1990 අවුරුද්දේ එක් අපූරු පුවත්පත් වාර්තාවක් පළවුණා. එයින් කියැවුණේ බොරැල්ල කනත්ත අසල ප්‍රදේශයේ නලමාර්ගයක් වෙනුවෙන් පොළව කනිද්දී එහි යටි පස් තට්ටුවෙන් මුහුදු වැලිත් සිප්පිකටුත් ගොඩ දැමුණා ය කියලයි. පසුව ඒ පිළිබදව නිරීක්ෂණය කළ භූ විද්‍යාඥයෝ එදා පෙන්වා දුන්නේ ඒ මුහුදුවැලි සහ සිප්පි කටු ඉපැරණි වෙරළකට අයත් වෙනවාය කියලයි. ඒ විතරක් නෙවෙයි ඒ ආශ්‍රිතව තැන්පත්ව තිබුණ මඩ තට්ටු ඉපැරණි යුගයක කලපුවකට අයත් බවද හදුනාගෙන තියෙනවා.
මේ අනුව අද අපිට මේ ප්‍රදේශය බොරැල්ල කනත්ත වුණත් එක්තරා යුගයකදී මේ ප්‍රදේශය සාගරයට අයත් ප්‍රදේශයක් වූ බව පැහැදිලියි. ඒත් කාලයාගේ ඇවෑමෙන් මේ සාගර ජලය බොරැල්ල ප්‍රදේශය අත්හැර පසුබැස යද්දී ඒ ප්‍රදේශය කිවුල් දිය රැදුණ කලපුවක් වශයෙන් ඉතිරි වෙන්න ඇතැයි අනුමාන කෙරෙනවා.
තවද මෙවැනිම උදාහරණ පුත්තලම, මීගමුව, නැගෙනහිර වෙරළ, කුමන මෙන්ම ඊසාන දිග වෙරළ කල්කුඩාවලදීත් හමු වී තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය පවතින්නට ඇත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර යැයිද උපකල්පනය කෙරෙනවා. සාමාන්‍යයෙන් එතැනදී කාලය සොයාගන්නට අපට උපකාර වෙන්නේ සිප්පි කටු බවත් කියන්න ඕනේ. එසේ සොයා ගන්නා වයස පදනම් කරගෙන වෙරලේ වයසත් ආසන්න වශයෙන් ගණනය කෙරෙනවා. මේ ආකාරයෙන් කාලය නීර්ණය කිරිම නූතන විද්‍යාවේදී හදුන්වන්නේ අංගාර කාල නීර්ණය යනුවෙනුයි.
මිහිතලයේ උණුසුම්වීම නිසා සාගර මට්ටමේ ඉහළ යාමක් ගැන අද අපි කථා වෙනවා. ඒත් ඉහත නිදර්ශන අපට පෙන්වා දෙන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලිනුත් සාගර මට්ටම ඉහලට නැග අද ගොඩබිම් වශයෙන් පවතින ප්‍රදේශ ආක්‍රමණය කරලා තියෙනවාය කියලයි. මේ ආකාරයෙන් එක් එක් කාලවකවානු තුළ සිදුවූ සාගර මට්ටම ඉහළ යෑම කියන ක්‍රියාවලිය තුළ විටින් විට ගොඩබිම් සාගර ප්‍රදේශ බවටත් සාගර ගොඩබිම් ප්‍රදේශ බවටත් පත්වීම සිදුවෙලා තියෙනවා. එදා සාගර බිමක් වූ බොරැල්ල කනත්ත ප්‍රදේශය අද ගොඩබිමක් වන්නේ ඒ අනුවයි.
මේ පිළිබද වාර්තා අපට පෙන්වා දෙන අන්දමට සමුද්‍රික තටාගයේ රැදී තිබුණ මුහුදු මට්ටම මීට වසර 13,000 කට පෙර කාලයකදී ඉහළ නැග තිබෙනවා. ඒ අනුව ඒ කාලයේදී ශ්‍රී ලංකාවට මීට වඩා විශාල ගොඩබිම් ප්‍රදේශයක් හිමිවෙලා තියෙනවා. එයට හේතුව වශයෙන් හදුනාගෙන තියෙන්නේ මුහුදු මට්ටම දැනට පවතින මට්ටමට වඩා මීටර් 58-60 ක් පමණ පහලින් පිහිටා තිබීම. ඒ වගේම තවත් කාලයකදී ක්‍රමයෙන් ඉහළ නැගි මුහුදු මට්ටම වසර 5000 ක් තරම් කාලයකදී උපරිමය තෙක් නැග පසුව ක්‍රමයෙන් පසුබැස ගොස් අද පවතින තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. නිරිත දිග වෙරලේ ගොඩබිම් පිහිටා ඇති කොරල්පර අපට ඒ බව පෙන්වා දෙනවා.
අද අපි මුහුදු මට්ටමේ ඉහල නැගීම ගැන කථාකරන්නේ මිහිතලය උණුසුම් වීම යන සාධකය මත වුණත් එය කුමක් හෝ හේතුවක් මත සිදුවිය හැකිය යන්න පෘථිවි ඉතිහාසය විසින් අපට පෙන්වා දෙනු ලබනවා. සමහර විට හේතු කීපයක් නිසා වෙන්නත් පුළුවන්.
එවැනි එක් හේතුවක් වශයෙන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පෘථිවියේ කඩොල්ල නිර්මාණය කළ පාෂාණ තට්ටු ඇතැම් විට එහෙට මෙහෙට වීම නිසා ඇති වන ඉඩ ඇහිරීම යි. ඒ ආකාරයෙන් ඉඩ ඇහිරීම නිසා ජල මට්ටම ඉහලට නැගීම සිදු වෙන අතර එය මුහුද ගොඩ ගැලීමක් බවට පත් වෙනවා. ඒ අනුව මුහුද ගොඩ ඒම අප වෙසෙන භූ තලය විවිධ කාල වකවානුවලදී විවිධ ආකෘති වලට වෙන්කර තිබෙනවා.
උදාහරණයක් ලෙස පෘථිවි ඉතිහාසයේ වසර ලක්ෂ 22-18 ක් මෙහා පැත්ත අපි හදුන්වන්නේ ජලයිටොසින යුගය යන නමිනු යි. හොලොසින යුගය කියා හදුන්වන්නේ 20 වන ශතවර්ෂයේ සිට වසර 10,000 ක කාලයට.
මුලින් කියපු ජලයිටොසින යුගය ග්ලැසියර සමයක්. ඒ කාලයේ දී සාගර ජලය අයිස් තට්ටු වශයෙන් තැන්පත් වීම සිදු වූ අතර ඒ නිසාම සාගර ජල මට්ටම පැවතුණේ පහත් අඩියක. මේ අයිස් මිදුන කාලයට තමයි Ice – Age අයිස් යුගය කියා කියන්නේ. ඒ කාලයේ දී අපේ රට වටා ඇති මුහුදු මට්ටම ද පහත බැස තිබුනායැයි උපකල්පනය කෙරෙන අතර අනික් අතින් උත්තර ප්‍රදේශය ඉන්දියානු අර්ධද්වීපයට සම්බන්ධව තිබූ බව ද පැවසෙනවා.
එහෙත් අයිස් යුගයේ අවසානයේදී පෘථිවියට උදාවෙන්නේ පැවැති යුගයට වඩා උණුසුම් අන්තර ග්ලැසියර් සමය යි. ඒ උණුසුම නිසා ඇතැම් අයිස් ප්‍රදේශ දියවීමද සිදුවුණා. එහි ප්‍රතිඵලය වුණේ සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ නැගීම. එතකොට ඇතැම් ගොඩබිම් ප්‍රදේශ වසා ගෙන සාගරය පැතිරෙනවා. මුහුද ගොඩ ගලනවාය කියා සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපි කියන්නේ මේ ආකාරයේ පාරිසරික විපර්යාසයකටයි.


