Thursday, 25 April 2024

2017ට සාපේක්ෂව 2018 ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

Posted On Monday, 06 August 2018 08:01

පසුගිය 2017 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 128,077 ක් වූ අතර, 2018 වසරේ ජනවාරි මස සිට ඡුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 30,786 කි. ඒ අනුව පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 76 ක අඩුවීමක් පෙන්නුම් කරන බව  ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
 


පාසල් සහ ඉදිකිරීම් කලාප ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට සෞඛ්‍ය අංශ හදුනාගෙන ගත් අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පාසල් පවිත්‍ර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මීට ඉහත දී ආරම්භ කරන ලදි. ඉදිකිරිම් කලාපවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව එම වැඩසටහන් ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකව පවතී. ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් 1500 සඳහා පුහුණුවක් සහ තවත්  දීමනාවක් ලබාදීමට ද යෝජනා වී ඇති අතර, මදුරු මර්දන කටයුතු සඳහා තවත් වාහන 50 ක් ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
 
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා විශේෂ වැඩසටහන් රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන හා ජාතික ඩෙංගු කාර්ය සාධන බලකාය ඒකාබද්ධව මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.