Thursday, 23 November 2017

සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත

Posted On Tuesday, 20 June 2017 05:44

අද ජගත් පරිසර දිනයයි.

 

1972 වර්ෂයේ ස්විඩනයේ  පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක්  සම්මත වීමෙන් අනතුරුව ලෝක පරිසර දින සැමරුමෙහි ආරම්භය සිදුවෙයි. එදින සිට සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සමරනු ලබයි .මෙවර අප සමරනු ලබන්නේ 44 වන ජගත් පරිසර දිනයයි. ඒ “සොබා දහම හා බැඳුණු ජනතාවක්” යන කාලීන තේමාවත් සමගය.ලෝකයේ දැනට වෙසෙන බිලියන 07 ක ජනගහනයක අවශ්‍යතා  ඉදිරියේ මිනිසා තව තවත් සොබා දහෙමන් ඈත් වනු ඇත. 

ස්වාභාවික විපත් අවම රටක් ලෙස ලොව පුරා ප්‍රකට නමක් දරා සිටි ශ්‍රී ලංකාව ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ පරිදි ඒ සුන්දර සොබා දහමේම ගොදුරක් බවට පත් වී හමාරය.සොබා දහමට එරෙහි වන මිනිසාට සොබා දහම පිළිතුරු සපයමින් සිටියි.environment 3

නිසි දෙය නිසි තැන්හි නිසි වර්ණ ගන්වා සැකසී තිබුණු සොබාදහම නම් අපූරු ගෙත්තම තම සිතැහි පරිදි වෙනස් කරන්නට මිනිසි දැරූ තැත අපගේ ශිෂ්ටාචාරයේ ආරම්භ වුව ද සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබේ. මහා කඳු නාය යමින්, ගංගා උතුරා දෙගොඩ තලා යමින් නියං සාගත පැතිරෙමින් අපට සිහිකැඳවන්නේ සොබාදහමේ ඒ අනතුරු ඇඟැවුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජගත් පරිසර දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් පෙන්වා දෙයි.

වත්මන් රජය විසින් ජගත් පරිසර දිනයට සමගාමීව ප්‍රායෝගික වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින්නේ වර්තමාන පරම්පරාවටත් වඩා අනාගත පරම්පරාවට මුහුණ දීමට සිදු වන මහා ඛේදවාචකයක් වළකා ගනු පිණිස විය හැකිය. සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සැමරීම නිමිති කර ගෙන ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් ජනාධිපති ලේකම් විසින් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පතමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2016 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සන්දේශයක්ද නිකුත් කරනු ලබන්නේ මෙකී  දැවැන්ත ව්‍යසනයන් වළකා ගනු පිණිසය. එයට සමගාමීව  දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළවල් රාශියක් දිවයින පුරා ක්‍රියාත්මක වුව ද ප්‍රජාවගේ මනා කැපවීමකින් තොරව රජයකට පමණක් මෙකී කාර්යය සාර්ථක කර ගත නොහැකිය. මෙහි මූලික වගකීම සමස්ත ජනතාව වෙත පැවරෙන බව අමතක නොකළ යුතුය.

මිනිසුන්ගේ අවශ්‍යතා සීග්‍රයෙන්  දියුණු වන සමාජයක නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු සඳහා කැලෑ ගිනි තැබීම්, වනාන්තර විනාශය, අවිධිමත් ඉඩම් භාවිතය, එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා වෙනුවෙන් කපා දැමෙන තුරුලතා ප්‍රමාණය දිනෙන් දින වැඩිවෙමින් පවතී. වනාන්තර විනාශයත් සමඟ කාන්තාරකරණයට ලක් වීම හා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායුන් වායුගෝලයට වැඩි වශයෙන් එකතු වීම නිසා පෘථිවිය උණුසුම් වීම ක්‍රමයෙන්  වැඩි වී ඇත.මෙම  ගෝලීය  උණුසුම් වීම වැඩි වීම හේතුවෙන්  වර්ෂාපතන රටාව වෙනස් වීම,  භුගත ජල මූලාශ්‍ර සිඳී යාම, වියළි කලාපවල වියළි බව තවදුරටත් ඉහළ යාම,   ගංවතුර තත්ත්ව ඇති වීම ආදී අහිතකර තත්ත්වයන් රාශියක් මානවයා කෙරෙහි දැඩි බලපෑමක් සිදු කර ඇත.  මෙහිදී සංවර්ධනය හා පරිසරය ආරක්ෂා කිරීම යන කාරණා දෙක සැමවිටම සමතුලිතව පවත්වා ගැනීම වඩාත් වැදගත් වෙයි.

වෘක්ෂලතාවල කාර්යභාරය සුළුවෙන් තැකිය නොහැකිය. ප්‍රභාසංස්ලේෂණය, ජලය උත්ස්වේදනය කිරීමෙන් ජල චක්‍රයට හවුල් වීම, ජිවීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම, දැව ඉන්ධන ඖෂධ ලබාදීම, පස ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම, පාංශු ජලය භූගත ජලය හා ජල උල්පත් ආරක්ෂා කිරීම, නාය යාම වැළැක්වීම, පරිසර දූෂණය අවම කිරීම ඉන් කිහිපයකි. ගෝලීය  උණුසුම් වීම නිසා මෑතකදී රටවල් ගණනාවකම මිනිසුන් දහස් ගණනකටම සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. අපට අසල්වැසි ඉන්දියාවද ඒ අතර වෙයි. මරණයට අත වනමින් සිටින අපේ සමාජයේ බහුතරකට තවමත් ජීවත් වීමට උරදෙන කෘෂි කර්මාන්තයේ සීග්‍ර පරිහානියටද මෙම  ගෝලීය උණුසම් වීම බලපාන බව තේරුම් ගත නොහැකි වීම කණගාටුවට කරුණකි. කෘෂිකාර්මික වගා බිම් සීමා විම්,  වගා පාළුව ,භෝගවල අස්වැන්න අඩු වීම නියඟ තත්ත්ව නිසා පසේ ආම්ලිකතාව ඉහළ යාම තුළින් එම ඉඩම් වගාවට නුසුදුසු වීම, මුහුදු  ජලය ඉහළ යාම නිසා වෙරළාසන්න කාෂි ඉඩම්වල වගා කළ නොහැකි තත්ත්වයට පත් වීම මෙන්ම වගා කරන කාල සීමා වුවද වෙනස් වීමෙහිලා මූලිකවම බලපානුයේ  මෙම  ගෝලීය උණුසුම් වීමෙන්  ඇති වන අහිතකර තත්ත්වයයි. මරණය යනු මෙහි ඇති  භයානකම ප්‍රතිඵලයයි. ගෙවුණු වසර කිහිපය අප ඒ බිහිසුණු අත්දැකීමටද මුහණ දෙමින් සිටින්නෙමු. ගංවතුර, නියඟ, සුළි සුළං පාංශුඛාදනය හා මුහුදු ඛාදනය හා නායායාම්  මෙම දේශගුණික විපර්යාස නිසා අප දැනටමත් අත්දකිනා ආපදාවන්ය. ගත වුණු මාසයේ පන්ලක්ෂයකට අධික පිරිසක් අවතැන් කරමින් 200 කට අධික පිරිසකට මරු කැඳවමින් දසතින් ගලා ආ බිහිසුණු ගංවතුර ආපදා තත්ත්වයේ අහිතකර ප්‍රතිඵලයන් අපි තවමත් භුක්ති විඳිමින් සිටින්නෙමු. වසර ආරම්භ වූයේ දැඩි නියං තත්ත්වයකින් රට වෙලා ගනිමින්ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව ගතවුණු මුල් මාසයේ දිස්ත්‍රික්ක 18 ක  පවුල් 318,256 ක 1,215,084ක පුද්ගලයින් සංඛ්‍යාවක් නියඟය නිසා පීඩාවට පත් වූහ. බීමට ජල පොදක් නැතිව ගම්බිම් හැර ගිය පිරිස් බොහෝය.environment 2

දේශගුණ විපර්යාස  ඇති වීමෙහිලා මිනිසාගේ සෘජු හෝ වක්‍ර ක්‍රියාකාරකම් දැඩි ලෙස බලපෑමක් ඇති කරන  නමුදු එය මැඬපැවැත්වීමෙහිලා එක් පැළයක් සිටුවීමෙන් හෝ සෑම පුරවැසියෙකුටම මෙම ජාතික වගකීමට සම්බන්ධ විය හැකිය. තවද දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පෙන්වා දෙන පරිදි,
•    අඩු බලශක්තියක් වැය වන ආලෝක විමෝචණ ඩයෝඩ(LED) විදුලි බුබුළු භාවිත කිරීම
•    අනවශ්‍ය අවස්ථාවන්හිදී  රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම
•    සරල  දිවි පැවැත්මකට පුරුදු වීම
•    ස්වාභාවික ද්‍රව්‍ය පරිභෝජනයට වැඩියෙන් නැඹුරු වීම
•    හැකි සෑම විටකම ගසක් සිටුවා එය රැක ගැනීමට දායක වීම
•    නිවසේදී අපතේ යන කාබනික අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර සාදා  ගෙවත්ත සඳහා භාවිත කිරීම
•    පොදු ප්‍රවාහන සේවා සඳහා නැඹුරු වීම
•    නිවස තුළින් ඉවතලන ප්ලාස්ටික් කඩදාසි පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට යෙදවීම
•    දේශගුණ විපර්යාස පිළිබඳ තමන් සතු දැනුම අන් අයට ලබාදීම
•    සිදු විය හැකි විපත් වලට මුහුණ දීමට පෙර සූදානමින් සිටීම
•    හරිත ද්‍රව්‍ය මිලට ගැනීම
•    පොසිල ඉන්ධන භාවිතය වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් භාවිත කිරීම

යනාදී ක්‍රියාමාර්ගයන් තුළින් දේශගුණ විපර්යාස  අවම කිරීමට මහජනතාවට ද  දායක විය හැකිය.
විශේෂයෙන්ම තිරසාර සංරක්ෂණයක් නැති රටක තිරසාර සංවර්ධනයක් ඇති කළ නොහැකිය. මෙවන් තත්ත්වයක් මත පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම අවබෝධ කරමින් ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් මාධ්‍යයට කළ හැක්කේ ද සුවිසල් කාර්යභාරයකි. නැවතත්  වාණිජ මාධ්‍ය අරමුණු පසෙකලා සමාජයීය මෙහෙවර අවබෝධ කරගත් මාධ්‍ය කලාවක් රටට අවැසිම මොහොතකි මේ.

ඉරේෂා මධුරකාවිනී

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගැනුණි.

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!