Friday, 29 March 2024

විභාග මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Posted On Monday, 06 August 2018 07:55

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත මෙන් ම විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 


ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යොදවා ඇති අතර සෑම පොලිස් වසමකම පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වෙත පොලිස් ජංගම සංචාරයකින් ආරක්ෂාව සැපයේ.
 
එමෙන් ම ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා ද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යෙදවීමට ද කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
 
උසස් පෙළ විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2268ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකව පවතී.