ දියවැඩියාව යන තේමාව යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුණි.

කාන්තාවන්ට දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය වැඩි බවත් ගර්භණි සමයේ දී ඇතැම් කාන්තාවන්ට දියවැඩියාව වැළඳෙන අවස්ථා ඇති බවත් මෙහිදි පෙන්වාදුන් ඒ මහතා නිවැරදි ජීවන රටාව ආහාර පාලනය පෝෂණ ගුණයන්ගෙන් යුත් ආහාර ගැනිම හා ව්‍යායාම කිරීම මඟින් දියවැඩියාවෙන් මිදීමට හැකි බවත් එහිදී කාන්තාවන්ට විශාල කාර්යභාරයක් පැවැති ඇති බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා අන්තරා සර්ග පද්ධතිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක මහතා, මේ රටේ ජනගහනයෙන් දියවැඩියාව පමණක් තිබෙන රෝගීන් 10%ක් ද දියවැඩියාව හා කොලොස්ටරෝල් තිබෙන රෝගින් 16%ක් ද දියවැඩියාව රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් රෝගීන් 56% ක් ද සිටින බව පැවැසීය.

මේ නිසා තව ද රෝගීන් සංඛ්‍යාව ද වසරේන් වසර ඉහළ යමින් පවති. ඉදිරි දස වසර තුළ තවද රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් කෝටි 5000 ක් ද වකුගඩු බද්ධ කිරීම් සඳහා රුපියල් කෝටි 10, 000 ක් ද දියවැඩියාව නිසා පාද ආබාධවලට ලක්වන රෝගීන් සඳහා රුපියල් රුපියල් කෝටි 10,000 ක් ද වැය කිරීමට සිදුවනු ඇතැයි ගණය බලා තිබෙන බව ද විශේෂඥ වෛද්‍ය සුමනතිලක මහතා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ පැවැති යුද්ධයෙන් පාද අහිමි වූ සංඛ්‍යාවට වඩා දියවැඩියාව නිසා පාද අහිමිවන සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා පැවැසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ද මෙම සම්මන්ත්‍රණය ඇමැතීය.