Friday, 29 March 2024

''SAN MERZANO'' නැමති තක්කාලි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා අත්හදා බලයි

Posted On Wednesday, 12 September 2018 06:04

නේපාලයට අවේණික තක්කාලි ප්‍රභේදයක් වන SAN MERZANO නැමති තක්කාලි විශේෂය ශ්‍රී ලංකාව තුළ වගාකිරීම අත්හදා බැලීම මේ වන විට ආරම්භ කර ඇත.


බණ්ඩාරවෙල ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් විසින් දැනට මෙම තක්කාලි විශේෂය වගා කිරීම ආරම්භ කර ඇති අතර, එම නිලධාරීන් විසින් පසුගිය දා බණ්ඩාරවෙල ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳව සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේ මෙම තක්කාලි විශේෂය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හඳුන්වා දෙනු ලැබී ය.

අනෙකුත් තක්කාලිවලට වඩා ඉහළ අස්වැන්නක් මෙමඟින් ලබාගත හැකි අතර එක් තක්කාලි ගෙඩියක් බර 100-110gක් අතර ප්‍රමාණයකි.වැලක් වශයෙන් මෙම තක්කාලි ශාකය වැවෙන අතර එහි උස 1.8mක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අමාත්‍යවරයාට කීය.

දැනට මෙම තක්කාලි විශේෂ වගා කිරීම සම්බන්ධයෙන් වන කටයුතු පර්යේෂණ මට්ටමෙන් පැවැත්වෙන්නේ වුව ද, මෙම විශේෂය තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ ද වගා කළ හැකි බවත්,දැනට කර තිබෙන පර්යේෂණ අනුව ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වීමත්, මෙම තක්කාලි ආශ්‍රිතව නිපදවිය හැකි සෝස්, ඇසුරුම් කරන ලද තක්කාලි සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති බවත්, මෙම වගාව ප්‍රචලිත කිරීම තුළින් ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බවත් කෘෂිකර්ම නිලධාරීහු ප්‍රකාශ කළ හ.

වර්තමානයේ තරුණ පරම්පරාව අතර ඉතාමත් ජනප්‍රිය අහාරයක් වන පිට්සා සකස් කිරීම සඳහා බහුල වශයෙන් SAN MERZANO තක්කාලි විශේෂය යොදා ගනු ලබයි.