Tuesday, 23 April 2024

හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගැනීමට සතොස සූදානම්

Posted On Thursday, 06 September 2018 09:06

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව  ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඒ අනුව ලංකා සතොස මිලදී ගැනීමේ නිලධාරීන් අල ගොවීන් වෙතම ‍ගොස් අල කිලෝවක් රු.90.00 බැගින් ද, අල ගොවීන් විසින් ලංකා සතොස වෙත ගෙනවිත් දෙන අල කිලෝවක් රු.100.00 බැගින් ද මිලදී ගැනීමට තීරණය කර තිබේ. එසේම මෙසේ මිලදී ගන්නා අල කිලෝවක් ලංකා සතොස අලෙවි කරන්නේ රු.115.00 ක මිලකට බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

එසේම ඉහත සඳහන් මිල ගණන්වලටම අල ගොවීන්ගෙන්, අල මිලදී ගන්නා ලෙස අනෙකුත් පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල්වලින් ද ජීවන වියදම් කමිටුව ඉල්ලා සිටී.

අපගේ දේශීය අල ගොවියා, අතර මැදියන්ගේ සූරා කෑමෙන් වළක්වා, නියම ගොවියාගෙන්ම අල මිලදී ගැනීම තුළින් හොඳ මිලක් ලබා දීම ලංකා සතොසේ අරමුණ වන බවද, එසේම දේශීය අල ගොවියා දිරිමත් කරමින් ඔවුන්ට වෙළෙඳපොළ තරඟකාරීත්වයේ වාසිය ලබා දිමටත්, සාධරණ මිලකට පාරිභෝගික ජනතාවට අල අලෙවි කිරීමටත් අපේක්‍ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මෙසේ ලබා ගන්නා අල, ලංකාව පුරා පිහිටි ලංකා සතොස සියලුම අලෙවිසැල්  ඔස්සේ පාරිභෝගික ජනතාවට අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.