Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: නව පුවත්

නව පුවත්

ජනතාවට අවස්ථාවක් උදාවී ඇත

මෙරට කීර්තිමත් දේශපාලකයෙක් එක් දිනක් දුෂ්කර පළාතක සංචාරයක නිරත විය. ගම් වැසියෙක් ඔහුගෙන් මෙසේ ඇසීය. “ඇයි ඔය මැතිඇමති වරු පාර්ලිමේන්තුවේ සත්තු වගේ හැසිරෙන්නේ? ඒ අය පාලනය කරන්න කාටවත් බැරිද?” දේශපාලකයාගේ පිළිතුර මෙවැන්‍නක් විය. ‍”කාගෙද වැරැද්ද? ඔය ඔබතුමන්ලම තෝරලා එවන උදවියනේ.....” . මේ සටහන කියවන පාඨක ඔබට සිනහා යනු ඇත. එහෙත් සැබෑවටම අප සිනහා විය යුතුද? හැඩිය යුතුදැයි සිතෙන්නේ දැන්ය. දැන් යැයි කියන්නේ අප විසින් වරක් තෝරා ගත් යලිත් වරක් තෝරා ගැනීමට අවස්ථාවක් පැමිණ තිබෙන අපේ නායකයින් යැයි කියා ගන්නා මේ දේශපාලකයින් පාර්ලිමේන්තුවට රිංගන්නට දරන උත්සාහය දකින විටය.

මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති මහජන නියෝජිතයින් සංඛ්‍යාව 7000 ඉක්මවා ඇත. මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේකෂකයින් සංඛ්‍යාවක් මෙවර මැතිවරණයෙන් වාර්තා වෙයි. එපමණක් නොවේ දිගින් වැඩිම ඡන්ද සලකුණු පත්‍රිකාවද මෙවර මැතිවරණයේදී දැකිය හැක. මේ ආකාරයට මෙවර මැතිවරණය විශේෂතා රැසක් පෙරටු කොට ගෙන ඇති බව පෙනේ.

මේ නියෝජිතයින් විවිධ තේමා පාඨයන්ගෙන් පෙනී සිටිති. එම තේමා පාඨයන්ගේ අර්ථයන් තිව්‍ර කිරීම සදහා විවිධ සංකේතයන්ද භාවිතා කරනු ලබයි. මෙතෙක් සංස්කෘතික ලක්ෂණ දේශපාලනමය කාරණා සදහා යොදාගනු ලැබුණේ අවම වශයෙනි. එහෙත් දැන් දැන් කිසිදු චකිතයකින් තොරව දේශපාලකයින් මෙකී සංස්කෘතික ලක්ෂණ භාවිතයට ගනියි. මේ සියල්ල කරනුයේ කුමක් සදහාද? රට හදන්නට නායකත්වය දෙන්නටය. ඉදින් යම් දිනක බුදුන් වහන්සේගේ රුව පවා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නේ නම් ඒ පිළිබද පුදුම විය යුතු නැත. මක් නිසාද ඔවුන්ට අවශ්‍ය වන්නේ රට හදන්නටය. ඒ වෙනුවෙන් ඔවුන්ට ඇති වුවමනාව පුදුම උපදවන සුළුය.

එහෙත් පුදුමය නම් මෙයයි. මෙලෙස රට හදන්නට, ජනතාවට උදව් කරන්නට ඔවුන් පාර්ලිමේන්තුවටම පැමිණීමට උත්සාහ දැරීමයි. තමන්ගේ වියදමෙන්, ශ්‍රමයෙන් රටේ ජනතාවට උදව් කරන්නට ඔවුන් කැමති නැත. ඒ සදහා පාර්ලිමේන්තුවටම පැමිණිය යුතුමය.

එහෙත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට කැමති මේ අය ඒ වෙනුවෙන් කරන වැඩ පිළිබද ප්‍රතිපත්තියක් ජනතාව ඉදිරියේ තබන්නේ නැත. න්‍යාය පත්‍රයක් නැත. ඇත්තේ සම්ප්‍රදායි බොරු ගොඩක් පමණි. රට පිළිබද මතයක් ඔවුන්ට නැත. ජනතාව පිළිබද මතයක් ඔවුනට නැත. ඔවුන් විසින් මේ දරන්නේ පටු දේශපාලන අරමුණ ඉටුකරගැනීමට උත්සාහයක් පමණි.

මේ බව මේ රටේ ජනතාව හොදින් අවබෝධ කොට ගත යුතුය. මේ ජනතාව ඇස් ඇරගෙන කල්පනාවෙන් සිටිය යුතු කාලයයි. රට දියුණු කරන්නට භාර දිය යුත්තේ කාටද යන්න පිළිබද ඔවුන් තීරණය කල යුත්තේ වඩාත් කල්පනාකාරීවය. සම්පූර්ණ වගකීම ඇත්තේ ජනතාව අතේය.

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු පලක් නැත. උදා වී ඇත්තේ වටිනා අවස්ථාවකි.එයට පැන යන්නට නොදී වටිනා පුද්ගලයින් තෝරා ගත යුතුව ඇත.

මිලින්ද මොරගොඩ සහ ඔහුගේ පුදුම ඡන්ද ව්‍යාපාරය

මිලින්ද මොරගොඩ පුදුම දේවල් කරයි. බොහෝ දේශපාලනඥයන් සහ ඔහු අතර ඇති වෙනස එය යැයි මම සිතමි. ඔහුට ධනය තිබේ. ධනවත් ආධාරකරුවන්ද සිටිති. නමුත් මේ කාලයේ පාර්ලිමේන්තුවට තේරෙන්නට ධනය පමණක් ප්‍රමාණවත් නොවේ. තෝරාගනු ලැබුවත් ඡන්දය ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් ගතහොත් සැම්සන් සිල්වා නිරන්තරයෙන්ම මැතිවරණය සදහා තරග කරන කෙනෙකි. ඔහු විශාල වියදමක් කරයි. නමුත් කිසිදින දිනන්නේ නැත.

මිලින්ද ‍පෝස්ටර්, කටවුට්, බැනර්, රතිඤ්ඤා, ශබ්ද විකාශන  සහ පිරිවර නොතකයි. ඡන්ද නීති නොකඩන දේශපාලකයින් කිහිපදෙනාගෙන් ඔහු ද කෙනෙක් වන්නට හැකිය. ඔහු නීතියේ පවතින අඩුලුහුඩුකම් වලින් ප්‍රයෝජන ගන්නේ ද නැත.

උදාහරණයක් වශයෙන් පෝස්ටර් ප්‍රදර්ශනය නොකලයුතු බව දේශපාලනඥයින් දනිති. එහෙත් ඔවුන්ගේ පෝස්ටර් ඇලවීමට අවකාශය තිබෙන්නේ කොතනද ඒ හැම බිත්තියක්ම විනාශ කරති. ඇතැම් අය ඉතා සියුම්ව කටයුතු කරයි. නාමයෝජනා භාරගෙන අවසාන වන්නටත් පෙර ඔවුන් මේ දේ කරති. ඒ මගින් ඔවුන් තරග බිමට එන බව කල්තියාම ඡන්දදායකයාට ඒත්තු ගන්වයි. නීතියේ නොයෙකුත් අඩුලුහුඩුකම් ඇත. ඒ හැම එකකින්ම ඔවුන් රිංගා යති. මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මිලින්ද වැඩ කරන්නේ වෙනස් ක්‍රමයකටය.

2004 දී මිලින්ද ‍ප්‍රවෘත්ති පත්‍ර දැන්වීම් මාලාවක් පල කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ට කෙලින්ම ලිවීම හැරුණු විට වෙබ් අඩවි වලටද ඔහු දැන්වීම් පල කළේය. මුද්‍රිත දැන්වීම් විශේෂයක් විය. මේ නිසා අළුත් බවක් ඉන් ඇති විය. ඇතැම් අපේක්ෂකයින් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීමට සහ ඔවුන් ජයග්‍රහණය කලේ නැතහොත් ඡන්දදායකයාට ඇතිවන අහිතකර විපාක ප්‍රකාශ කිරීමට පුවත්පත්වල ඉඩ මිළදී ගන්නා විට මිලින්ද ජනතාව හිතන්නට පෙළඹවීමට ඉතා සියුම් කියමන් පාවිච්චි කලේය.

ඩලස් අලහප්පෙරුම පිරිසිදු ඡන්ද ව්‍යාපාරයක් ගෙන යන්නට තෝරාගත් ක්‍රමයට ප්‍රශංසා කරන දැන්වීමක් ඔහු පලකලේය. ඒ අවස්ථාවේදී මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ජනතා සන්ධානයෙන් තරග කල ඩලස් මාතර දිස්ත්‍රික්කය තුල සදාචාරවත් ඡන්ද ව්‍යාපාරයක් ගෙනයන්නට, මඩ ගැසීමෙන් වැලකීමට ඔහුගේ තරගකරුවන් සමග එකගත්වයට පැමිණියේය. 2001 දී ඔහු තරගකලේ නැත. ඒ වන විට ඡන්ද සංස්කෘතිය වෙනස් වී තිබිණ. එක් එ.ජා.ප. අපේක්ෂකයෙක් මෙසේ පෝස්ටරයක් අලවා තිබුණි. “අනේ ඩලස් උඹ හිටියනම්” මිලන්ද මේ අදහස මත ක්‍රියාත්මක විය. ඔහු වෙනස් දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාව වන විට නගරයේ ඉඩ තිබූ තැන් විනාශ කිරිම ඡන්ද ව්‍යාපාරයේ කොටසක්ව තිබීම හෙලාදකිමින් ඔහු දැන්වීම් පලකළේය. දැන් මට මතක නැති වුවත් ඔහුගේ පණිවිඩ ධනාත්මක විය. ඕනෑම කෙනෙකුට එකග වීමට හැකි ඒවා විය. පක්ෂ භේද නොමැතිව මෙකී දැන්වීම්වලට ගරුකරන්නට හැකි විය. ඔහු ජයග්‍රහණය කළේය.

ඉන්පසු නොයෙක් දේවල් සිදුවිය. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන් ගණනාවක් සමග මිලින්ද ආණ්ඩුවට එක්විය. ඔහු සංචාරක ඇමතිවරයා ලෙස පත් කරනු ලැබිණ. මේ කාර්යයේදී ඔහු විධිමත්ව කටයුතු කළේය. හිටපු එ.ජා. පාක්ෂිකයෙකු වශයෙන් පුදුම උපදවන සුළු අන්දමින් ඔහු සංස්කෘතික ජීවන ක්‍රමය ආරක්ෂා කිරීමට කටයුතු කළේය. අපගේ සංස්කෘතික දායාදය විනාශ නොකර, අපගේ ජනතාවගේ සංවේදී බව හා උරුමය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට හැකිය යන පදනම මත ඔහු ක්‍රියා කළේය.

දේශපාලන අර්බුද නිසා මිලින්ද සංචාරක අමාත්‍යංශයෙන් අධිකරණ අමාත්‍යංශයට මාරු කරනු ලැබිණ. මේ අමාත්‍යංශය එතරම් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් වන අන්දමේ කටයුතු කර ජනතාවගේ සහයෝගය ලබාගන්නට එතරම් හැකි එකක් නොවීය. ඔහු වැඩ කළේය. එය පැහැදිලිය. අධිකරණ ක්‍රියාදාමය වේගවත් කොට දසදහස් ගණනකට සහනය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය.

දැන් නැවතත් ඡන්ද කාලයයි. ඔහු දැන් ඉන්නේ එතරම් යහපත් තත්ත්වයක නොවේ. එයට හේතු කිහිපයකි. ඔහු දැන් ඉන්නේ එ.ජා.ප. හි නොවේ. 2004 දී කොළඹ ජනතාවගෙන් ඔහුට ලැබුණ රැල්ල මෙවර ඔහුට ලබන්නට නුපුළුවන. ප්‍රභාකරන් අලියා ලකුණ යටතේ තරග කලානම් කැපුවත් කොළ යැයි සිතන මේ රැල්ල ඔහුට පවා ඡන්දය දෙනු ඇත. මේ අය එවැනි පැලැන්තියකි.

කොළඹ නගරය තුල තිබෙන ආසන එ.ජ.නි. සංධානයේ ආධාර කරුවන්ගේ පිරුණු ඒවා නොවේ. මේ බව මෑතදී පැවති මැතිවරණ වලින් පෙන්නුම් කරයි. දැන් මිලින්ද එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවේ. මේ අය මිලින්ද දකින්නේ පාවාදෙන්නෙකු ලෙසයි. මේ නිසා කොළඹ ජනතාව පොළඹවා ගැනීමට විශාල කාර්යයක් කල යුතුව ඇත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවීම ඒ සමානවම ගැටළු සහිතය. ඔහුගේ වෙනම පක්ෂයක් තිබේ. “ශ්‍රී ලංකා ජාතික සංගමය” එයයි. එය අළුත්ය. ඒ පිළිබද දන්නේ අතලොස්සකි. මිලින්දව මතක තිබුණත් පක්ෂය ඔවුන්ට මතක නැති වනු ඇත.

ජනාධිපතිවරයාට සහයෝගය දී තමන්ගේ කාර්යය නිහඩව ඉටුකල කෙනෙක් හැටියට මතක තිබෙනවාට වඩා ඔහු පක්ෂය හැරගිය කෙනෙකු හැටියට ඔවුන් සිතනු ඇත. ජනතාව අතරට යන්නට අළුත් මගක් සොයා ගන්නට සිදු වන්නේය. ඔහු එය ඉටුකර ඇත. 2004 ඔහු ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයෙන් ඔබ්බට ගොස් ඇත. අළුත් දේශපාලනයකට හඩගා තිබේ. මේ හඩ ඉදිරිපත්කර ඇත්තේ යහපත් සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගැන්වීමට යන ප්‍රකාශනයකිනි.

එක කරුණක් නිසා නොවේ නම් මෙය තවත් ඡන්ද උප්පරවැට්ටියක් ලෙස මම සලකමි. මිලින්ද මෙය නොකර සිටිය යුතුව තිබුණි. පාර්ලිමේන්තුවට යන්නට තවත් විවිධ මාර්ග තිබේ. එමෙන්ම ඔහුට සැහැල්ලුව කටයුතු කරගෙන යාමට හැම හැකියාවක්ම තිබුණද ඔහු වඩාත් දුෂ්කර මාර්ගය තෝරාගෙන තිබේ.

ඔහු දිනුවද පැරදුනද කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද දායකයෙකුටම ලැබුණ මේ ප්‍රකාශය කියවිය යුතුය. මතකයේ තබාගත යුතුය. උපුටා ගත යුතුය. අවුරුදු ගණනාවකට එය ප්‍රයෝජනවත් වනු ඇත. වැදගත් සියළුම කරුණු ඊට අඩංගුය. ප්‍රධාන ක්ෂේත්‍ර සියල්ලම ඊට ඇතුලත්ය. ඉතා වැදගත් ලෙස විග්‍රහ කොට ඇත. සරල මෙන්ම ඉතා පැහැදිළිය.

මම වෙනත් තැනක ලියා ඇති පරිදි මෙම ඡන්දය ඉතාම නීරසය. එය කරුණුවලින් තොර එකකි. මේ ඡන්දයේ මගේ කැමැත්ත එක් කරුණක් කෙරෙහි පමණි. එය නම් එ.ජ.නි.ස. 2/3 වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇද්ද නැද්ද සහ වැදගත් පුද්ගලයින් තෝරා පත්වේවිද යන කාරණාව පමණි. මෙවර මැතිවරණය හරවත් එකක් කරන්නට මිලින්ද උත්සාහ කරයි. ඔහුගේ ප්‍රකාශනය ඕනෑකමින් කියවන්නෝ පොහොසත්, ශක්තිමත් බාහු ඇත්තෝ, කපටියන්, ප්‍රතික්ෂේප කොට යහපත් මිනිසුන් සහ කාන්තාවන් තෝරාගන්නට ඉඩ තිබේ.

එය එසේ වෙනවානම් මිලින්ද ජයග්‍රහණය නොකලත් ඔහුට ආඩම්බර විය හැකිය. ඔහු එ.ජා.පක්ෂයෙන් ඉවත් වූ විට යම් කැලලක් ඇති විය. මම හිතන හැටියට මේ ප්‍රකාශනය ඔහු යලිත් නිර්දෝශී පුද්ගලයෙකු බවට පත්කළේය. ඒ ප්‍රකාශනය ඔහු තේරී පත්වීමට සෑහේද කියා මම නොදනිමි. ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් දෙයක් කරන්නේය. ඒ මග ඔහුගේ පෞරුෂයට අනුකූලය.

මාලින්ද සෙනෙවිරත්න විසිනි

ශක්තිමත් ගමනකට සහජීවනය අත්‍යවශ්‍යයි

නූතන ලෝකයේ හුදකලා සමාජයන් ඇත්නම්  ඒ අතලොස්සකි. අද සෑම සමාජයක්ම විවිධත්වයෙන් යුක්තය. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරද, ප්‍රංශයේ පැරිස් නුවරද, මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද, විවිධ භාෂා කතාකරන විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුක්ත ජනතාව ජීවත් වෙයි. අපේ රටේද අද දක්නට ඇත්තේ එවැනි බහුජාතික සමාජයකි. සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීහු අපේ සමාජයේ ජීවත්වෙති.

බහුවිධ සමාජයක් තුල එකිනෙකාගේ අදහස් අවබෝධ කරගනිමින් ගැටුම් ඇති කර නොගනිමින් ජීවත් වීමට ඇති හැකියාව මිනිසා සතු උසස් ලක්ෂණයකි. මනුෂ්‍ය වර්ගයා ගෝත්‍රික බවින් මිදුණ බවට ඇති හොඳම සාක්ෂියක් ලෙසටද එය හැඳින්විය හැකිය. අනෙකාට ගරු නොකරමින් තමන් පමණකැයි සිතමින් කටයුතු කලේ ගෝත්‍රික සමාජය තුලදීය.

අපේ රටේ බහුතරය සිංහල බෞද්ධ ජනතාවය. එහෙත් දමිළ, මුස්ලිම්, ජාතීන්ද හින්දු හා කතෝලික ආගමිකයන්ද මෙරට ජීවත්වෙයි. අනෙක් ජාතිකයාගේ, අනෙක් ආගමිකයාගේ හැගීම්, පිළිබඳ අවබෝධයෙන් ඔවුන් පිළිබඳ ගෞරවයෙන් ජිවත්වන බහුතර පිරිසක් අපේ සමාජයේ වෙසෙති. සහජීවනය නැමති සංහල භාෂාවේ ඇති සුන්දරතම වචනයක් ශ්‍රි ලාංකික සමාජය තුල යථාර්තයක් බවට පත් කර ඇති බවක් පෙනේ.

එකී වචනයේ අර්ථය සුන් කරමින් ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇති වූ බව රහසක් නොවේ. අතීතයේදී අප විසින් ගනු ලැබූ පටු තීරණ මේ සඳහා හේතුපාදක වී ඇති බව පෙනෙන්නට ඇති කාරණාවයි. පටු අවකාශයක් තුල හිඳිමින් පටු තීරණ ගත් විට ලැබෙන ප්‍රතිඵලය ඉතාම කටුක නීරස එකකි. එකී අත්දැකීමකට අපි අතීතයේදී මුහුණ දී වසර ගණනක් එහි ප්‍රතිඵලයද භුක්ති වින්දෝ වෙමු. එහෙත් අද එම තත්ත්වය වෙනස් වී ඇත. කිසිවෙකු උසස් හෝ පහත් නොවන බව මෙරට ජනාධිපතිවරයා පවා විටෙක ප්‍රකාශ කර ඇත.

අපේ රට තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටී. ඉදිරියට යා යුතු ගමන සැකසී ඇත්තේ දහසකුත් ප්‍රශ්ණ, ගැට‍ළු, බාධක මැදිනි. එකී ගමන වඩාත් විශ්වාසනීය එකක් බවට පත් කර ගන්නට නම් අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් අතර ඇති අවබෝධය මෙන්ම ඔවුනට කරන ගරුකිරීමද වැදගත් වන්නේ ය. අද අප දකින අත් විඳින සහජීවනය තවදුරටත් වර්ධනය වනු මිස මඳකින් හෝ පිරිහීමට ඉඩ නොතැබිය යුතුය.

 

ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්ට භාර දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට අයත් ජනතා නියෝජිතයින් නම් කර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙක්ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ද, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද, ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකා, කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, මහාචාර්ය රජීව විජේසිංහ මෙලෙස ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි. එ.ජ.නි.ස. මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් මැතිවරණ කොමසාරිස් වෙත භාරදෙනු ලැබීය.

ජනතා බලය ජනතාව නොහදුනයි

තවත් මැතිවරණයක් අත ලගටම පැමිණ තිබේ. මේ දිනවල රටේ සෑම නගරයකම, ගමකම, සෑම ගසකම, ගලකම, තාප්පයකම සිනාසෙන මුහණුවල අඩුවක් නැත. උදේ සිටින්නා නොවේ හවසට සිටින්නේ. මාධ්‍ය යොදාගනිමින් බොරු පොරොන්දු දෙන්නටද තවත් නොබෝ දිනකින් ආරම්භ කරනවා ඇත. මේ සියල්ල මේ රටේ ජනතාවට අමුතු දේවල් නොවේ.

දේශපාලකයින් මේ දිනවල ජනතාවට බොහෝ ආදරය කරයි. ඔවුන්ට ජනතාව පෙනෙන්නේ තමන්ගේම සහෝදර සහෝදරියන් ලෙසිනි. ඔවුන් ගෙයින් ගෙට යයි. ජනතාව හමුවී ඔවුන්ගේ සුවදුක් අසයි. ගැටළුවලට වහා විසදුම් සපයයි. එහෙත් මේ සියල්ල තාවකාලිකය. මැතිවරණය ඉවර වූ පසු මේ අපේක්ෂකයින් කොහේද? මේ ජනතාව කොහේද?

අපේ රටේ ඇත්තේ එවැනි පසුබිමකි. ජනතාවද මේ බව දනියි. තමන් රැවටෙන බව දනියි. එසේ දැන දැනත් මෙවැනි දේශපාලකයින් පිළිගනියි. අද දේශපාලකයින් තම ඡන්දය සදහා භාවිතා කරන්නේ සිංහල භාෂාවේ සුන්දරම වචනයි. ජාතියේ අභිමානය, පංචායුධය, අයෝමය ශක්තිය, රටවෙනුවෙන් ලෝකය දිනූ ආදී සුන්දර වචන යොදා ඔවුන් නැති වටිනාකමක් ඇති කර ගැනීමට උත්සාහ දරමින් හිදී. එහෙත් මේ වචන යට පැගවී ඇති ව්‍යාජත්වයත්, මේ මුහුණු යට සැගවී ඇති ව්‍යාජත්වය ජනතාවට වැටහෙයි.

අද ඇතිවී තිබෙන මෙම තත්ත්වය රටට හිතකර නොවේ. දේශපාලකයින් තනි තනිව මහා යුද්ධයක යෙදී සිටියි. ඒ ජනතාව වෙනුවෙන් නොවේ. තමන්ම වෙනුවෙනි. තමන්ගේ ප්‍රතිවාදියා වෙනුවෙන් භාෂාවේ නරකම වචන භාවිතා කරමින් වෛරී ලෙස කටයුතු කරන මහජන නියෝජිතයින් ජනතාවට ආදරය කරයි. මේ පරස්පර හැසිරීම් පෙන්වන්නේ දේශපාලකයින් තුල ඇති ව්‍යාජත්වයම පමණි. දේශපාලකයින් යනු ජනතාවගේ සේවකයින්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය ඇත්තේ ජනතාවටය. දේශපාලකයින් පත් කරන්නේත් ඔවුන් බලයෙන් පහ කරන්නේත් ජනතාවය. එහෙත් ජනතාව සතු මේ බලය දේශපාලකයින් දන්නේ නැත. ඊටත් වඩා ජනතාව දන්නේ නැත.

නාමයෝජනා භාරදීම හෙටින් අවසන්

නාමයෝජන භාරදීම හෙට (26) මධ්‍යහ්න 12.00න් අවසන් වන අතර ‍දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට ප්‍රමාණවත් අයුරින් පොලිස් ආරක්ෂාව යොදා ගැනීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.
හෙට දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්යන් පහසු වන ආකාරයේ වැඩපිළිවෙළක් යොදා ගන්නා ලෙස ද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් 196ක් සහ ජාතික ලැයිතුවෙන් මන්ත්‍රීවරුන් 29ක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත් වේ.

අද නාමයෝජනා භාරදීම්

ටී.එම්.වී.පී. නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් උතුරු පළාත සඳහා නාමයෝජනා භාරදීම අද පෙරවරුවේ සිදුවිය. එහිදී අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටි‍න්නේ මැතිවරණය සඳහා තමන් ප්‍රථම වතාවට ඉදිරිපත්වන බවත් තම බලාපොරොත්තුව වන්නේ උතුරේ ජනතාවට සේවය කිරීම බවත්ය.

මේ අතර දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා භාරදීමද අද පෙරවරුවේදී සිදුවිය. ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සදහා දිවයිනේ ජනප්‍රියතම පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලත්ය. බද්දේගම සමිත හිමි, ප්‍රවීණ රංගන ශිල්පිණී ගීතා කුමාරසිංහ මහත්මිය, ආන්දෝලනාත්මක චරිතයක් වූ නිශාන්ත මුතුහෙට්ටි මහතාද ඒ අතර වෙයි. තම කණ්ඩායමට ශක්තිමත් පිරිසක් සිටින බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට හැකිවනු ඇති බවටත් බලාපොරොත්තු වන බව පියසේන ගමගේ මහතා පවසයි.

මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 54 ක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්කයන්ගෙන් ස්වාධීන කණ්ඩායම් 54ක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ලබන 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.

එසේම පසුගිය 19 වනදා ආරම්භ වූ නාමයෝජනා භාරගැනීම ද 26 වනදා මධ්‍යාහ්න 12.00න් අවසන් වේ.

නාම යෝජනා භාර ගැනීම අද සිට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ට තරග කිරීම සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාරගැනීම අද (19) දින සිට අරම්භවීමට නියමිතය.නාමයෝජනා බාරදීමේ අවසන් දිනය ලබන 26 වෙයි.
නායෝජනා බාරගැනෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

JPAGE_CURRENT_OF_TOTAL