Tuesday, 16 April 2024

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක විය යුතුයි- ජනපති

Posted On Friday, 15 February 2019 07:21

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.



ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප්‍රායෝගික අන්දමින් ජනතාව අතර ක්‍රියාත්මක නොවන බවයි.

පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවදානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සඳහන් කළේය.

දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලු බුද්ධිමත් ජනතාව ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිතුමා මිනිසා ප්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමා ව සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියේ ය.

අද රක්ෂිත වනාන්තරවලට ඇතිවී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමු වරට තමා පසුගියදා තීරණයකට එළැඹියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කියා සිටියේය.

මෙම මාර්තු 01 වන දාට පෙර සෑම පුද්ගලයෙකුම සතුව තිබෙන විදුලි කියත් පිළිබඳ පොලිසිය දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය බව සඳහන් කළ ජනාධිපතිතුමා පොලීසිය මෙන් ම ග්‍රාමීය ව කටයුතු කරන සියලු ක්ෂේත්‍ර නිලධාරින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

අනවසරයෙන් මෙම විදුලි කියත් ළඟ තබාගතහොත් එම පුද්ලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම පිළිබඳ ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම විදුලි කියත් මෙරටට ගෙන්වන වෙළඳ ආයතන සමග සාකච්ඡා කර ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳ තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.

මේ අතර අවිධිමත් කසළ කළමනාකරණය ද පරිසර විනාශ ඉහළ යාමට බලපා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළකට අදාළ ව රාජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රබල බාධාවක් වී ඇත්තේ ඊට එරෙහිව මතුවන ජනතා විරෝධයන් බව ද පැවසීය.

නව තාක්ෂණය ඇසුරෙන් ක්‍රියාත්මක කෙරෙන කසළ කළමනාකරණ ව්‍යාපෘති පිළිබඳව ජනතාව තුළ ප්‍රමාණාත්මක අවබෝධයක් නොමැතිකම හේතුවෙන් මෙම විරෝධතාවයන් මතුවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා යම් ප්‍රදේශයක කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ නම් අතුරු නිෂ්පාදන රැසක් සමග කෘෂිකර්මාන්තයට අදාළ ප්‍රතිලාභ රැසක් ද ඒ තුළින් එම ප්‍රදේශයට හිමිවන බව පෙන්වා දුන්නේ ය.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර මල්වතු ඔය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නැවත කඩිනමින් ආරම්භ කරන බව ද පැවසීය.

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ජනාධිපතිතුමා විසින් පැළයක් රෝපණය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පරිසර වැඩසටහන ආරම්භ කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් පාරිසරික ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් ඇතුළත් වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් වෙත පලතුරු පැළ බෙදාදීම සනිටුහන් කිරීම, අනුරාධපුර ඉපලෝගම, මානෑවකන්ද ආශ්‍රිත ගම්මානයේ මී පළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම, මධ්‍යම නුවරගම් පළාතේ පූජා නගරය ආශ්‍රිතව අවිධිමත් කසළ බැහැර කිරීම වැළැක්වීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාඩික්කගම ආදර්ශ ගම්මානයේ පළතුරු වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජල ටැංකි 5000 ක් බෙදාදීමේ ව්‍යාපෘතිය සනිටුහන් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එමෙන්ම පර්යේෂණ සහ නව නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළෙමින් වැව් පද්ධති පවිත්‍ර කිරීම උදෙසා ජපන් ජබර ඉවත්කිරීමේ යන්ත්‍රය නිර්මාණය කළ ජාත්‍යන්තර සම්මානලාභී නව නිපැයුම්කරුවෙකු වන නාමල් උදාර පියසිරි මහතා ඇගැයීමට ලක් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ නියෝජිතයන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිසර සමුළුවට සහභාගීවීම සඳහා අද පෙරවරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.

අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.