Tuesday, 16 April 2024

පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් පීඩා විදින රෝගීන්ට ලබදෙන දීමනාව ඉහළට

Posted On Thursday, 27 September 2018 04:59

පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට යෝජනා වෙයි.


පිළිකා වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එම්.එස්.බී රත්නායක මහතා විසින් කළ යෝජනාව මධ්‍යම පළාත් සභාව මගින් ඒකමතිකව සම්මත කරන ලදී.

මධ්‍යම පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පිළිකා, වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලවූ රෝගීන්ගේ ප්‍රතිකාර සදහා සහනයක් ලෙස දැනට රුපියල් 500 ක මුදලක් මාසිකව ලබා දෙයි. නමුත් මාසිකව ප්‍රතිකාර සදහා වැය වන මුදල සළකා බැලීමේදී මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, වියදම දරා ගත නොහැකිව ඔවුන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

එබැවින් මෙම රෝගාබාධ සදහා ගොදුරු වී සිටින රෝගීන්ට රුපියල් 3000 ක දීමනාවක් ලබා දීම සුදුසු බව තීරණය කළ මධ්‍යම පළාත් සභාව මේ පිළිබද මධ්‍යම රජයටද දැනුම් දී අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා විමසිම් කිරීමටද තීරණය කරන ලදී.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹී තිබේ.