Friday, Sep 10th

Last update:07:21:05 PM GMT

Headlines:
You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස අපේ මා වී යළිත් නැග ඒවි

අපේ මා වී යළිත් නැග ඒවි

සෑම අවුරුද්දකදීම අපේ රටට ආහාර ආනයනය කරන්නට යන වියදම රුපියල් බිලියන සියයක්. එහෙම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව මූලික අර්ථයෙන්ම කෘෂිකාර්මික රටක් යැයි මහ හඩ නගා ප්‍රකාශ කරන යුගයක යි. ඉතා පැහැදිලිවම මෙතැන වෙලා තියෙන්නේ ප්‍රමාණවත් ආහාර සුරක්ෂිත ප්‍රතිපත්තියක් නැතිකම. අතීතයේ අපේ සාම්ප්‍රදායික සමාජ පැවැත්ම තුළ වී බිස්සක් නැති ගෙදරකට හිරයක් (විවාහයක්) දෙන්නවත් කැමති වුණේ නෑ. වී බිස්සක් තියෙනවාය කියන්නේ ආහාර සුරක්ෂිතතාවයක් පවතිනවාය කියන එකයි. අනිත් අතින් 1815 වන තුරුම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු විජාතික බලවේගවලට මේ රට මුළුමනින්ම යටත් කරගැනීමට නොහැකි වුයේ ඔවුන‍්ගේ යුධ ශිල්පීය අඩුපාඩුවක් නිසා නොවේ. අප සතුව මහා ආහාර සුරක්ෂිතතාවයේ පැවැත්ම නිසයි. අද ජී.එස්.පී. + ඇතුළු සකල විධ බලපෑම්වලට මේ රට යටත් වන්නේත් ඒ ආකාරයේ ආහාර (‍පොදුවේ ආර්ථික) සුරක්ෂිත තත්ත්වයක් අප සතුව නැති නිසා යි.

ඒ අනුව “වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි” යන්න අප සතුව පැවති ඒ ප්‍රචලිත ආර්ථික පැවැත්ම පෙන්වා දුන් සංකේතාර්ථයක්. ඒත් අද එය කවි කල්පනාවක්. අපට තිබුණේ ස්වයංපෝෂිත යැපුම් කෘෂිකර්මයක්. ඒ යටතේ වී, කුරක්කන්, අමු, මෙනේරි, කව්පි, මුං, මිරිස් ආදී භෝග වගා වුණා. සෑම වගාවක් ම පරිසරයට හිතකර වූ අතර රෝග හා පලිබෝධ මර්දනයට භාවිතා වුණේ විවිධ කෙම් ක්‍රම.

ඒත් 16 වන සියවසෙන් පසු මේ කියන යැපුම් කෘෂිකර්මය වෙනස් වෙනවා. අලුත්ම තත්ත්වය වුණේ ව්‍යාපාරික කෘෂිකර්මය. තේ, රබර්, පොල්, උක්, කෝපි, කොකෝවා, කුරුදු වැනි කෘෂි බෝගවලට මුල් තැන ලැබෙන අතර මධ්‍ය කදුකරය, පහත් බිම් එලි පෙහෙලි කිරීමෙන් කිසිදු නෛතික විධි විධානයකින් තොරව ඒ සදහා අනුබල ලැබීමෙන් පරිසර අර්බුදයක් ද ගොඩ නැගෙනවා. අද ‍වන විට වගා බිම්වල මතුව ඇති ශාක පෝෂණ ඌනතාවය, ජලය හිගකම, ඒ නිසා දිගින් දිගටම රසායනික පෝර මත යැපෙන්නට සිදු වීම, රෝග පලිබෝධ හා දිලීර මර්දනයට කෘමිනාශක ආනයනය කරන්නට සිදුවීම, අද වන විට මෙරට ආහාර සුරක්ෂිතතාවය බිද දමන ප්‍රධාන පෙලේ ව්‍යාසනකාරක බවට පත්ව තිබෙනවා.

ඊළගට 1960 දශකයේ දී සිදු වූයේ කුමක්ද? වැඩි අස්වනු ලබාදෙන බීජ වර්ග, ශාක ප්‍රභේද වැඩි වටිනාකමක් ලබාගනිමින් ඉදිරියට එනවා. අතීතයේ වූ ඇතැම් ප්‍රභේද මේ යටතේ දී අස්වැන්න අඩුයි කියන තර්කය යටතේ ප්‍රතික්ෂේප වෙනවා. අස්වැන්න වැඩි විය යුතුයි යන්න තමයි ව්‍යාපාරික කෘෂිකර්මයේ එකම සටන් පාඨය.

එතැනදී ඔවුන්ගේ එකම පැහැදිලි කිරීම වුණේ දවසින් දවස මොහොතින් මොහොත ජනගහනය වැඩි වෙනවාය කියන කාරණය යි. ඔවුන් මෙය හැදින්වූයේ “ජනගහන බෝම්බය” කියන අන්වර්ථ නාමයෙන්. නමුත් අද වන විට ලෝක මට්ටමින් පැහැදිලි වෙලා තියෙනවා ඊටත් වඩා දරුණු සාධකයක් මේ සදහා හේතු වෙලා තියෙනවාය කියළා. ඒ තමයි සංවර්ධිත රටවල අධි පාරිභෝජනය. වෙනත් විදිහකට කියනවා නම් ලෝකයේ එක් පාර්ශවයක් අසීමිත ලෙසින් ආහාර අහේනියකට මුහුණ පා සිටියදී තවත් සීමිත පාර්ශවයක් අධික ලෙසින් එහෙමත් නැත්නම් විනාශකාරී ලෙසින් ආහාර ගිලදමමින් සිටිනවා.

අපේ යැපුම් කෘෂිකර්මය විනාශයට පොදු දැවැන්තම කාරණාවක් වන රසායනික පෝර සහ කෘමිනාශක භාවිතය ගැන අමුතුවෙන් පෙන්වා දිය යුතු නෑ. කොහොම වුණත් අද මේ තත්ත්වය ගැඹුරින් සලකා බැලෙමින් පවතිනවා. ප්‍රතිඵලත් අත් කරගෙන තිබෙනවා. ඒ සදහා හොදම උදාහරණයක් තමයි “අලුත් සහල් මංගල්‍යය”. මෙය මෙතෙක් පැවැතුණේ ජාතික උත්සවයක් විදිහට නොවෙයි. තවත් එක උත්සවයක් විදිහටයි. ඒ නිසාම ඒ සදහා ජාතියේ නායකයාගේ සහභාගිත්වය අනිවාර්ය වුණේ නෑ. එහෙම වෙනකොට ජාතික වගකීම කියන දේත් ලිහිල් වෙනවා. කොහොම වුණත් 2009 වසර වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙනවා. අලුත් සහල් මංගල්‍යය ගැසට් කොට ජාතික උත්සවයක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ අනුව පසුගිය වර්ෂයේ අලුත් සහල් මංගල්‍යයට ජනාධිපතිවරයා සහභාගි වෙනවා. නමුත් එතැන වැදගත්ම කථාව තමයි ජාතියේ නායකයා සහභාගි වූ ඒ ජාතික උත්සවයේදී උපයෝගී කරගත්තේ විදේශීය සහල් ප්‍රභේදයක් නොවෙයි. දේශීය සහල් ප්‍රභේදයක්. ඒ තමයි මා වී. අපේ සාම්ප්‍රදායික රතු නිවුඩු සහල් විශේෂයකට තමයි මා වී කියලා කියන්නේ. මේ බව අපත් සමග පවසන්නේ හේමන්ත අබේවර්ධන. ඔහු නියෝජනය කරන දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය තමයි අලුත්ම අලුත් සහල් මංගල්‍යයක් මේ රටේ නිර්මාණය දායක වන්නේ.

ඒත් සමගම 2007 සැප්තැම්බර් 3 දා දේශීය ආහාර නිෂ්පාදන දිරි ගැන්වීමේ ජාතික මෙහෙයුම (2007 – 2010) ප්‍රතිපත්ති සහා උපාය මාර්ග යටතේ පාරම්පරික වී වර්ග සහ වගා තාක්ෂණයෙන් යළි භාවිතා කිරීම යෝග්‍ය උපායමාර්ගයක් විදිහට නිර්දේශ කරලා තියෙනවා. කොහොම වුණත් මේ කටයුතුවල අනාගත සාර්ථකත්වය පිළිබදව දිගින් දිගටම අවදියෙන් සිටීමට “සන්නස” බලාපොරොත්තු වෙනවා.