Thursday, 25 April 2024

විදේශ රැකියාවට යොමුවන ශ්‍රමිකයින් සදහා සුභසාධන පහසුකම් පුළුල් කෙරේ

Posted On Tuesday, 02 July 2019 06:15

විදේශ රැකියා සදහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා මහජන බැංකුව සමඟ පසුගිය දින කාර්යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.



එහිදී පෙර විගමණික ණය, ස්වයං රැකියා ණය හා නිවාස ණය මුදල් ලබාදීම පිළිබදව මූලික වශයෙන් සාකච්ඡාට ලක් වී ඇත.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ නියෝජිතයින් සමඟ දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමයේ අඩුපාඩු හා ණය මුදල වැඩි කර ගැනීමත්, ශ්‍රමිකයින්ගේ ආයෝජන අවස්ථා වැඩි කරගැනීමට උපකාර කිරීමත් යන කරුණු පිළිබදව සාකච්ඡා කර තිබේ.

මහජන බැංකුවේ නියෝජිතයින් සමග දැනට ලබාදෙන රු.50,000 පෙර විගමණික ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩිකර ගැනීමටත් නිවාස ණය රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමටත් සාකච්ඡා විය. එසේම අකර්මන්‍ය වී ඇති ස්වයං රැකියා ණය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබදවත් දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක්කරන ලදී. මෙම කරුණු පිළිබදව බැංකු ආයතන 2ම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර, ඉදිරියේදී වඩාත් පහසු නීතිරීති යටතේ මෙම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම අවස්ථාවට කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීනි කිෂෝලි පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, සුභසාධන අංශයේ කළමනාකරු අනුර කුමාර සූරියආරච්චි හා බැංකු ආයතන දෙකෙහි නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.