Wednesday, 24 April 2024

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයකට පත් වෙලා

Posted On Monday, 05 June 2017 06:21

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයක් බවට පත්කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5) යෙදී තිබෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


එමෙන් ම මෙවැනි ඛේදනීය තත්ත්වයන් පාලනය කිරීම සහපරිසරය සුරැකීම සම්බන්ධව රජයට විශේෂ වගකීමක් පැවරෙන අතරම ඒ සඳහා සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නිකුත් කළ නිවේදනය මෙසේ ය.

පරිසර දින පණිවුඩය

පරිසරය නොතකා හැරීමේ සහ සොබාදහම පිළිබඳ සංවේදීභාවයෙන් තොරව දිවි ගෙවීමේ සෘජු ඛේදනීය ප්‍රතිඵල අපි අද භුක්ති විඳිමින් සිටිමු.

ජෛව විවිධත්වයේ නිජබිමක්ව පැවති අප රට එම විවිධත්වයේ සමෘද්ධිමත් බව, අගය සහ සෞන්දර්යය අහිමි කරගනිමින් සිටීම ශෝකයට කරුණකි. අසීමිත තෘෂ්ණාවෙන් සහ ආත්මාර්ථයෙන් සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයක් බවට පත්කොට ඇත.

පරිසරය සමඟ ඒකාත්මිකව දිවි ගෙවූ අපගේ ජීවන රටාවන් වෙනස් වීම මෙන්ම වෙනස්වන ලෝකය තුළ දියූණුව හඹා යාමේදී සොබාදහම නොතකා හැරීමද මෙම අවාසනාවන්ත තත්ත්වය උදාවීමට හේතු වී ඇති බව පැහැදිලිය. මෙවැනි ඛේදනීය තත්ත්වයන් පාලනය කිරීම සහ පරිසරය සුරැකීම සම්බන්ධව රජයට විශේෂ වගකීමක් පැවරෙන අතරම ඒ සඳහා සමස්ත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.

මානව පැවැත්මට, විශ්වයේ පැවැත්මට පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳ මනා අවබෝධයෙන්, වගකීමෙන් අද දවසේ අප කටයුතු නොකරන්නේ නම් එය ඉතාම අහිතකර ලෙස සහ විනාශකාරී ලෙස අපගේ හෙට දවස ආක්‍රමණය කරනු ඇත.

ලෝක පරිසර දිනය සමරන අද දවසේ සොබාදහමට දක්වන ආදරය, ගෞරවය සහ සැලකීම දෛනික දිවි පෙවෙතේ අංගයක් ලෙස වැඩි වර්ධනය කරගන්නට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ඇරයුම් කරමි. පරිසර හිතවාදී බව දිනයකට පමණක් සීමා නොකොට ජීවන චර්යාවක් බවට පත්කරගැනීම අප සැමගේ වගකීම වේ.

 

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

2017 ජුනි 04