Thursday, 25 April 2024

ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම තම අරමුණයි - ජනපති

Posted On Thursday, 26 July 2018 05:13

තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ  ඊයේ (25) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ලොව පුරා දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන ආයතන ශක්තිමත් කිරීමේ අරමුණින් 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී රැස්වූ රටවල් 88 කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකඟතා, ජකර්තා මූලධර්ම ලෙසින් හැඳින්වෙන අතර, එහිදී එළිදක්වන ලද ප‍්‍රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹ දී සංවිධානය කොට ඇත.

බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක් සේ එකට ගමන් ගන්නා බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, අල්ලස සහ දූෂණය ද අපරාධ සහ මත්ද්‍රව්‍ය ද ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය බව ද කියා සිිටියේය.

2015 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජනාධිපතිවරණ සටනේ ප‍්‍රධාන පොරොන්දුවක් වූ ජනාධිපති ධුරයේ අසීමිත බලතල ඉවත් කිරිමට තමා කළ කැපවීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, තමා ජනාධිපති ධුරයට පත්වන විට 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජාණ්ඩුවක තත්ත්වයේ බලතල ජනාධිපති ධුරයට එක්කර තිබූ බව සිහිපත් කළේය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කොට, ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ස්වාධීන අධිකරණය ඇතුළු ආයතන රට තුළ තහවුරු කිරීමට හැකිවීම මෙරට පොදු ජනයා ලද සුවිශාල ජයග‍්‍රහණයක් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දුරකතන ඇමතුම් මගින් විනිශ්චයකාරවරුන් දිය යුතු නඩු තීන්දුව දේශපාලනඥයින් විසින් දැනුම් දුන් යුගය එයින් අවසන් කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

එසේම ශ‍්‍රී ලංකාවේ අල්ලස් කොමිසම පිහිටුවා වසර 25 කට ආසන්න කාලයක් ගතව තිබුණ ද මෙරට අල්ලස හෝ දූෂණය මැඞීමට ප‍්‍රමාණවත් බලයක් එම ආයතනයට හිමි ව නොතිබූ බව සඳහන් කළ ජනාධිපතිතුමා, 19 වන සංශෝධනය මගින් පූර්ණ ස්වාධීනත්වයෙන් යුත් අල්ලස් හෝ දූෂණ කොමිසමක් ස්ථාපනය කිරීමට හැකිවූ බව ද ප‍්‍රකාශ කළේය.

දූෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමග ශක්තිමත්ව එක්ව ගමන් කිරීම තම රජයේ අරමුණ බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා විදේශ රටවල සැඟව සිටින මහා පරිමාණ දුෂණ ක‍්‍රියා සිදුකළ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාත්‍යන්තර සංවිධානවල ද මැදිහත්වීම සහ සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයින් පාට පක්ෂ භේදයකින් තොරව සන්ධානගත වී දූෂණ විරෝධී වැඩපිළිවෙළ වැළැක්වීමට ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද මෙහිදී කියා සිටි ජනාධිපතිතුමා කුමන බාධක පැමිණියත් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව අවධාරණය කළේය.

මේ අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය මහතා, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු කොමසාරිස්වරු ද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධානී Candice weisch එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ලෝක දූෂණ විරෝධී ව්‍යාපෘතියේ කළමනාකාර Anga Timilsina, ඉන්දුනීසියාවේ දූෂණය තුරන් කිරිමේ කොමිසන් සභාවේ කොමසාරිස් Laode M syarif, මැලේසියාවේ සුපිළිපන්භාවයේ සහ දූෂණයට විරෝධී පාලනයක් උදෙසා ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් Tan Sri abu Kassim bin Mohamed ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.