Thursday, 18 April 2024

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයේ දී රෝගීන් සංකූලතාවයට පත් වූ එන්නත පිළිබදව විමර්ශනයක්

Posted On Tuesday, 25 September 2018 07:22

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 ක් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.


ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදෙන ලදි.
නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනය සදහා ලබා දී ඇති මෙම එන්නත් තොඟය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී ඇත.
මෙම අක්ෂි සායනයට පසුගියදා රෝගීන් 55 ක් පැමිණ ඇත. එහෙත් ඔවුන්ගෙන් 17 ක් මෙම සංකූලතා වලට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල් ගත වී ඇත. එම රෝගීන්ට ද යළි ප්‍රතිකාර ආරම්භ කර  ඇති අතර, ඔවුන් ද සුව අතට හැරෙමින් සිටින බව වෛද්‍යවරුන් පවසති. මෙම එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායන වලින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
මෙම එන්නත වැඩිදුර පරීක්ෂණ සදහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.