Thursday, 28 March 2024

ජාතික අක්ෂිදාන දිනය අදය‍ි -අක්ෂි කුණිත සැත්කම් 150000ක්

Posted On Tuesday, 18 December 2018 07:16

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සෑම වසරකම දෙසැම්බර් මස 18 දින ජාතික අක්ෂිදාන දිනය සමරයි.


මෙහි ජාතික වැඩසටහන කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අක්ෂිදාන මූලස්ථානයේදී පැවැත්වෙන අතර ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික්ක 10ක සැමරුම් උත්සව පැවැත්වේ.

මේ වෙනුවෙන් සංවිධානය කොට ඇති ජාතික වැඩසටහනේදී ජපානය, චීනය, පාකිස්ථානය යන රටවල්වලට අක්ෂි කුණිත පරිත්‍යාග කිරීම සංකේතාත්මකව සිදු කරනු ලබයි.

රෝගාතුර නාවික හමුදාවේ නිලදාරියෙකුට පටක කොටසක් ලබා දීමටත්, රත්මලාන අන්ධ විද්‍යාලය සදහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කිරිමටත් සංගමය කටයුතු යොදා ඇත. ප්‍රාදේශීය වශයෙන් සිදු කරන වැඩසටහනේදී විවිධ අක්ෂි රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් හා ඇස් කණ්ණාඩි ලබා දීමත් සිදු වේ.

2020 වන විට ලෝකයෙන් අන්ධ භාවය තුරන් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව අක්ෂිදාන සංගමය සේවාවන් රාශියක් සිදු කරනු ලබයි. දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ ඇස් රෝහල මගින් වසරකට සැත්කම් 700 ක් පමණ ද බාහිර රෝගී අංශයෙන් වසරකට 3000කට වැඩි පිරිසකට ප්‍රතිකාර කරයි.

දහස් ගණන් රෝගීන් සුවපත් කළ මිනිස් පටක බැංකුව ආසියාවේ තිබෙන එකම පටක බැංකුවයි. ආබාධිත හා විකලාංග රෝගීන් 7000ට පමණ පටක බැංකුව මගින් අදවන විට ලබා දී තිබෙන බව අක්ෂිදාන සංගමයේ ලේකම් අයෝධ්‍ය සම්පත් සිල්වා පැවසීය. මේවන විට අක්ෂි කුණිත 150000ක් පමණ සිදු කර ඇති බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

මෙයට අමතර ව වසරකට රෝගීන් 300ක පමණ ඇසේ සුද ඉවත් කිරීම සිදු කරයි. අක්ෂිදාන සංගමයේ ජාත්‍යන්තර සේවාව මගින් ජාත්‍යන්තර ඇස් බැංකුව රටවල් 57ක නගර 117ක් පුරා විහිදී පවතින අතර දේශීය හා විදේශීය වශයෙන් 113000 ක පමණ අන්ධ රෝගීන් සදහා අක්ෂි කුණිත පරිත්‍යාග කර ඇත.

දෘෂ්‍යාබාධිත අයට පෙනීම ලබා දීමට අවශ්‍ය අක්ෂි කුණිත සහ විකලාංග රෝගීන්ට බද්ධ කිරීම සදහා අවශ්‍ය ශරීර කොටස් (පටක) සම්පූර්ණයෙන් නොමිලේ ලබා ගත හැකිය. යම් අයෙකුට තම කැමැත්ක මත ඇස් හා පටක දන් දීම සදහා පොරොන්දු පත්‍ර ලබා ගැනීමටත්, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු යටතේ නොමිලේ අක්ෂි රෝග පරීක්ෂාව දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ අක්ෂි රෝහල හරහා හැකි වේ.

එම සේවාවන් සදහා විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මෙම දුරකථන අංක ඇමතිය හැකිය.

011- 2698040,41,43,2692051,2696109 හා ක්ෂණික ඇමතුම් 011- 5742929 ෆැක්ස් 011-2608042