Thursday, 25 April 2024

සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක්- ජනපති

Posted On Tuesday, 18 December 2018 07:14

සියලුදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  16 දා  පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවති 2018 රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

ජාතින් අතර සංහිඳියාව වර්ධනය කිරිමේ අරමුණින් සහ ඔවුන් තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් “සමිඳු උපතයි නත්තල් සිරියයි” තේමාව යටතේ ඉතා උත්කර්ෂවත් ලෙස මෙවර රාජ්‍ය නත්තල් උත්සවය විවිධ ජාතින්ට අයත් ජනතාව ජීවත්වන මන්නාරම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි.

රාජ්‍ය නත්තල් උත්සවය ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිස්තුන් වහන්සේගේ උතුම් පණිවිඩය ලොවට ගෙන යන නත්තල සැමරීම වෙනුවෙන් කිතුනු බැතිමතුන් පමණක් නොව ලොව පුරා සියලු ජනතාව ගෞරවයෙන් ඒකරාශී වන බවයි.

ආධ්‍යාත්මික සමාජයක් ගොඩනැගීමේ දී ද කිතුනු දහමේ මඟපෙන්වීම ඉතා විශිෂ්ට බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ප්‍රධාන පියතුමන්ලා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ කිතුනු බැතුමත්හු විශාල පිරිසක් රාජ්‍ය නත්තල් උත්සවයට එක්ව සිටියහ.