Friday, 19 April 2024

ජාතික හැදුම්පතට ඡායාරූප ලබා ගැනීමේ දී අලුත් ක්‍රමයක් එයි

Posted On Wednesday, 12 December 2018 05:53

ජාතික හැඳුම්පතට ඇතුළත් කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organazation)ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.


 මෙහි  පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිත අතර, දෙසැම්බර් මස 17 වන දින පටන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී එම පළාත්වල ජනතාව උක්ත ප්‍රමිතියට අනුව ඡායාරූප ලබා ගත යුතුයි.

මෙම ක්‍රමවේදයට අනුව, ඡායාරූපයේ දෘඩ පිටපතක් (Hard copy) ඉල්ලුම්කරු වෙත ලබා නොදෙයි.ඡායාරූපයේ අංකය යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR කේතය සහිත ඉල්ලුම්කරුගේ ඡායාරූපය මුද්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ඇත.

ඉල්ලුම්කරු විසින් එම ලදුපත සිය අයදුම්පත සමඟ ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතු වෙයි. අදාළ ඡායාරූපය වලංගු වන්නේ එය ලබා ගත් දින සිට මාස 6ක කාලයක් පමණි.

මෙහිදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලා මඟින් පමණක් ඡායාරූප ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

එම ශාලා පිළිබඳ විස්තර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාලයෙන් දැන ගත හැකියි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.drp.gov.lk තුළින් ද මෙම ලියාපදිංචි ඡායාරූප ශාලාවන්හි ලැයිස්තුව ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.