Thursday, 28 March 2024

අවුකන පිළිමය ආශ්‍රිත ප්‍රදේශයේ අකුණු අනතුරු වැළැක්වීමට පියවර

Posted On Monday, 06 November 2017 07:27

අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
 


මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අදාළ ප්‍රදේශයට වැඩි වශයෙන් අකුණු අනතුරු පැවතීමේ අවදානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති හිමියන් ද ප්‍රකාශ කොට තිබුණි.
 
මෙවැනි ලෝක පූජිත බෞද්ධ උරුමයන් රැකගැනීම සම්බන්ධව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාට උපදෙස් ලබාදුන්නේය.
 
ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා අදාළ විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයට පිටත් කර යැවීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පියවර ගෙන තිබේ.