Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: නව පුවත් කතුවැකිය

කතුවැකිය

බොරුවට ආයුෂ නැත

ගුණයහපත්කමින්, නුවණින් අඩු රූමත් තරුණියක් විවාහ වූ විට ගමේ ගොඩේ වැඩිහිටියන් පවසන්නේ මෙවැන්නකි.

“පව් අහිංසකයා. පිට පොත්තට රැවටිලා” කියාය. පිට පොත්ත යනු ඇයගේ මතුපිට ස්වරූපයයි. පාට කෙතරම් සුන්දර වුවද, ඇයගේ අභ්‍යන්තරය සුන්දර නොවේ. කොතරම් තිත්ත වුවද සත්‍යය එයයි.

දැන් අපේ සමාජයද එවැනි යැයි සිතේ. එලෙස සිතෙන්නේ ඇයි?

අපේ රටේ දේශපාලකයින් යැයි කියා ගන්නා පිරිස අද අපට පෙන්වන්නේ කුමක්ද? “අපේ රට හෙට සුරපුරයක් ලෙසය” තවත් පැහැදිලිව කීවොත් එය මෙලෙසය.

අද අපේ රටේ කිසිම ආර්ථික ප්‍රශ්ණයක්, රැකියා ප්‍රශ්ණයක් නැත. රට උපයන ආදායම, රටට ලැබෙන ආධාර සමානවම බෙදී යයි. වෘත්තිකයන්ට ගැටළු නැත. සෞඛ්‍ය අංශයේ ගැටළු නැත. අධ්‍යාපනය නිරවුල්ය. නිවැරදිය. සාහිත්‍ය, කලාව ඉතා ‍ඉහළ මට්ටමක පවතී. දියුණු කෘෂිකර්මාන්තයක් ඇත. ජනතාව කිසිදු අපහසුවකින් තොරව තුන්වේලම හොදින් කා බී සතුටින් සැපෙන් ජීවත්වෙයි. සමාජ සාධාරණකම් ඉහළය. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියන්නට, කියන්නට හැකිය. කිසිවකු පැහැරගන්නේ නැත. මරා දමන්නේ නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයි. විනය ඉතා ඉහළය. ඉදින් මෙවන් රටක් ලෝකයේ කොහේ නම් ඇතිද?

මේ සියළු කාරණා අද මැතිවරණ වේදිකාවල සජීවීකරණය වෙයි.

එහෙත් මේ සියල්ල යටින් ඇති සමාජය දෙස මදක් බැලීමට හැකිනම් මේ සියල්ල ප්‍රෝඩාකාරී මවාපෑම් බව මොනවට පැහැදිලි වනු ඇත. අද මෙරට නීතිය බිදවැටී ඇත. බොරුව හා රගපෑම සාර්ථකව සිදුවෙමින් පවතී. ප්‍රතිපත්ති නැත. පැලැස්තර ඇත. ඒ නිසා ගැටළු වලට විසදුම් අවශ්‍ය නැත. සාහිත්‍ය, කලාව බොහෝ ලාභ වී ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යන් පවතින්නේ අතිශයින් අභියෝගකාරී තත්ත්වයකය. සමාජය පුරා පැතිර ඇති අසහනයන් පිටවන්නේ විවිධාකාර ස්වභාවයෙනි.

විවිධ දේශපාලන පක්ෂ, දේශපාලකයින් විසින් මවන ලෝකය, සමාජය සුන්දරය. එවන් සුන්දර සමාජයක් අපේ රටේ නිර්මාණය වේයැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙත් මේ ප්‍රෝඩාකාරී රැවටිල්ල තුල එවන් බලාපොරොත්තුවක් තබා ගැනීමද සුදුසු නොවේ. ඔවුන් කියන‍ බොහෝ දේ තුල ඇති බොරුව මතු දිනක නිරාවරණය වනු ඇත.

ඇමරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙකු වන ඒබ්‍රහම් ලින්කන් මහතා මෙවැන්නක් පවසා ඇත. “ජනතාව රැවටිය හැක්කේ එක් වතාවක් පමණි. හැමදාම හැමවිටම රැවටිය නොහැක”

එය සැබෑවකි. බොරුවට ආයුෂ නැත.

සමාජ පරිහානිය ගැන තවත් ඉගියක්

මීට දින කීපයකට පෙර ඇසුණු පුවතක් නිසා මුළු රටම කම්පාවට පත්විය. ඒ පුවත මෙසේය.

“කවුදෝ ගෑණියෙක් දරුවෙක් කළු ගඟට විසිකරලා.”

මේ ගැන ඇසූ බොහෝ දෙනෙක්‍ මෙසේ කියනවා ඇසිණි.

“අම්මලද මුන්?  හොදක් නම් වෙන්න එපා මේ වගේ ගෑණුන්ට.”

මේ සිදුවීම මෑතකදී අසන්නට දකින්නට ලැබුණ සිදුවීම් වලින් එකක් පමණි. මෙම සිදුවීමට අමතරව තවත් මෙවැනි සිදුවීම් ගණනාවක්ම අසන්නට ලැබුණි. දරුවෙකු කැලයට විසිකල මවක්, බඩඉරිඟු ගෝනියක දරුවකු හැංගූ මවක්, දරුවන් තිදෙනෙකු දමාගිය මවක් ආදී වශයෙන් එම සිදුවීම් පෙලගැස්විය හැකිය.

මුළු මහත් සමාජයම මේ කාන්තාවන්ට ඇඟිල්ල දිගු කරමින් හිදී. ඔවුන් දරු සෙනෙහස නොදැනෙන ගැහැණුන්ය. නපුරු ගැහැණුන්ය. යක්ෂණියන්ය. සමාජය පවසන්නේ එලෙසය.

“ඔවුන් වැරදිකාරියන්. ඔවුන් එල්ලුම්ගස් යැවිය යුතුයි.” තවත් අයෙක් එසේ පවසනවා ඇත.

සැබෑය. ඔවුන් වැරැද්දක් කර ඇත. මිනිසෙකු මැරීමද, මරණයට තැත්කිරීමද වරදකි. ඔවුන් ඒ වරද කොට හමාරය. මතුපිටින්  බැලූ කල අපටත්, ඇතැම්විට නීතියටත් පෙනෙන කාරණාව එයයි.

එහෙත් මේ වරද තවත් දෙකොටසකට සමව බෙදී යායුතු බව ඔබට නොහැගේද?

ඉන් එක් කොටසක් වන්නේ මේ කාන්තාවන්ට උපන් දරුවන්ගේ පියවරුය. දරුවකු සාදාගැනීම කාන්තාවකට තනිව කල නොහැක්කකි. හුදෙක් දරුවන් හදන්නට පමණක් දන්නා මේ මිනිසුන් දරුවාගේ මුළු වගකීමම ගැහැණිය පිට පටවන්නට මැලි නොවෙති. ඒ මිනිසා කසිප්පු ගසයි. සූදු කෙලියි. තමාගේ සතුට ගැන පමණක් සිතයි. එපමණක් නොවේ ඇතැම් විට තමාගේ සල්ලාල ජීවිතය පවත්වාගෙන යන්නට මුදල් සැපයිය යුත්තේද බිරින්දෑවරුය. ඉහතින් කී බොහොමයක් කථා වල ආකෘතිය මෙපරිදිය. තම අවශ්‍යතාවය සපුරා ගන්නට පමණක් ගැහැණියක් සමග එක්වන පිරිමියෙකුට තමන්ට දාව උපන් දරුවා පිළිබද ඇතිවන වගකීම ගැහැණියකට ඇති අයිතියට සමාන නොවන්නේද?

පිරිමියෙකු විසින් දරුවන් සමග හුදකලා කරන ගැහැණියක මුහුණ දෙන සමාජයීය ගැටළු සුළුපටු නොවේ. එවන් ගැහැණියකට පිහිටවීමට මේ රටේ දේශපාලන නායකත්වය විසින් නිර්මාණය කල වැඩපිළිවෙලක් හෝ නැත. පවතින ආර්ථික යුද්ධයට ඇය තනිව මුහුණ දිය යුතුය. සමාජ ආකල්ප වල හා සමාජ අසාධාරණයන්හි අභියෝගවලට ඇය තනිව මුහුණ දිය යුතුය. හිතවත් නෑදෑ පිරිසක්, මිතුරු පිරිසක් ඇයට නොසිටින්නේනම්, නූගත්නම්, රැකියා විරහිතනම් සිදුවන හානිය දෙගුණ වෙයි.

අපේ සමාජය අද දැඩි පරිහානියකට පත්වෙමින් තිබේ. එක් අතකින් එය අප මුහුණදෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික පීඩනයේ අනිසි ප්‍රතිඵලයකි. ඉහතින් විස්තර කල ආකාරයේ සමාජ ගැටළු රැසක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. වර්තමාන ශ්‍ර්‍රී ලාංකික සමාජ බිදවැටීම පෙන්වන රතු එළි කිහිපයකි මේ සිදුවීම් දාමය.

මේ ගැන සොයා බලන්නට කෙනෙක් නැත. මෙවන් ගැටළු පිළිබද සංවේදී වෙමින්, ඒවා වඩාත් ගැඹුරින් විග්‍රහ කිරීමේ වගකීම මෙරට විශ්ව විද්‍යාල, ජනමාධ්‍ය භාරගත යුතුව ඇතත් එම ආයතන ද්විත්වයම තම කාර්යභාරය හරිහැටි සිදු නොකරන බවකි පෙනෙන්නේ.  දේශපාලකයන්ට මෙවැනි සමාජ ගැටළු පෙනෙන්නේ නැත. ඔවුන්ට කරන්නට ඊට වඩා වැඩ රාජකාරී තිබේ.

වඩාත් හැගීම්බර සමාජ ව්‍යුහයක ජීවත් වන මේ රටේ බහුතරයක් පොදු මහ ජනතාව මෙවැනි ගැටළු දකින්නේ ඔවුන් විසින් දමා ගත් කණ්ණාඩි වල පැහැයෙනි. මේවා නිවැරදිව අර්ථකථනය කරන්නට හෝ එය සමාජ ගැටළුවක් ලෙස දකින්නට ඔවුන්ට හැකියාවක් නොමැත. මේ නිසා අවසානයේ සිදුවන්නේ මෙම සිදුවීම් වලට සම්බන්ධ කාන්තාවන්ම වරදකාරියන් වීමයි.

තවත් කාන්තා දිනයක්

අද මාර්තු අට වැනිදාය. ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. මින් පෙර ගත වූ සෑම කාන්තා දිනයක්ම ගෙවී ගිය ආකාරයටම මෙවර කාන්තා දිනයද ගත වී යනු ඇත. කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ දිනයක් සැබෑවටම අවශ්‍ය වන්නේ ඇයි? කාන්තාවගේ වටිනාකම ලෝකයට දැන්වීමට සැලැස්වීම මේ දිනයේ අරමුණයි.

කාන්තාව පිළිබද මෙවැනි සටහනක් තැබිය හැකිය. ලෝකයා වේගයෙන් දිව යයි. හති වැටෙයි. හති හරියි. නවතියි. ආයෙත් දුවයි. මේ යන ගමනේ සැනසුමක් සතුටක්, විදීමක් ලබා ගන්නට නම් කාන්තාවක් අහලක පහලක සිටිය යුතුමය. එසේනම් අපට මෙවැන්නක් කිව හැකිය. ජීවිතයේ වෙහෙස නිවන්නේ කාන්තාවයි. ලෝකය නලවන්නේත්, සිසිල් කරන්නේත්, සෞන්දර්ය කරා රැගෙන යන්නේත් කාන්තාවයි. ලෝකයට පැවැත්මක් ඇති වන්නේ කාන්තාවන් සතු මෙකී ගුණාංගයන් ආරක්ෂා කර ගැනීම තුලින් ඇතිවන සමබරතාවය නිසාවෙනි.

අද කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබද මහ ඉහළින් කතාකරනු ලබයි. එය සැබෑවකි. කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් තිබේ. අධ්‍යාපනය, දේශපාලනය, ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය ඇයට හිමිවිය යුතුය. මේ සියල්ලටම අද සමාජයේ දොරටු විවෘතව පවතී. එය කාන්තාවන්‍ ලද මහගු ජයග්‍රහණයකි.

මේ සියළු දේටම වඩා කාන්තාවට කල හැකි වෙනත් කිසිවකුටත් කල නොහැකි කාර්යයක් තිබේ. වඩා යහපත් සමාජයක් බිහිකරනු වස් ඇයට කලහැකි කාර්ය අතිමහත්ය. මවක ලෙස ඇයට කලහැකි කාර්ය අතිමහත්ය. අධ්‍යාත්මිකව පෝෂණය වූ දරුවකු හැදීම එම කාර්යයි. මනුෂ්‍යත්වය හදුනන, සමාජයට ආදරය කරන, අසාධාරණය නොඉවසන, සාධාරණයට හිස නමන, යහපත් ආකල්ප වලින් හෙබි, උත්සාහවන්ත දරුවකු හැදීම යනු අතිශයින් අභියෝගයකි. එකී අභියෝගය ජයගත හැක්කේ මවකටම පමණි. ගැහැණියකටම පමණි. අන් කිසිවකුටත් කල නොහැකි කාර්යයක් ගැහැනියකට කල හැකියයි මේ සටහන ආරම්භයේදීම සදහන් කලේ ඒ නිසාවෙනි.

කාන්තාව විශේෂ තැනැත්තියක් වන්නේ ඇය ලෝකය සනසන නිසාවෙන්ය. ඇය ලෝකය නලවන නිසාවෙන්ය. ඒ සියල්ලට වඩා ඇය ලොව මහා බලවේගයකි. වඩාත් සුවදායී ලෝකයක් තනන්න‍ට ඇය දක්වන සහය සුළුපටු නොවේ. මේ වටිනාකම් කාන්තාව විසින් අවබෝධ කරගෙන කටුයුතු කරන්නේ නම් ඇය ලබන වටිනාකම සුළුපටු නොවේ.

ජනතාවට අවස්ථාවක් උදාවී ඇත

මෙරට කීර්තිමත් දේශපාලකයෙක් එක් දිනක් දුෂ්කර පළාතක සංචාරයක නිරත විය. ගම් වැසියෙක් ඔහුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔය මැතිඇමති වරු පාර්ලිමේන්තුවේ සත්තු වගේ හැසිරෙන්නේ? ඒ අය පාලනය කරන්න කාටවත් බැරිද?” දේශපාලකයාගේ පිළිතුර මෙවැන්‍නක් විය. ‍”කාගෙද වැරැද්ද? ඔය ඔබතුමන්ලම තෝරලා එවන උදවියනේ.....” . මේ සටහන කියවන පාඨක ඔබට සිනහා යනු ඇත. එහෙත් සැබෑවටම අප සිනහා විය යුතුද? හැඩිය යුතුදැයි සිතෙන්නේ දැන්ය. දැන් යැයි කියන්නේ අප විසින් වරක් තෝරා ගත් යලිත් වරක් තෝරා ගැනීමට අවස්ථාවක් පැමිණ තිබෙන අපේ නායකයින් යැයි කියා ගන්නා මේ දේශපාලකයින් පාර්ලිමේන්තුවට රිංගන්නට දරන උත්සාහය දකින විටය.

මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති මහජන නියෝජිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවා ඇත. මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේකෂකයින් සංඛ්‍යාවක් මෙවර මැතිවරණයෙන් වාර්තා වෙයි. එපමණක් නොවේ දිගින් වැඩිම ඡන්ද සලකුණු පත්‍රිකාවද මෙවර මැතිවරණයේදී දැකිය හැක. මේ ආකාරයට මෙවර මැතිවරණය විශේෂතා රැසක් පෙරටු කොට ගෙන ඇති බව පෙනේ.

මේ නියෝජිතයින් විවිධ තේමා පාඨයන්ගෙන් පෙනී සිටිති. එම තේමා පාඨයන්ගේ අර්ථයන් තිව්‍ර කිරීම සදහා විවිධ සංකේතයන්ද භාවිතා කරනු ලබයි. මෙතෙක් සංස්කෘතික ලක්ෂණ දේශපාලනමය කාරණා සදහා යොදාගනු ලැබුණේ අවම වශයෙනි. එහෙත් දැන් දැන් කිසිදු චකිතයකින් තොරව දේශපාලකයින් මෙකී සංස්කෘතික ලක්ෂණ භාවිතයට ගනියි. මේ සියල්ල කරනුයේ කුමක් සදහාද? රට හදන්නට නායකත්වය දෙන්නටය. ඉදින් යම් දිනක බුදුන් වහන්සේගේ රුව පවා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නේ නම් ඒ පිළිබද පුදුම විය යුතු නැත. මක් නිසාද ඔවුන්ට අවශ්‍ය වන්නේ රට හදන්නටය. ඒ වෙනුවෙන් ඔවුන්ට ඇති වුවමනාව පුදුම උපදවන සුළුය.

එහෙත් පුදුමය නම් මෙයයි. මෙලෙස රට හදන්නට, ජනතාවට උදව් කරන්නට ඔවුන් පාර්ලිමේන්තුවටම පැමිණීමට උත්සාහ දැරීමයි. තමන්ගේ වියදමෙන්, ශ්‍රමයෙන් රටේ ජනතාවට උදව් කරන්නට ඔවුන් කැමති නැත. ඒ සදහා පාර්ලිමේන්තුවටම පැමිණිය යුතුමය.

එහෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට කැමති මේ අය ඒ වෙනුවෙන් කරන වැඩ පිළිබද ප්‍රතිපත්තියක් ජනතාව ඉදිරියේ තබන්නේ නැත. න්‍යාය පත්‍රයක් නැත. ඇත්තේ සම්ප්‍රදායි බොරු ගොඩක් පමණි. රට පිළිබද මතයක් ඔවුන්ට නැත. ජනතාව පිළිබද මතයක් ඔවුනට නැත. ඔවුන් විසින් මේ දරන්නේ පටු දේශපාලන අරමුණ ඉටුකරගැනීමට උත්සාහයක් පමණි.

මේ බව මේ රටේ ජනතාව හොදින් අවබෝධ කොට ගත යුතුය. මේ ජනතාව ඇස් ඇරගෙන කල්පනාවෙන් සිටිය යුතු කාලයයි. රට දියුණු කරන්නට භාර දිය යුත්තේ කාටද යන්න පිළිබද ඔවුන් තීරණය කල යුත්තේ වඩාත් කල්පනාකාරීවය. සම්පූර්ණ වගකීම ඇත්තේ ජනතාව අතේය.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු පලක් නැත. උදා වී ඇත්තේ වටිනා අවස්ථාවකි.එයට පැන යන්නට නොදී වටිනා පුද්ගලයින් තෝරා ගත යුතුව ඇත.

ජනතා බලය ජනතාව නොහදුනයි

තවත් මැතිවරණයක් අත ලගටම පැමිණ තිබේ. මේ දිනවල රටේ සෑම නගරයකම, ගමකම, සෑම ගසකම, ගලකම, තාප්පයකම සිනාසෙන මුහණුවල අඩුවක් නැත. උදේ සිටින්නා නොවේ හවසට සිටින්නේ. මාධ්‍ය යොදාගනිමින් බොරු පොරොන්දු දෙන්නටද තවත් නොබෝ දිනකින් ආරම්භ කරනවා ඇත. මේ සියල්ල මේ රටේ ජනතාවට අමුතු දේවල් නොවේ.

දේශපාලකයින් මේ දිනවල ජනතාවට බොහෝ ආදරය කරයි. ඔවුන්ට ජනතාව පෙනෙන්නේ තමන්ගේම සහෝදර සහෝදරියන් ලෙසිනි. ඔවුන් ගෙයින් ගෙට යයි. ජනතාව හමුවී ඔවුන්ගේ සුවදුක් අසයි. ගැටළුවලට වහා විසදුම් සපයයි. එහෙත් මේ සියල්ල තාවකාලිකය. මැතිවරණය ඉවර වූ පසු මේ අපේක්ෂකයින් කොහේද? මේ ජනතාව කොහේද?

අපේ රටේ ඇත්තේ එවැනි පසුබිමකි. ජනතාවද මේ බව දනියි. තමන් රැවටෙන බව දනියි. එසේ දැන දැනත් මෙවැනි දේශපාලකයින් පිළිගනියි. අද දේශපාලකයින් තම ඡන්දය සදහා භාවිතා කරන්නේ සිංහල භාෂාවේ සුන්දරම වචනයි. ජාතියේ අභිමානය, පංචායුධය, අයෝමය ශක්තිය, රටවෙනුවෙන් ලෝකය දිනූ ආදී සුන්දර වචන යොදා ඔවුන් නැති වටිනාකමක් ඇති කර ගැනීමට උත්සාහ දරමින් හිදී. එහෙත් මේ වචන යට පැගවී ඇති ව්‍යාජත්වයත්, මේ මුහුණු යට සැගවී ඇති ව්‍යාජත්වය ජනතාවට වැටහෙයි.

අද ඇතිවී තිබෙන මෙම තත්ත්වය රටට හිතකර නොවේ. දේශපාලකයින් තනි තනිව මහා යුද්ධයක යෙදී සිටියි. ඒ ජනතාව වෙනුවෙන් නොවේ. තමන්ම වෙනුවෙනි. තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් භාෂාවේ නරකම වචන භාවිතා කරමින් වෛරී ලෙස කටයුතු කරන මහජන නියෝජිතයින් ජනතාවට ආදරය කරයි. මේ පරස්පර හැසිරීම් පෙන්වන්නේ දේශපාලකයින් තුල ඇති ව්‍යාජත්වයම පමණි. දේශපාලකයින් යනු ජනතාවගේ සේවකයින්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ඇත්තේ ජනතාවටය. දේශපාලකයින් පත් කරන්නේත් ඔවුන් බලයෙන් පහ කරන්නේත් ජනතාවය. එහෙත් ජනතාව සතු මේ බලය දේශපාලකයින් දන්නේ නැත. ඊටත් වඩා ජනතාව දන්නේ නැත.

අපේ මාධ්‍යයන් කොයිබටද?

“සන්නිවේදනය” මිනිස් ශිෂ්ඨාචාරය නව මගකට යොමු කලේය. මිනිසාගේ දියුණුවීමේ පදනම සන්නිවේදනයේ දියුණුව මත සැකසුනැයි කීම මුසාවක් නොවේ. සන්නිවේදනය දියුණු වෙත්ම මිනිසා දියුණු විය. මිනිසා දියුණු වෙත්ම සන්නිවේදනය දියුණු විය. අද සන්නිවේදනයෙන් තොර කිසිවක් නොමැත. ලොකු කුඩා භේදයකින් තොරව ලෝකයේ සෑම අස්සක් මුල්ලකම එවැනි පසුබිමක් උදා වී ඇත. රූපවාහිණිය, ගුවන් විදුලිය, සිනමාව, පුවත්පත, අන්තර්ජාලය ආදී මාධ්‍යයන් මානව සමාජය අරක්ගත් බවක් පෙනේ.

අද මෙරට සමාජයටද ජනමාධ්‍යයන් විසින් සිදුකරනු ලබන බලපෑම සුළුපටු නොවේ. සමාජය තුල ප්‍රතිරූප මවන්නේ ජනමාධ්‍යයන්ය. ප්‍රතිරූප නැති කරන්නේද ජනමාධ්‍යයන්ය. දේශපාලනය කරන්නේ ජනමාධ්‍යයන්ය. වීරයන් ඇති ‍කරන්නේ ජනමාධ්‍යයන්ය. කොටින්ම කියතොත් සමාජයට අවැසි සියළු දේ ලබා දෙන්නේ ජනමාධ්‍ය බවට අද පත්ව ඇත.

කණගාටුවට කරුණ නම් මෙයයි. මේ සියල්ල කරන අතරතුර ජනමාධ්‍යයන්ට තම භූමිකාව අමතක වීමයි. දේශපාලනයෙන් හා වෙළදාමෙන් තොර කිසිවක් අද ජනමාධ්‍යයන්ට නැත. ඔවුන් ජනතාව වෙනුවෙන් කිසිවක් කරන්නේද නැත. සමාජයේ යථාර්තයෙන් ජනතාව බැහැර කොට මිථ්‍යාව වපුරන්නට අද මෙරට මාධ්‍යන් දායක වී ඇති බව පෙනෙන්නට ඇති කාරණාවයි.

අද මේ ර‍ට සමාජයීය ප්‍රශ්ණ රැසකට මුහුණපා හිදී. දිවිනසා ගැනීම්, මිනීමැරීම්, කෙලවරක් නැතිව සිදුවෙයි. මංකොල්ලකෑම්, හොර, බොරු වලින් අඩුවක් නැත. දුප්පත්කම තුරන්ව ගොස් නැත. දුක් විදින බහුතරයක් වෙසෙන රටකි මේ රට. එවන් රටක ජනතාවට මේ රටේ මාධ්‍යන් සුරපුරයක් මවා පෙන්වයි.

ජනතාවගේ අදහස් කියන්නට, ඔවුන්ගේ මත ප්‍රකාශ කරන්නට අවස්ථාවක් මාධ්‍යයට නැත. දුක් විදින ජනතාව වෙනුවෙන් කතා කරන්නට මධ්‍යයක් නැත. ඔවුනගේ ගැටළු ගැන කතා කරන්නට මාධ්‍යයක් නැත.

දිනුම තරම්ම වගකීමද වැඩිය

ජනාධිපතිවරණය අවසන් විය. ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තේරී පත්විය. දින ගණනක් පුරා රටේ පැතිර ගිය උණුසුම මේ වන විට මදක් තුනී වී යමින් පවතී.

මැතිවරණය පිළිබද විවිධ මතවාද හා විවේචන මේ වන විට පැතිර යමින් පවතී. වර්තමාන ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසන්නේ මේ මැතිවරණය නිදහස් හා සාමකාමී එකක් බවයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ තමන් මෙම මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගන්නා බවයි. මැතිවරණ කොමසාරිස්වරයා සිය අවසන් කථාවේදී ප්‍රකාශ කලේ තමන් මෙම මැතිවරණ කාලය තුල යම් යම් අපහසුතාවයන්ට මුහුණ දුන් බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කොට අවසාන මොහොත වන විට ෆොන්සේකා මහතා එක්තරා හෝටලයක රඳවා තබා ගෙන සිටින බවට අනුර දිසානායක මහතා විසින් මාධ්‍ය හමුවේ තැබුවේය. එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් රජය පවසන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් අතර හමුදාවෙන් නිත්‍යානුකූලව ඉවත් නොවූ සෙබළුන් සිටි බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා හෝටලය වටකල බවත්ය.

සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කොට ඇති බවටද මේ වන විට පුවතක් පැතිර යමින් පවතී. පශ්චාත් මැතිවරණ සමයේදී අපට අසන්නටත් දකින්නටත් ලැබෙන්නේ මෙවැනි තොරතුරුය.

මෙවර මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය දෙස බැලීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා ඇතතේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව පෙනෙන්නට ඇත. එය එසේ වුවද දමිල ජනතාවගේ මනාපය ජෙනරාල් ෆොන්සේකාට ලැබුණේ ඇයිද යන්න පිළිබද සිතා බැලිය යුතුය.

රටතුල නිර්මාණය වී ඇත්තේ මෙවැනි තත්ත්වයකි. පදනම් රහිත හා පදනම් සහිත ආරංචි පැතිර යමින් පවතී. මැතිවරණයෙන් පසුව වුවද රටතුල පැහැදිලි බවක් ඇතිවී නොමැත මේ තත්ත්වය රට ඉදිරියට ගෙනයෑමේදී කෙලෙස අභියෝගයක් වේද යන්න මොහොතක් සිතා බැලිය යුතුය.

දහම් කතිකාවක් ගැන අදහසක්

ඉතිහාසය දෙස විපරමින් බැලූ කල අපට පෙනෙන්නේ මොනවාද? වරින් වර රට තුළ සිදු වූ බිඳවැටීම්ය. දේශපාලනමය වශයෙන් රටක් අගතියට ගිය පසු එරටෙහි අනෙකුත් අංශයන්හි සිදුවන කඩා වැටීම පිළිබඳ අමුතුවෙන් කිවයුතු නොවේ. සමාජයේ වෙනස්වීම් පිළිබඳ අංශුමාත්‍රයක හෝ දැනීමක් ඇති උදවියට එසේ සිතෙනවානම් එය පුදුම වීමට කාරණයක් නොවේ. ලෝකයේ බොහෝ රටවල් මෙම තත්ත්වයට මුහුණ දුන්නත් අපේ රට මුහුණ දෙන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකටය. ඒ කෙසේද?

ලෝකයම අනතුර අභියස

ලෝකයේ එදිනෙදා සිදුවන දේශපාලනමය සංසිද්ධීන් මදක් පසුබා ගොස් ලෝකයට කතා කිරිමට නව තේමාවක් මතු වී තිබේ. මේ දිනවල ඩෙන්මාර්කයේ පැවැත්වෙන කෝපන්හේගන් සමුළුව එම තේමාවයි. මුළු ලෝකයේම වැඩිම අවධානය දිනාගත් තේමාව ලෙස “දේශගුණය” අද කැපී පෙනෙයි.

JPAGE_CURRENT_OF_TOTAL