Thursday, 25 April 2024

පාලන මිලට වඩා සහල් අලෙවි කරන්න බැහැ

Posted On Thursday, 06 April 2017 06:12

දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.


මෙම වසරේ මුල් මාසයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහල් හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා බදු සහන යටතේ සහල් ආනයනය කිරීමට රජය අවසර දුන්නේ ය. ඒ යටතේ මෙට්‍රික් ටෝන්  217,000ක පමණ සහල් ආනයනය කරන ලදි. මාර්තු මස 31 වන දින අවසන් වීමට තිබූ සහල් සඳහා වන බදු සහන කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇත.

ජීවන වියදම් පිළිබඳ ව අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේ තීරණය අනුව සහල් කිලෝ ග්‍රෑමයක්  සඳහා රු.5ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ තවදුරටත් සහල් ආනයනය කිරීමට ආනයන කරුවන්ට අවස්ථාව ලැබෙන බව භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ය.

සහන දීර්ඝ කරන ලද මෙම කාලය තුළ ආනයනය කරන සහල් වැඩි මිලට අලෙවි කිරීමට ඇතැම් කූට වෙළෙදුන් උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇතත් පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කිරීමට අනුමැතිය ලබා දී නැතැයි භාණ්ඩාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට ආනයනික සම්බා කිලෝ වක්  රු.80ක් වශයෙන් හා නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රු.72ක් වශයෙන් හා කැකුළු සහල් කිලෝවක් රු.70ක් වශයෙන්  ද උපරිම සිල්ලර මිල නියම කර තිබේ.