Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: නව පුවත් දේශපාලනය

දේශපාලනය

යහ දේශපාලනයක ආරම්භයක්

නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කරනු ලබන පෝස්ටර් කටවුට් වැනි ප්‍රචාරක විධි පිළිබද පසුගිය සති කීපය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. මේ රටේ නීතිය කිසි සැකක්, භයක්, ලැජ්ජාවක්, නොමැතිව මහා පරිමානික තලයක උල්ලංඝනය වූ අවස්ථාවක් මේ රටේ මීට පෙර දකින්නට නොලැබුන බව සෑම පුරවැසියෙකුම දන්නා කරුණකි. මේ මහා “නීති ඝාතනය” මේ රටේ අනාගතය වෙනුවෙන් සිදුවීම ඛේදවාචයකි. මේ “නීති ඝාතනය” මේ රටේ අනාගත පාලකයින් විසින් කරනු ලැබීම බියකරු අත්දැකීමකි. රටේ අනාගතය බියකරු අනාගතයක් වනු ඇති බවට කෙරෙන මහා ඉගියක්ද?

සාමාන්‍ය බුද්ධිය ඇත්තාවු සෑම කෙනෙක්ම අසනු ඇති ප්‍රශ්නය නම් මේ රට අවිචාරවත් සමයකට පත්වූයේ ඇයිද යන්නයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවේ සිට මේ රටේ නීතියත් විසුරුවා හරිනු ලැබුවේද? නීතිය විසුරුවා හැර දේශපාලන පැලැන්තියට තමන්ට රිසි පරිදි හැසිරෙන්නට ඉඩ සළසා දෙනු ලැබුවේ ඔවුන්ගේ බලය රජ කරවන යුගයක් ආරම්භ කිරීමටදැයි කෙනෙකු අසන්නට පුළුවන.

අවුරුදු ගණනාවක් ඇමති පදවි හොබවන ලද ඇමතිවරුන්ගේ අති විශාල පෝස්ටර් කටවුට් මාර්ග දෙපස අලවා ඇත. සවිකොට ඇත. ඇමතිවරුන් නොයෙකුත් පාඨවලින් තමාගේ චරිත ලක්ෂණ විදහා පා ඇත. මෙලෙස නොයෙකුත් පාඨවලින්, සිංහල භාෂාවේ ඇති අති උත්තම වචන වලින් තමන් කවුදැයි පෙන්වා දීමට උත්සාහ දරා ඇත. මේ තත්ත්වය තුලින් මතුවන අතිශය ඛේදජනක ප්‍රශ්නයක් වෙයි. රටේ ජනතාවගේ යහපත උදෙසා අවුරුදු ගණනාවක් ඇමති පදවිවල කටයුතු කළ අමැතිවරුන්ට ප්‍රදර්ශනය කළ හැකි එකම එක කරුණ නම් තමා ජනතාව‍ වෙනුවෙන් ඉටුකළ මෙහෙවරයයි. තමන් කළ සේවයයි. එසේ නොමැතිව අතිවිශාල මුදලක් වැයකොට අතිවිශාල කටවුට් වලින් මාර්ග දෙපස සැරසීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? සියළුම මිනිස් ගුණවලින් පිරිපුන් වූ දේශපාලනඥයෙක්යයි ප්‍රකාශ කර සිටින්නේ තමන් කළ සේවයක් නැති නිසාද? ඇමතිවරයෙක් ලෙස තමා ඉටුකළ සේවය මෙය යයි කියා පෑම වෙනුවට තමන්ගේ චරිත ලක්ෂණ මේවායයි ප්‍රදර්ශනය කිරීමට දරණ උත්සාහය ලැජ්ජා නැති පුද්ගලයෙකුගේ ව්‍යායාමයක් ලෙස සැළකිය යුතු වන්නේය. අවුරුදු හයක් ඇමති පදවියක් හොබවා ඉන්පසු ඡනදදායකයා වෙනුවෙන් කළ සේවය වෙනුවට ලස්සන පාඨයක් සමග ප්‍රිය ජනක විශාල වර්ණවත් පිංතූරයක් ජනතාවට ඉදිරිපත් කරන දේශපාලන ක්‍රමයෙන් රටේ ඡන්දදායකයා ඉවත් විය යුතුය. ඒ සදහා කාලයද පැමිණ තිබේ.

මෙම ඛේදජනක දේශපාලනය තුරන් කළ යුතු බවට මේ රටේ පුවත්පත් කතුවරු ලියා ඇති කතුවැකි එමටය. මෙම තත්ත්වය පිළිබද මේ රටේ පුවත්පත් අවබෝධ කරගත යුතුව තිබුණේ පසුගිය ජනාධිපතිවරණය පැවති කාලයේදීය. ප්‍රමාද වී හෝ මේ අශෝභන දේශපාලනය වෙනුවට යහපත් දේශපාලනයක් ඇතිකිරීමට ඔවුන‍්දෙන සහයෝගය අගේ කළ යුතුය.

මෙහිදී සදහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භවීමට පෙර පෝස්ටර් හෝ කටවුට් තම ව්‍යාපාරයෙන් ඉවත් කර ඇති අතර මේ අංශවලින් තොර දේශපාලනයක් කරන බවට ප්‍රතිඥා දුන් අමැතිවරු කිහිප දෙනෙක් විය. නමුත් සමහරු ප්‍රතිඥාව අමතක කර ඇති බව දැකිය හැකිය. මෙලෙස ප්‍රතිඥා දුන් ඇමතිවරුන්ගෙන් එක් අයෙකි අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ ඇමති මිලින්ද මොරගොඩමහතා. ඔහු එදා දුන් ප්‍රතිඥාව මත පදනම් වී තම ඡන්ද ව්‍යාපාරය ගෙන යන බව පෙනේ. මෙම ආදර්ශමත් පියවර මේ රටේ දේශපාලනය වෙනස් කිරීමේ ආරම්භය ලෙස සැළකීමට පුළුවන. තනිවම මොරගොඩ මහතා මෙරට දේශපාලනයට හදුන්වා දෙන මෙම පියවර අගේ කරන බුද්ධිමත් ජනතාව ඔහුට සහයෝගය දීමට ඉදිරිපත් වී ඇති බව පෙනේ.

වැඩිහිටියන්ට සම්භාවනීය තත්ත්වයක්

මේ  මැතිවරණ සමයයි. දේශපාලනඥයන්ට නැවතත් ජනතාව මතක් වී තිබේ. ඔවුන් ජනතාව අතරට පැමිණ සිටී. ඔවුන්ගේ මුහුණු පුරා සුන්දර සිනාවන්ය. කටපුරා හිතවත් කතාබහය. ඔවුන්ගේ මුවින් පිටවන සෑම වදනක්ම ආදරයෙන්, කරුණාවෙන් පිරී ඉතිරී යයි. පොරොන්දු ගලා එයි. මුළු රටම එකම ඝෝෂාවකි. ගාලගෝට්ටියකි. ඔවුන්ගේ මේ ගාල ගෝට්ටිය අපේ රටට නුහුරු නුපුරුදු නොවේ. බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් කෑ ගසා මොනතරම් දේ කීවද ඒ කියන දේ කොතෙක් බහුතරයට ප්‍රයෝජනවත්දැයි සිතා බැලිය යුතුය.

කෙසේවුවද රටේ ජනතාවගේ ගෞරවය පිළිබද හැගීමකින් කටයුතු කරන දේශපාලකයින් අතලොස්සක් අප රටේ  සිටීම සතුටට කරුණකි. ඒ කීපදෙනා අතර මිලින්ද මොරගොඩ ඇමතිතුමා මට පෙනෙන්නේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙසටයි. එයට හේතුව අන් කිසිවක් නොවේ. දුරදක්නා නුවණ කැටිකොටගත්  එතුමාගේ අදහස්ය.

එතුමා විසින් ඉරිදා දිවයින පුවත්පතට සපයන කාලෝචිත ලිපි මාලාවේ මාගේ අවධානය බොහෝ සෙයින් ඇද ගැනීමට සමත් වූ ලිපියක් පසුගිය පුවත්පතක පලවිය. එහි ශීර්ෂපාඨය මෙපරදිය. “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවිය යුතු සම්භාවනීයත්වය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක්”.

මෙතෙක් දේශපාලකයෙකුගෙන් අසන්නට හෝ නොලැබුන කරුණක් නිසා පළමුව මා වික්ෂිප්තභාවයට පත්විය. මේ වික්ෂිප්තභාවය නිසාම එම සටහන කියවා බලන්නට මට සිත්විය. එතුමා විසින් අමුණා තිබූ වටිනා අදහස් ගොන්නට තවත් කරුණු කීපයක් එක් කිරීම මගේ මේ සටහනේ අරමුණයි.

රටක වැඩිහිට ජනගහනය ඉහළ යෑම සැබැවින්ම ගැටළුවකි. එය සෘජුවම එරටෙහි ආර්ථිකයට, සමාජයීය කාරණාවන්ට බලපෑම් කරයි. රටක අඩු තරුණ පිරිසකට වැඩි වැඩිහිටියන් ප්‍රමාණයක් රැකබලා ගැනීමට සිදුවන්නේ නම් එය ගැටළුවකි. එහෙත් එම පිරිස රටට වැඩදායි ලෙස යොදා ගැනීමට හැකි බව මොරගොඩ මහතාගේ අදහසයි. ඔවුන් සතු දැනුම, ශ්‍රමය, කාලය සමාජයේ සංවර්ධනය  වෙනුවෙන් තවදුරටත් ලබාගත හැකි බව එතුමාගේ අදහසයි.

මොරගොඩ මහතාගේ මෙම අදහසට තවත් කරුණක් එක් කල යුතුයැයි සිතේ. කිසිවෙකුගේ අවධානයට ලක් නොවන එහෙත් මහගු පල ප්‍රයෝජන ගත හැකි ඥාණ සම්භාරයකින් යුත් පිරිසක් හිදී. ඒ මෙරට විශ්‍රාමික ගොවි ජනතාවයි. ඔවුන් සතු පාරම්පරික ගොවි ඥාණය පිළිබද අපට කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. කෘෂිකාර්මික රටක් වන අපේ රටේ කෘෂි කර්මාන්තය නංවාලීම සදහා මේ ඥානය පිටිවහලක් කරගත හැකිය. ඒ සදහා වඩා විධිමත් ක්‍රියාමාර්ගයන් සැලසිය යුතුව ඇත. එයින් එම ජනතාව ලබන සම්භාවනීයත්වය ඉමහත් වන අතර රටට අත්වන ලාභයද සුළුපටු නොවේ.

පරිගණක තාක්ෂණය සම්බන්ධ රැකියා සදහා වැඩිහිටි ජනතාව යොමුකල හැකිවුවත් එය ප්‍රායෝගික කාරණාවක් නොවන්නේ ග්‍රාමීයව ජීවත් වන වැඩිහිටියන් පිළිබද සිතද්දීය. එම නිසා ග්‍රාමීය වැඩිහිටි පිරිසගේ දැනුම, කාලය , හැකියාව නිසිපරිදි යොදා ගතහැකි සැලසුමක් මෙකී කරුණ යටතේ ක්‍රියාත්මක වන්නේ නම වටින්නේය.

පුද්ගලයෙකු වයසට යන්නේ නිකම්ම නොවේ. කාලයක් පුරා තමන් විසින් එක් කරගත් ජීවන අත්දැකීම් වලින් ජීවිතය පෝෂණය වෙමිනි. මේ අත්දැකීම් හා යම් යම් විෂයන් ගැන ලබන්නා වූ පරිණතභාවය ඒ පුද්ගලයන්ට වඩා වැදගත් වන්නේ සමාජයටය. සමාජයේ ගමන්මග වෙනස කරන බලවේගය වන්නට මේ අත්දැකීම් සමුදායන්ට හැකිය. මේ නිසා කිසිවිටෙකත් රටක වැඩිහිටි ජනගහනය ගැන සුළුවෙන් තැකිය හැකි නොවේ. ඔවුන්ගේ නියම ප්‍රතිඵලය රට විසින් ලබා ගත යුතුව ඇත. එසේ බලන කල මොරගොඩ මහතා විසින් කර ඇති යෝජනාව ඉතා වැදගත් එකකි.

වරකාපොල බණ්ඩාර

දේශප්‍රේමී දේශපාලනයේ ආරම්භයද?

මගේ මිත්‍රයා මැතිවරණ කීපයක් පසු කරපු කෙනෙක්. විවිධ නායකයින් මේ මැතිවරණ මෙහෙයවූවා. ඩඩ්ලි සේනානායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ජේ. ආර්. ජයවර්ධන මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ආර්. ප්‍රේමදාස මහතා, මහින්ද රාජපක්ෂ මහතා ඒ නායකයින්ගෙන් සමහරරෙක්. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර වික්‍රමසිංහ යන මහත්වරු එවැනි තවත් නායකයින් කීප දෙනෙක්.

සමාජවාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වැනි තේමාවන් ඒ මැතිවරණ වල දකින්නට ලැබුන නමුත් මගේ මිතුරා දැන් පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරයේ දකින  ලක්ෂණයක් ඒ මැතිවරණවල දැක්කේ නැහැ. “මව්බිම” ආරක්ෂා කිරීම අද ඔහු දකින අළුත් තේමාවයි. මව්බිමට ආදරය කරන දේශපාලන පැලැන්තියක් දැන් බිහිවෙලා තියෙනව. රට ඇතුලේ ඉන්න කුමන්ත්‍රණකාරයින්ගෙන් පමණක් නොව රටින් පිට ඉන්නා කුමන්ත්‍රණකාරයින්ගෙනුත් මව්බිම ආරක්ෂා කරන්න මේ දේශපාලන පැලැන්තිය ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ රටේ ජනතාව කොටස් දෙකකට මේ අය විසින් බෙදනව. ඒ කියන්නේ රටට ආදරය කරන අයයි. රටට ආදරය නොකරන අයයි. මගේ මිත්‍රයාට මේක ලොකු ගැටළුවක්. මේ දේශපාලනය විසින් මෙරටට රජකෙනකුත් නම් කරලා තියෙනවා. ඔය කියන විදියට මේ දේශපාලනය ගමන් කරන කොට මේ රටේ ජනතාව රටට ආලය කරන ජනතාවක්ම විය යුතුයි. රටට ආලය කරන දේශපාලන පැලැන්තියයි රටට ආදරය කරන ජනතාවයි බිහි වුනාම මේ පාර්ශව දෙකම එක්වූ විට කොහොම තත්ත්වයක් ඇති වෙයිද කියන එක මිත්‍රයාට හරි ප්‍රහේලිකාවක්. රටට එක ඡන්දයක් දෙන්න කියල දැන්වීමක් පුවත් පතක මොහු දැක්ක. ඒ කියන්නේ මනාප වලින් එකක් රටට දෙන්න කියන එක. මෙතන ඇති මේ දැන්වීමෙන් කියන්නේ මෙතැනදි අපි කලින් කිව්වා සේ දේශපාලන පැලැන්තියයි රටයි එකක් වන තැනකට දැන් ලංකාව එමින් තිබෙන බවේ ඉගියක් වෙන්න ඇති මේ සිද්ධිය. අන්තිමේ බලන කොට මේ ඉල්ලීම කරල තියෙන්නේ රටට ආදරේ කරන දේශපාලනඥයෙක්. දේශපාලනඥයත් රටත් මෙතැනදි එකක් වෙලා. ඉන් පස්සෙ මොකක් වෙයිද? මගේ මිත්‍රයා දැන් මුහුණ දීලා ඉන්නෙ ඒ ප්‍රශ්නයටයි. මව්බිම තේමාව කරගත් දේශපාලනය තිබුන රටවල් ගැන මගේ මිතුරා අහල තිබෙනවා ඒ රටවල මව්බිමේ දේශපාලනය අවසන් වන්නේ පැසිස්ට්වාදයෙන් බව.

ඉන්දියාවට ඕනෑ කරල තියෙනවා යාපනයේ උප තානාපති කාර්යාලයක් විවෘත කරන්න. ඊයේ පෙරේදා මෙරටට පැමිණියා ඉන්දියානු ආණ්ඩුවේ ලොකු නිලධාරිණියක්. යාපන වැසියන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සදහා මෙම කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බව අද වාර්තා වී තිබෙනව.

මෙවැනි කාර්යාල මගින් ලංකාවේ සහ ඉන්දියාවේ තමිල්නාඩුව අතර පවතින සංස්කෘතික සම්බන්ධකම් ශක්තිමත් කිරීමට ඉන්දියානු ආණ්ඩුව බලාපොරොත්තුවන බව ඉන්දියාවේ පලවන පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඉන්දියාව උතුරුකරය සහ තමිල්නාඩුව අතර පවතින සම්බන්ධකම් තහවුරු කරන විට ලංකාවේ සිටින දේශප්‍රේමී දේශපාලන පැලැන්තිය ඒ පියවර ගැන කුමක් කියනු ඇද්ද කියන එකත් ප්‍රශ්ණයක්.

දේශප්‍රේමී පාලනයකුත්, දේශප්‍රේමී දේශපාලන පැලැන්තියකුත්, දේශප්‍රේමී ජනතාවකුත්, එක්වූ විට දේශද්‍රෝහී පැලැන්තියට කුමක් වෙයිද? දේශප්‍රේමී පැසිස්ට්වාදය තුල නම් දෙවන පාර්ශ්වයකට ඉඩ නැති බව මගේ මිතුරා අහල තියෙනවා.

හොද අය හා හොද නැති අය

“පාර්ලිමේන්තුවට හොද මිනිස්සු එවන්න” මේ දවස්වල පුවත්පත්කතුවරුන්ගේ ඉල්ලීමක් මේක. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ සිටින සමහර ශ්‍රේෂ්ඨ දේශපාලකයින්ගෙත්. බැලූ බැල්මට පෙනෙන්නේ ඒක හොද ඉල්ලීමක් විදියටයි. ඇත්තටම ඔව්. එය හොද ඉල්ලීමක්. පාර්ලිමේන්තුවට හොද මිනිස්සු ගියොත් විතරයි හොදින් රට කරවන්න පුළුවන් වෙන්නේ.

මේ ප්‍රකාශය නිසා ජනතාවට වගකීමක් පැටවෙනවා. පාර්ලිමේන්තුවට හොද නැති මිනිස්සු යැව්වොත් ඒ හොද නැති  මිනිස්සු කරන හොද හෝ හොද නැති සෑම දෙයකටම වගකිවයුතු වන්නේ රටේ ජනතාවයි. ඇයි ඒ? ඔවුන් තෝරලා යැව්වේ ජනතාවනේ. තර්කය ගොඩනැගෙන්නේ ඔය විදියටයි.

කවුද මේ හොද නැති අය කියන්නේ? හොද නොහොද කොතනින්ද වෙන් කරන්නේ?

අපි මෙහෙම හිතමු. මෙන්න මෙහෙම කෙනෙක් ඡන්දෙ ඉල්ලනවා. මේ පුද්ගලයා මුදල් හම්බ කරන්නේ අනිසි විදියට. වංචා, දූෂණ කෙලවරක් නෑ. ස්ත්‍රී දූෂණ නිසා හිරෙත් ගිහින් තියනවා. මේ විදිහට සමාජය නරකයි කියන හැමදෙයක්ම කරපු මනුස්සයෙක්. ඒත් මේ මිනිසා දුගී දුප්පත් ජනතාවට මහා ලොකු ආදරයක් පෙන්නනවා. දුප්පත් මිනිස්සු එක්ක කතා කරනවා. ඒ අය අතරට යනවා. ඒ අයව ස්පර්ශ කරනවා. ඒ අයට සල්ලි දෙනවා. කෑම දෙනවා. ලොකු පිළිගැනීමක් දෙනවා. දුකට පිහිට වෙනවා. තමන්ගේම මිනිසුන්යැයි කියනවා. ඒ ජනතාව වෙනුවෙන් පෙනීසිටිනවා. ඒ අ‍යගේ නිවාස රැකියා ප්‍රශ්නයට යම් තරමකින් හෝ පිළිතුරු දෙනවා. මේ ජනතාවට සිටින විශ්වාසවන්තම පුද්ගලයා ඔහුයි. ඒ විතරක් නෙවෙයි. ඔහු තමන්ගේ ගැලවුම්කාරයා ලෙස මේ ජනතාව දකිනවා. සරලව කිවුවොත් මේ ජනතාවට සිටින හොදම ජනතා නියෝජිතයා මේ කියපු පුද්ගලයා. ඒත් ඔහු එක්තරා පිරිසකට හොද නැති කෙනෙක්. ඒ හොද නැතිකම ඔහුට ප්‍රශ්නෙකුත් නෙවෙයි. මොකද ඔහුට ඡන්දෙ ඉල්ලන්න නාම‍යෝජනා භාර අරගෙන තියනවා. තමන්ගේ බලප්‍රදේශයේ ඉන්න ජනතාවට තමන් හොද කෙනෙක් කියන්න ඔහු දන්නවා. ඒ වගේම ඒ ජනතාව තමුන් පාර්ලිමේන්තුවට යවන බවත් ඔහු දන්නවා. ඇත්තටම ඔහු හොද නැති කෙනෙක්. එත් ඒ ජනතාවට ඔහු හොද කෙනෙක්.

මේ කියපු  දේ අනිත් පැත්ත මෙහෙම වෙන්න පුළුවන්. තවත් පුද්ගලයෙක් ඉන්නවා ඔහුටත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. නාමයෝජනාව පිළි අරන් තියෙන්නේ. ඒත් ඔහු ජනතාව අතරට යන්නෙ නෑ. තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවවත් ඔහුව අදුරන්නේ නෑ. ඉහත පුද්ගලයා කරපු කිසිම දෙයක් මේ පුද්ගලයා කරන්නේ නෑ. ඒ නිසා ඔහු ජනතාවට හොද කෙනෙක් නෙවෙයි. හොද නැති කෙනෙක්. ඒත් ඔහු බුද්ධිමතෙක්. ප්‍රතිපත්තිගරුකයි. නීතිගරුකයි. සමාජයටවත් රටටවත් වැරැද්දක් කරන්නේ නෑ. මුදල් හම්බකිරීම නීතිගරුකයි. රටේ තීරණාත්මක අවස්ථාවලදී ඔහු ඉතා වැදගත් පුද්ගලයෙක්. මේ කියපු කාරණා නිසා එක්තරා පිරිසකට ඔහු ඉතා හොද පුද්ගලයෙක්. ඒත් මේ එක්තරා පිරිස ඔහුගේ ඡන්ද දායකයෝ නෙවෙයි. මේ නිසා ඔහු පාර්ලිමේන්තුවට එන එකත් අභියෝගයක්.

මේ දෙදෙනාගෙන් පළමුව කී පුද්ගලයා ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එනවා. දෙවැන්නා ඉතා හොද කෙනෙක් වුනත් ඔහු පාර්ලිමේන්තුවට එන්නේ නෑ. මේකට වගකියන්න ඕන ජනතාවද? බැලූ බැල්මට නම් පේන්නෙ එහෙම තමයි. ඒත් ඒක එහෙම නෙවෙයි.

අපේ රටේ බහුතරයක් ඉන්නේ දුප්පත් මිනිස්සු. එදා වේල කන්න හොයා ගන්න දගලන මිනිස්සු. එහෙම මිනිස්සු දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වන්නේ එදිනෙදා ජීවිතය ටිකක් පහසු කරගන්න උදව්වක්. ඒක වැරැද්දක් නෙවෙයි. නැතිබැරිකම හැම දේටම වඩා දැනෙනවා. මේ කාරණාව ඒ දේශපාලකයින් දන්නවා. ඔවුන් අල්ලා ගන්නේ ජනතාවගේ ඒ නැතිබැරිකම. ඒ වගේ ජනතාවක් අර වගේ පුද්ගලයෙකුට ඡන්දය දෙන එක ගැන කාටවත් වැරැද්දක් කියන්න බෑ. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වා කියලා මේ ජනතාවට වැරැද්දක් පටවන්න පුළුවන්ද?

එහෙමනම් පාර්ලිමේන්තුවට යවන්න ඕන කවුද කියන එක තීරණය කරන්න ඕන ජනතාවද? නැත්නම් ඊට ඉහළින් ඉන්න නායකයොද?

ඡන්දය ඉල්ලිය යුත්තේ කවුද? ‍ඒ අයට තිබිය යුතු සුදුසුකම් මොනවද කියන දේවල් කිසිතැනක සදහන් වෙලා නෑ. අද සල්ලි තියනවානම් ඕනම කෙනෙකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඉතින් වැරැද්ද මේ ජරා දේශපාලන ක්‍රමයේ නෙවේද? මේ දේශපාලන පැලැන්තියේ නෙවෙයිද?

වැරදි කරන්නේ ලොකු තැන්වල ඉන්න වගකිවයුත්තෝ. ඒ වැරදි වල වගකීම මේ රටේ අහිංසක ජනතාව වෙත පැටවීම වැරදියි. පාර්ලිමේන්තුවට තේරෙන උදවිය ගැන ජනතාව වගකිව යුතුයි කියන දේත් මේ ආකාරයට බලපුවාම පිළිගන්න කොහෙත්ම බෑ.

පුද්ගලයා වටා ගොඩ නැගෙන දේශපාලනය

මේ දිනවල කෙරෙන මැතිවරණ ව්‍යාපාරය මගේ මිත්‍රයෙකුට ලොකු ගැටළුවක් වෙලා. ඒ ගැටළුව මෙන්න මේකයි. මේ මැතිවරණය පවත්වන්නේ ජනතාව වෙනුවෙන්ද? නැත්නම් ඒ ඒ දේශපාලනඥයාගේ යහපත උදෙසාද? යන්න ඔහු මුහුණ දී ඇති ගැටළුවයි.

මේ ගැටළුව ඇතිවෙන්න‍ හේතු කිහිපයක් තිබෙන බවයි ඔහු හිතන්නේ. ඒ හේතු ඔහු විස්තර කරන්නේ මෙහෙමයි.

1. එකිනෙකාට බැන ගැනීම. 2. රටේ ජනතාවගේ ප්‍රශ්ණ කිසිවක් සාකච්ඡා නොවීම. 3. ජනතාව කෙරෙහි කිසිදාක ප්‍රකාශ නොවුන කරුණාවක් ප්‍රකාශවීම. 4. මේ රටේ දේශපාලන පැලැන්තිය කිසිදාක මේ රටට නොපෙන්නූ ආදරයක් පෙන්වීමට උත්සාහ දැරීම. 5. තම තමන් කවුදැයි පෙන්වා දීමට ලේබල් ගසා ගැනීම. 6. මෙසේ ගසා ගන්නා ලේබල් සහ ඔවුන් අතර විශාල වෙනසක් පැවතීම. 7. මෙසේ ලේබල් ගසා ගැනීම මගින් කිරීමට උත්සාහ දරන්නේ තමා සෙසු අපේක්ෂකයින්ට වඩා උසස් බවක් පෙන්වීමටය. 8. පොදු ජනතාවට වෙනුවට අපේක්ෂකයා පෙරට පැමිණීම. 9. පංචායුධයක්, අභිමානයක්, ශක්තියක්, සවියක් යන වචන සමග අපේක්ෂකයින් තමාගේ ලේබලය ලෙස යොදා ගැනීම. 10. ජනතාව ප්‍රතික්ෂේප වී දේශපාලඥයා “රජවීම.”

මගේ මිත්‍රයා හිතන අන්දමට මේ වැනි ඡන්දයක් මීට පෙර මේ රටේ තිබී නොමැත. ජනතාව වටා වෙනුවට දේශපාලනඥයා වටා ගොඩ නැගුන දේශපාලනයක් මේ රටේ ඇතිවෙමින් පවතින බව ඔහු දකී. මෙම ප්‍රවනතාව රටට මහා විපතක් විය හැකි බව ඔහු දකී. ඡන්දදායකයා නොමග යවන මෙම දේශපාලනය තුල ඡන්ද දායකයා සිරකරුවෙක් වන්නට පුළුවන. හිතන්නට පුරුදු වෙනවා වෙනුවට දේශපාලනඥයාගේ කීකරු ඉත්තෙක් වීම වැලැක්වීමට බැරි බව මගේ මිත්‍රයා දනී. එතැන ඇතිවන්නේ ඒකාධිපතිවාදයකි. ජනතාව‍ වෙනුවට පුද්ගලයා වටා ගොඩ නැගෙන දේශපාලනය අවසන් වන්නේ එතැනය. ජනතාව අවදියෙන් සිටිය යුතුයි යන්න ඔහු අවධාරණය කරයි.

දේශපාලනඥයින් අපේ භාෂාව හා සංස්කෘතිය විනාශ කරන්නට පටන්ගෙන තිබේයයි මගේ මිත්‍රයා දුක්වෙයි.

කාන්තාව සතු දේශපාලන වගකීම

වඩාත් වේගවත් සංවර්ධනයට හා සංකීරණත්වයට පත්වෙමින් තිබෙන වර්තමාන සමාජ සන්දර්භය තුල කාන්තාවගේ භූමිකාව කෙබදු ආකාරයක් ගෙන තිබේද? මෙය අද වන විට කතිකාවට ලක් කල යුතු තේමාවක් බවට පත්ව ඇත. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ඉදිරි ගමන උදෙසා කාන්තාව වඩාත් ක්‍රියාකාරීව තම දායකත්වය දක්වමින් හිදින බැවිනි.

අතීතයේදී කාන්තාවන්ගේ කාර්යය සීමා සහිත වූවකි. ඇයට පැවරී තිබුණ රාජකාරීන් කීපයක් විය. දරුවන් හැදීම, වැඩීම, ගෙදර දොර පාලනය එකී කාර්යයන් අතර ප්‍රමඛ විය. උපතේ සිට මරණය දක්වා පුරුෂ ආධිපත්‍යයට නතුව ජීවත්වීමට ඇයට සිදුවිය. අධ්‍යාපනය, සමාජශීලී වීම, ස්වාධීන තීරණ ගැනීම ඇයගේ අයිතිවාසිකම් නොවීය. ඇය දැන සිටි ලෝකය ගමටත්, පවුලටත් සීමා විය.

දැන් ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් සමාජ තත්ත්වයකි. පවතින ආර්ථික යුද්ධය හමුවේ කාන්තාවට තවදුරටත් මුල්ලකට වී සිටිය නොහැකිය. තමා හා තම පවුලේ සාමාජිකයින් ජීවත් කරවීමට ඇයද මෙම සංග්‍රාමයට එක් විය යුතුමය. වර්තමාන කාන්තාව පිළිබද නව කතිකාව ගොඩ නැගෙන්නේ මෙකී ආර්ථික සාධකය පදනම් කර ගනිමිනි.

ශ්‍රී ලාංකික කාන්තාව මෙරට ආර්ථිකයේ ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත. වැඩිම විදේශ විනිමයක් මෙරටට උපයා දෙන්නේ ඇයයි. ඒ ඇගළුම් කර්මානත්යෙන් හා මැදපෙරදිග ගෘහ සේවයෙනි. එයට අමතරව වතු කම්කරු කාන්තාව හා විවිධ ගෘහ කර්මාන්තයන්හි නිරත කාන්තාවන්ද තම ශ්‍රමය, ශක්තිය මෙරට ආර්ථිකයේ ශක්තිමත් පදනම බවට පත්කොට ඇත. වර්තමාන සාමජය තුල ඇය අවතක්සේරුවට ලක් කල නොහැකි කාරණා අතරට ඉහතින් කී මෙම කාරණාව වඩාත් ප්‍රබල වන්නේය.

තවත් අතකින් බැලූ කල කාන්තා අධ්‍යාපනය අද ඉතා ඉහල අගයක පවතී. අකුරු ලියන්නට හා කියවන්නට පමණක් දැන සිටීම ප්‍රමාණවත් යැයි කියූ අතීත සමාජය අභියෝගයට ලක්කරමින් ඇය අධ්‍යාපනයේ හිනිපෙත්තටම නැග ඇත. මේ නිසා වෛද්‍ය, නීති, ඉදිකිරීම්, පරිපාලන වැනි සෑම ක්ෂේත්‍රයකම කාන්තාව පෙරමුණ ගෙන සිටින්නීය. එපමණකින් නොනැවතුන ඇය ආරක්ෂක සේවයන්හිද සිය දස්කම් දක්වන්නීය.

සෑම ක්ෂේත්‍රයකම කාන්තාව කැපී පෙනුනද දේශපාලනයට ඇයගේ පිවිසීම අවම අගයක් ගනී. ඒ සදහා හේතු කිහිපයක් බලපා ඇති බව පෙනේ. ප්‍රධානතම කාරණය වන්නේ කාන්තාවන් පිළිබද සමාජ ආකල්පය ඇතැම් අවස්ථාවලදී සාම්ප්‍රදායික  හැඩයක් ගැනීමයි. තීරණාත්මක කාරණාවලදී කාන්තා මතය නොසලකා හරින වාතාවරණයක් ඇත. අනෙක් කාරණාව නම් දේශපාලන පක්ෂ විසින් කාන්තාවන්ට අවස්ථාවක් ලබා නොදීමයි. එමෙන්ම මූල්‍යමය සාධකයේ හිගයද ඇයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට බලපාන තවත් කරුණකි.

කෙසේ වුවත් මේ අවධිය දේශපාලනයට කාන්තාවගේ ආගමනය සිදුවිය යුතු කාලයකැයි සිතේ. කෙතරම් දියුණු සමාජයක් පැවතියද කාන්තාවන් අසාධාරණයට ලක්වීම අඩු වී නොමැත. වයස් භේදයකින් තොරව ඇය දූෂණයට ලක් වෙයි. ගෘහස්තව හිංසනයන්ට බදුන් වෙයි. මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු වූවන්ට සිදුවන අසාධාරණයන් නිමක් නැත. ඒ රටවලදීම ඔවුන් මිය යන අතර ඒවා අභිරහස් ලෙස යටපත් වෙයි. ඔවුන්  වෙනුවෙන් හඩක් නගන්නට කිසිවෙක් නොමැත. මෙවන් කාරණා සම්බන්ධයෙන් සෘජු දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය වුවද විධිමත් ක්‍රියාවලියක් ඒ වෙනුවෙන් සැකසී නොමැත. බලපෑමක් කල හැකි කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුල තිබුනේ නම් කාන්තාවන් මුහුන දෙන මෙවන් ගැටළු පිළිබද වැඩි අවධානයක් යොමු කරන්නට පුළුල් අවකාශයක් පවතී.

මිලින්ද මොරගොඩ සහ ඔහුගේ පුදුම ඡන්ද ව්‍යාපාරය

මිලින්ද මොරගොඩ පුදුම දේවල් කරයි. බොහෝ දේශපාලනඥයන් සහ ඔහු අතර ඇති වෙනස එය යැයි මම සිතමි. ඔහුට ධනය තිබේ. ධනවත් ආධාරකරුවන්ද සිටිති. නමුත් මේ කාලයේ පාර්ලිමේන්තුවට තේරෙන්නට ධනය පමණක් ප්‍රමාණවත් නොවේ. තෝරාගනු ලැබුවත් ඡන්දය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් ගතහොත් සැම්සන් සිල්වා නිරන්තරයෙන්ම මැතිවරණය සදහා තරග කරන කෙනෙකි. ඔහු විශාල වියදමක් කරයි. නමුත් කිසිදින දිනන්නේ නැත.

මිලින්ද ‍පෝස්ටර්, කටවුට්, බැනර්, රතිඤ්ඤා, ශබ්ද විකාශන  සහ පිරිවර නොතකයි. ඡන්ද නීති නොකඩන දේශපාලකයින් කිහිපදෙනාගෙන් ඔහු ද කෙනෙක් වන්නට හැකිය. ඔහු නීතියේ පවතින අඩුලුහුඩුකම් වලින් ප්‍රයෝජන ගන්නේ ද නැත.

උදාහරණයක් වශයෙන් පෝස්ටර් ප්‍රදර්ශනය නොකලයුතු බව දේශපාලනඥයින් දනිති. එහෙත් ඔවුන්ගේ පෝස්ටර් ඇලවීමට අවකාශය තිබෙන්නේ කොතනද ඒ හැම බිත්තියක්ම විනාශ කරති. ඇතැම් අය ඉතා සියුම්ව කටයුතු කරයි. නාමයෝජනා භාරගෙන අවසාන වන්නටත් පෙර ඔවුන් මේ දේ කරති. ඒ මගින් ඔවුන් තරග බිමට එන බව කල්තියාම ඡන්දදායකයාට ඒත්තු ගන්වයි. නීතියේ නොයෙකුත් අඩුලුහුඩුකම් ඇත. ඒ හැම එකකින්ම ඔවුන් රිංගා යති. මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මිලින්ද වැඩ කරන්නේ වෙනස් ක්‍රමයකටය.

2004 දී මිලින්ද ‍ප්‍රවෘත්ති පත්‍ර දැන්වීම් මාලාවක් පල කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ට කෙලින්ම ලිවීම හැරුණු විට වෙබ් අඩවි වලටද ඔහු දැන්වීම් පල කළේය. මුද්‍රිත දැන්වීම් විශේෂයක් විය. මේ නිසා අළුත් බවක් ඉන් ඇති විය. ඇතැම් අපේක්ෂකයින් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමට සහ ඔවුන් ජයග්‍රහණය කලේ නැතහොත් ඡන්දදායකයාට ඇතිවන අහිතකර විපාක ප්‍රකාශ කිරීමට පුවත්පත්වල ඉඩ මිළදී ගන්නා විට මිලින්ද ජනතාව හිතන්නට පෙළඹවීමට ඉතා සියුම් කියමන් පාවිච්චි කලේය.

ඩලස් අලහප්පෙරුම පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් ගෙන යන්නට තෝරාගත් ක්‍රමයට ප්‍රශංසා කරන දැන්වීමක් ඔහු පලකලේය. ඒ අවස්ථාවේදී මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ජනතා සන්ධානයෙන් තරග කල ඩලස් මාතර දිස්ත්‍රික්කය තුල සදාචාරවත් ඡන්ද ව්‍යාපාරයක් ගෙනයන්නට, මඩ ගැසීමෙන් වැලකීමට ඔහුගේ තරගකරුවන් සමග එකගත්වයට පැමිණියේය. 2001 දී ඔහු තරගකලේ නැත. ඒ වන විට ඡන්ද සංස්කෘතිය වෙනස් වී තිබිණ. එක් එ.ජා.ප. අපේක්ෂකයෙක් මෙසේ පෝස්ටරයක් අලවා තිබුණි. “අනේ ඩලස් උඹ හිටියනම්” මිලන්ද මේ අදහස මත ක්‍රියාත්මක විය. ඔහු වෙනස් දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාව වන විට නගරයේ ඉඩ තිබූ තැන් විනාශ කිරිම ඡන්ද ව්‍යාපාරයේ කොටසක්ව තිබීම හෙලාදකිමින් ඔහු දැන්වීම් පලකළේය. දැන් මට මතක නැති වුවත් ඔහුගේ පණිවිඩ ධනාත්මක විය. ඕනෑම කෙනෙකුට එකග වීමට හැකි ඒවා විය. පක්ෂ භේද නොමැතිව මෙකී දැන්වීම්වලට ගරුකරන්නට හැකි විය. ඔහු ජයග්‍රහණය කළේය.

ඉන්පසු නොයෙක් දේවල් සිදුවිය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගණනාවක් සමග මිලින්ද ආණ්ඩුවට එක්විය. ඔහු සංචාරක ඇමතිවරයා ලෙස පත් කරනු ලැබිණ. මේ කාර්යයේදී ඔහු විධිමත්ව කටයුතු කළේය. හිටපු එ.ජා. පාක්ෂිකයෙකු වශයෙන් පුදුම උපදවන සුළු අන්දමින් ඔහු සංස්කෘතික ජීවන ක්‍රමය ආරක්ෂා කිරීමට කටයුතු කළේය. අපගේ සංස්කෘතික දායාදය විනාශ නොකර, අපගේ ජනතාවගේ සංවේදී බව හා උරුමය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට හැකිය යන පදනම මත ඔහු ක්‍රියා කළේය.

දේශපාලන අර්බුද නිසා මිලින්ද සංචාරක අමාත්‍යංශයෙන් අධිකරණ අමාත්‍යංශයට මාරු කරනු ලැබිණ. මේ අමාත්‍යංශය එතරම් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් වන අන්දමේ කටයුතු කර ජනතාවගේ සහයෝගය ලබාගන්නට එතරම් හැකි එකක් නොවීය. ඔහු වැඩ කළේය. එය පැහැදිලිය. අධිකරණ ක්‍රියාදාමය වේගවත් කොට දසදහස් ගණනකට සහනය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.

දැන් නැවතත් ඡන්ද කාලයයි. ඔහු දැන් ඉන්නේ එතරම් යහපත් තත්ත්වයක නොවේ. එයට හේතු කිහිපයකි. ඔහු දැන් ඉන්නේ එ.ජා.ප. හි නොවේ. 2004 දී කොළඹ ජනතාවගෙන් ඔහුට ලැබුණ රැල්ල මෙවර ඔහුට ලබන්නට නුපුළුවන. ප්‍රභාකරන් අලියා ලකුණ යටතේ තරග කලානම් කැපුවත් කොළ යැයි සිතන මේ රැල්ල ඔහුට පවා ඡන්දය දෙනු ඇත. මේ අය එවැනි පැලැන්තියකි.

කොළඹ නගරය තුල තිබෙන ආසන එ.ජ.නි. සංධානයේ ආධාර කරුවන්ගේ පිරුණු ඒවා නොවේ. මේ බව මෑතදී පැවති මැතිවරණ වලින් පෙන්නුම් කරයි. දැන් මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවේ. මේ අය මිලින්ද දකින්නේ පාවාදෙන්නෙකු ලෙසයි. මේ නිසා කොළඹ ජනතාව පොළඹවා ගැනීමට විශාල කාර්යයක් කල යුතුව ඇත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවීම ඒ සමානවම ගැටළු සහිතය. ඔහුගේ වෙනම පක්ෂයක් තිබේ. “ශ්‍රී ලංකා ජාතික සංගමය” එයයි. එය අළුත්ය. ඒ පිළිබද දන්නේ අතලොස්සකි. මිලින්දව මතක තිබුණත් පක්ෂය ඔවුන්ට මතක නැති වනු ඇත.

ජනාධිපතිවරයාට සහයෝගය දී තමන්ගේ කාර්යය නිහඩව ඉටුකල කෙනෙක් හැටියට මතක තිබෙනවාට වඩා ඔහු පක්ෂය හැරගිය කෙනෙකු හැටියට ඔවුන් සිතනු ඇත. ජනතාව අතරට යන්නට අළුත් මගක් සොයා ගන්නට සිදු වන්නේය. ඔහු එය ඉටුකර ඇත. 2004 ඔහු ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් ඇත. අළුත් දේශපාලනයකට හඩගා තිබේ. මේ හඩ ඉදිරිපත්කර ඇත්තේ යහපත් සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගැන්වීමට යන ප්‍රකාශනයකිනි.

එක කරුණක් නිසා නොවේ නම් මෙය තවත් ඡන්ද උප්පරවැට්ටියක් ලෙස මම සලකමි. මිලින්ද මෙය නොකර සිටිය යුතුව තිබුණි. පාර්ලිමේන්තුවට යන්නට තවත් විවිධ මාර්ග තිබේ. එමෙන්ම ඔහුට සැහැල්ලුව කටයුතු කරගෙන යාමට හැම හැකියාවක්ම තිබුණද ඔහු වඩාත් දුෂ්කර මාර්ගය තෝරාගෙන තිබේ.

ඔහු දිනුවද පැරදුනද කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද දායකයෙකුටම ලැබුණ මේ ප්‍රකාශය කියවිය යුතුය. මතකයේ තබාගත යුතුය. උපුටා ගත යුතුය. අවුරුදු ගණනාවකට එය ප්‍රයෝජනවත් වනු ඇත. වැදගත් සියළුම කරුණු ඊට අඩංගුය. ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලම ඊට ඇතුලත්ය. ඉතා වැදගත් ලෙස විග්‍රහ කොට ඇත. සරල මෙන්ම ඉතා පැහැදිළිය.

මම වෙනත් තැනක ලියා ඇති පරිදි මෙම ඡන්දය ඉතාම නීරසය. එය කරුණුවලින් තොර එකකි. මේ ඡන්දයේ මගේ කැමැත්ත එක් කරුණක් කෙරෙහි පමණි. එය නම් එ.ජ.නි.ස. 2/3 වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇද්ද නැද්ද සහ වැදගත් පුද්ගලයින් තෝරා පත්වේවිද යන කාරණාව පමණි. මෙවර මැතිවරණය හරවත් එකක් කරන්නට මිලින්ද උත්සාහ කරයි. ඔහුගේ ප්‍රකාශනය ඕනෑකමින් කියවන්නෝ පොහොසත්, ශක්තිමත් බාහු ඇත්තෝ, කපටියන්, ප්‍රතික්ෂේප කොට යහපත් මිනිසුන් සහ කාන්තාවන් තෝරාගන්නට ඉඩ තිබේ.

එය එසේ වෙනවානම් මිලින්ද ජයග්‍රහණය නොකලත් ඔහුට ආඩම්බර විය හැකිය. ඔහු එ.ජා.පක්ෂයෙන් ඉවත් වූ විට යම් කැලලක් ඇති විය. මම හිතන හැටියට මේ ප්‍රකාශනය ඔහු යලිත් නිර්දෝශී පුද්ගලයෙකු බවට පත්කළේය. ඒ ප්‍රකාශනය ඔහු තේරී පත්වීමට සෑහේද කියා මම නොදනිමි. ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් දෙයක් කරන්නේය. ඒ මග ඔහුගේ පෞරුෂයට අනුකූලය.

මාලින්ද සෙනෙවිරත්න විසිනි

ශක්තිමත් ගමනකට සහජීවනය අත්‍යවශ්‍යයි

නූතන ලෝකයේ හුදකලා සමාජයන් ඇත්නම්  ඒ අතලොස්සකි. අද සෑම සමාජයක්ම විවිධත්වයෙන් යුක්තය. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද, ප්‍රංශයේ පැරිස් නුවරද, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද, විවිධ භාෂා කතාකරන විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුක්ත ජනතාව ජීවත් වෙයි. අපේ රටේද අද දක්නට ඇත්තේ එවැනි බහුජාතික සමාජයකි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීහු අපේ සමාජයේ ජීවත්වෙති.

බහුවිධ සමාජයක් තුල එකිනෙකාගේ අදහස් අවබෝධ කරගනිමින් ගැටුම් ඇති කර නොගනිමින් ජීවත් වීමට ඇති හැකියාව මිනිසා සතු උසස් ලක්ෂණයකි. මනුෂ්‍ය වර්ගයා ගෝත්‍රික බවින් මිදුණ බවට ඇති හොඳම සාක්ෂියක් ලෙසටද එය හැඳින්විය හැකිය. අනෙකාට ගරු නොකරමින් තමන් පමණකැයි සිතමින් කටයුතු කලේ ගෝත්‍රික සමාජය තුලදීය.

අපේ රටේ බහුතරය සිංහල බෞද්ධ ජනතාවය. එහෙත් දමිළ, මුස්ලිම්, ජාතීන්ද හින්දු හා කතෝලික ආගමිකයන්ද මෙරට ජීවත්වෙයි. අනෙක් ජාතිකයාගේ, අනෙක් ආගමිකයාගේ හැගීම්, පිළිබඳ අවබෝධයෙන් ඔවුන් පිළිබඳ ගෞරවයෙන් ජිවත්වන බහුතර පිරිසක් අපේ සමාජයේ වෙසෙති. සහජීවනය නැමති සංහල භාෂාවේ ඇති සුන්දරතම වචනයක් ශ්‍රි ලාංකික සමාජය තුල යථාර්තයක් බවට පත් කර ඇති බවක් පෙනේ.

එකී වචනයේ අර්ථය සුන් කරමින් ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇති වූ බව රහසක් නොවේ. අතීතයේදී අප විසින් ගනු ලැබූ පටු තීරණ මේ සඳහා හේතුපාදක වී ඇති බව පෙනෙන්නට ඇති කාරණාවයි. පටු අවකාශයක් තුල හිඳිමින් පටු තීරණ ගත් විට ලැබෙන ප්‍රතිඵලය ඉතාම කටුක නීරස එකකි. එකී අත්දැකීමකට අපි අතීතයේදී මුහුණ දී වසර ගණනක් එහි ප්‍රතිඵලයද භුක්ති වින්දෝ වෙමු. එහෙත් අද එම තත්ත්වය වෙනස් වී ඇත. කිසිවෙකු උසස් හෝ පහත් නොවන බව මෙරට ජනාධිපතිවරයා පවා විටෙක ප්‍රකාශ කර ඇත.

අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටී. ඉදිරියට යා යුතු ගමන සැකසී ඇත්තේ දහසකුත් ප්‍රශ්ණ, ගැට‍ළු, බාධක මැදිනි. එකී ගමන වඩාත් විශ්වාසනීය එකක් බවට පත් කර ගන්නට නම් අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් අතර ඇති අවබෝධය මෙන්ම ඔවුනට කරන ගරුකිරීමද වැදගත් වන්නේ ය. අද අප දකින අත් විඳින සහජීවනය තවදුරටත් වර්ධනය වනු මිස මඳකින් හෝ පිරිහීමට ඉඩ නොතැබිය යුතුය.

 

අධ්‍යාපනය විප්ලවීය මං ගත යුතුය

අධ්‍යාපනය හරි නම් එවැනි අධ්‍යාපනයක් ඇති කිසිම රටකට වරදින්නේ නැත. ඒ මන්ද අධ්‍යාපනය ඒ රටේ කොදුනාරටිය වන නිසාය.

ඇමෙරිකාව සිය අධ්‍යාපනය ගැන ප්‍රශ්න මතු කරන්නේ එරට ශිෂ්‍ය පරපුර පසු බසින නිසාය. චීනය, ඉන්දියාව සහ වෙනත් විදේශීය රටවල ශිෂ්‍යයින් අධ්‍යාපනයෙන් පෙරට එමින් සිටින අතර මේ වර්ධනය එරට නායකයින් දකින්නේ ඇමෙරිකානු ශිෂ්‍ය පරපුර පසුබසිමින් සිටින බවය. ඇමෙරිකාව එදා විද්වතුන්, විද්‍යාඥයින්, සාහිත්‍යධරයින් වෙනත් සෑම විෂයයක් සම්බන්ධයෙන් ඉදිරියේ සිටින නමුත් ඒ තත්ත්වය ඔවුන්ට අහිමි වී ඇති නිසා ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා කෙලින්ම කථාකලේ සිසු පරපුර උනන්දු කරවීමටය. එංගලන්තයත් එවැනි තත්ත්වයක පසුවෙයි. ඒ නිසා අධ්‍යාපනය නිවැරදි කර ගන්න මෙන්ම දක්ෂ ශිෂ්‍යයින් පෙරට ගෙන ඒමට සහ පාසැල් වියෙහි සිටින සෑම ශිෂ්‍යයෙකුටම ඉගෙන ගන්න හැකි පරිදි පහසුකම් ඇති කරන්න එරට ක්‍රියා කරගෙන යයි.

විද්‍යාව, තාක්ෂණය සහ නිෂ්පාදන රටාවත් වෙනස් වෙනවා සමග අධ්‍යාපනයද ඒ සමානව වෙනස් විය යුතු වන්නේය. පාසැල් විෂයයන් සහ ඒවා උගන්වන ක්‍රම වෙනස් විය යුතු වන්නේය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා වූ ආයතන පමණක් නොව පර්යේෂණ සහ නිර්මාණශීලී කටයුතුවල නිරත වී රටට අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කළ යුතුය. යම් රටක හැදියාව බිහි වනනේ නිසි අධ්‍යාපන ක්‍රම තුලිනි.

කොටින්ම කියතොත් රටක අධ්‍යාපනය විසින් ඒ රට තුල දැහැමි සමාජයක්, නිර්මාණශීලී පුරවැසියන්, දැනුවත් ජනගහනයක්, තෘප්තිමත් ජනතාවක් ඇති කළ හැකිය.

මෙම කටයුතු ගැන මෙසේ ලියන විට සිතට එන කරුණක් ඇත. දෙමව්පියන්, ආගමික නායකයින් සහ සංවිධාන, විද්වතුන්, තාක්ෂණ සහ විද්‍යා උගතුන් සම්බන්ධකර ගෙන “අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක්” සදහා කටයුතු කිරීමට ප්‍රතිඥා දෙන න්‍යාය පත්‍රයක් මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබිණ. මෙම න්‍යාය පත්‍රය මහා සංඝරත්නයට පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක මිලින්ද මොරගොඩ මහතාය. පාසැලක ප්‍රමුඛතාවන් තීරණය කිරිම හා අධීක්ෂණය සදහා දෙමාපියන් සහ ප්‍රජාව සවිබල ගැන්වීම, පාසැල් විෂය මාලාවට ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම, ප්‍රජාචාරය පිළිබද විෂයයන් ඉගැන්වීම ඇතුලත් කිරීම, ප්‍රධාන ආගම් හා සබැදි ලාභ නොලබන නව ප්‍රජා පාසල් පිහිටුවීම, ලාභය අරමුණු කර නොගත් නිසි මාර්ගෝපදේශ හා ප්‍රමිතීන්ට අනුකූලව උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම සදහා ආගමික නායකයින් සහ සාකච්ඡා කිරීම යන මේ අරමුණු එම න්‍යාය පත්‍රයට ඇතුලත්ය. පෙරට එන ලෝකය දැනුවත්, විද්වත්, බුද්ධිමත්, තාක්ෂණික හැකියාවලත්, තරගකාරිත්වයෙන් මුවහත් වූ අයගේ ලෝකයයි. ඒ සදහා අධ්‍යාපනය විප්ලවීය මං ඔස්සේ වර්ධනය විය යුතුය.

JPAGE_CURRENT_OF_TOTAL