Wednesday, 24 April 2024

නවීන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ උපත් ආබාධ වළක්වා ගැනීමට,පාලනය කිරීමට හා ප්‍රතිකාර කිරීමට හැකියි

Posted On Wednesday, 06 March 2019 06:21

උපත් ආබාධ ඇති දරුවන්ට නිසි ප්‍රතිකාර නොමැති නමුත්, නවීන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට මෙම තත්ත්වය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට ප්‍රතිකාර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.



 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) ශ්‍රි ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ පැවැති ලෝක උපත් පාලන දිනයේ නිල උත්සවය අමතමිනි.

ශ්‍රි ලංකාවේ සෑම වසරකදීම උපත් ආබාධ සහිත දරුවන් 5800ක් මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650ක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යන බවත් තවත් 200 දෙනෙක් පමණ දරුණු උපත් අබාධවලින් ජීවිත කාලය පුරා පීඩා විඳින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ද ප්‍රකාශ කරයි.

ඓතිහාසික මත ධාරාවන් ඔස්සේ විමසීමේදී පැහැදිලි වූ කරුණක් වන්නේ උපත් ආබාධ ඇති දරුවන්ට නිසි ප්‍රතිකාර නොමැති බවයි.වර්තමානය වන විට ලංකාවේ කාන්තාවන් 360860ක් පමණ ගර්භණී භාවයට පත් වේ. ඉන් 99% ක් සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මැදිහත් වීම යටතේ ලියාපදිංචි සහ සත්කාරක සේවා ලබා දීම සිදු කරයි. ඉන් 94%ක් පමණ දරු උපත් සිදු වන්නේ රජයේ රෝහල්වල වීමද තවත් විශේෂත්වයකි. වර්තමානය වන විට ස්කෑන් පරීක්ෂණයක් යටතේ කළල ආබාධ හෝ විකෘතිතා සති 18-20ත් අතර කාලයේදී හදුනා ගැනීමට හැකියාව තිබෙන නිසා උපත් ආබාධවලින් තොර දරු උපතක් සිදු කිරීමට හැකි බව ද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති අනුලා විජේසුන්දර මහත්මිය පැවසීය.

මීට අමතරව හදවත් ආබාධ ඇති දරුවන් සඳහා ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය යටතේ විශාල මැදිහත් වීමක් සිදු කරයි. වර්ෂයකට හදවත් සැත්කම් 2000ක් පමණ මෙරට සිදුවන අතර විකිරණ මාර්ගයෙන් සැත්කම් 1000ක් පමණ සිදු වේ. මේවන විටත් ජාතික ළමා රෝහලේ වෙනමම ගොඩනැගිල්ලක් නවීන උපාංග සහිතව ඉදි කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා බිලියන 2ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඒ සඳහා ස්වේච්ඡා සංවිධාන මඟිනුත් ආධාර ලැබෙන අතර සියලු දෙනාගේම සහාය මේ සදහා ලබා දෙන්නේ නම් වැදගත් බව ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලීද සිල්වා , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂිකා අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ පබා පලිහවඩන, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වජිර දිසානායක, ශ්‍රි ලංකා ළමා සංවර්ධන සංගමයේ සභාපති ළමා මානසික රෝග විශේෂඥ වෛද්‍ය සරාජි විජේසේකර යන මහත්ම මහත්මීන් සහභාගී විය.