Thursday, 28 March 2024

ඩෙංගු පාලනයට පිරිසිදූ කිරීමේ දෙසතියක් හෙට සිට ඇරඹේ

Posted On Tuesday, 27 June 2017 06:33

ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 සෞඛ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන, ආරක්ෂක යන අමාත්‍යාංශවල සහයෝගය මත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර, වර්ෂාපතනය හේතුවෙන් මදූරු ඝණත්වය වැඩිවීම පාලනය කිරිම එහි අරමුණ වෙයි.

 දැනට ඩෙංගු රෝගීන් 70,000 ක් වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් සියයට 25 ක් වයස අවුරුදූ 19 ට අඩු අය බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සදහන් කරයි.

මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන පැවැති ඩෙංගු ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ඉදිරියේ දී සිදූ කරන සෞඛ්‍ය සේවා වැඩසටහන් පිළිබදව අවධානය යොමු කරන ලදි.

සිවිල් ආරක්ෂක දෙපාර්තෙමින්තුවේ භටයින් 100 ක් ඩෙංගු රෝගීන් සදහා වෛද්‍ය පහසුකම් සැලසීමේ දී සහායවීමට ලබා දී ඇත. මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රත්නපුර මහ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, කඳාන ප්‍රාදේශිය රෝහල, දන්කොටුව ප්‍රාදේශීය රෝහල, තලංගම ප්‍රාදේශිය රෝහල, පිළියන්දල ප්‍රාදේශීය රෝහල, වෑතර ප්‍රාදේශිය රෝහල සහ හෝමාගම මුලික රෝහලට එම භටයින් අනුයුක්ත කර ඇත