කාලයකින් වැසි පොදක් නොලද ඒ මහා ජීවප්‍රවාහය විඩාපත් යෝධයෙක් මෙන් බලා සිටියි. එහි නම කන්නෙලියයි. පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2009 වසර අවසානයේ පරිසර මාධ්‍යවේදී හමුව පැවැත්වූයේ ජෛව සම්පත අතින් සිංහරාජ වනාන්තරය ද නොදෙවෙනි කන්නෙලිය නම් ඒ වනාන්තරයේදී යි. වනය පුරා පැවැති වියලි ස්වභාවය නිසා වෙනදා මෙන් සතුන් දක්නට නොලැබුණත් ජල දහරා ඇසුරේ වෙසෙන මසුන්, දුවමින් පනිමින් මෙන්ම සැගවෙමින් සුපුරුදු කෙලි දොලෙන් සිටිනු දකින්නට ලැබුණා. මේ අතර ගස් කදක යටි පැත්තේ එල්ලීගෙන සිටියේ වෙනින් කවුරුවත් නෙවෙයි පිනුම් කටුස්සෙක්.
“පවතින කාලගුණ විපර්යාස නිසා වියලි කලාපය දිගින් දිගටම වියලී යාමේ තර්ජනයෙන් අපේ රටටත් ගැලවෙන්න බැහැ.” එදා රාත්‍රියේ වන නිවහන තුළ දී අමාත්‍යවරයා පුවත්පත් කලාවේදීන් හා පැවැත්වූ සාකච්ඡාවේදී එසේ පැවසුවා.
ඊලගට තෙත් කලාපය තවදුරටත් තෙත් වෙනවා. නිරන්තරයෙන් ම වැසී ඇතිවීමත් සිද්ද වෙනවා. එතකොට මේ අකාරයෙන් වියලි කලාපය දිගටම වියලී යාමෙන් ඇතිවන ජල අර්බුදයත් නිරන්තර වැසි නිසා ජල ගැලීම් වලින් ඇතිවන ආපදාත් ඉදිරි කාලයේ ලෝක පරිසර අර්බුද වශයෙන් හදුනාගෙන තිබෙනවා. මේක බරපතල තත්ත්වයක්.
කන්නෙලිය වනය දකුණු ආසියාවේ ඇති ඒකක ක්ෂේත්‍ර ඵලයක වැඩිම ශාක ඝනත්වයක් ඇති වනාන්තරයක් මෙන්ම මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ද නම් කොට තිබෙනවා.
තවද පහතරට තෙත් කලාපීය දුර්ලභ ජීව විශේෂ ඇති විශාල ප්‍රමාණයක් මේ වනපෙත ඇසුරේ ජීවත් වෙනවා. අනිත් එක තමයි කන්නෙලිය කියන්නේ හුදෙකලා වනාන්තරයක් නෙවෙයි. වනාන්තර සංකීරණයක්. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නාකියාදෙනිය (හෙක්. 2236) කන්නෙලියට දකුණු පසින් පිහිටා තිබෙන එවැනි එක් පරිවාර වනාන්තරයක්. අනිත් වනය තමයි දෙදියගල (හෙක්. 3866) කියන්නේ. 1940 සැප්තැම්බර් මාසයේදී වන රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් වූ එය පිහිටා තිබෙන්නේ ගිනිකොන පාර්ශ්වයේ. මේ ආකාරයෙන් පරිවාර වනාන්තර දෙකක්ද සමගින් වැඩී ඇති මේ මහා වනපෙත සතු මුළු බිම් වර්ග ප්‍රමාණය හෙක්ටෙයාර් 12,216 ක් වෙනවා.
ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශය ලෙසින්ද වටිනාකමක් අත්පත් කොටගෙන තිබෙන මේ මහා වනපෙත තුළ කන්නෙලිය ඇල, උඩුගම දොළ, මෙන්ම හෝම දොළද ඇතුළු ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධ කුඩා ජල දහරා 111 ක් ගලා බසිනවා. ඒ විතරක් නෙවෙයි මීටර් 46 ක් පමණ උසක සිට පහලට ගලා හැලෙන අනගිමල ඇල්ලත් මීටර් 70 ක් පමණ වෙන නාරංගස් ඇල්ලත් වනය පොහොසත් කරන වැදගත් ජල මූලාශ්‍ර දෙකක්.
වනාන්තරයේ පිහිටීම ගත් කළ මීටර් 60 ත් 425 ත් අතර උස් බිම් පරාසයක් තමයි දකින්නට ලැබෙන්නේ. එයින් ප්‍රධාන කදුබිම තමයි කම්බලේ කන්ද ඒ හැරුණ කළ කොන්ඩගල කන්ද, කටු කිතුල්ගල කන්ද, තිරුවානා කන්ද වශයෙන් හැදින්වෙන්නේ සෙසු කදු බිම් ප්‍රදේශ යි.
පහතරට තෙත් කලාපයට අයත් වැසි වනාන්තරයක් වන කන්නෙලියට වාර්ෂිකව මී.මී. 4445 ක වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ අනුව මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වන දීර්ග වැසි සමයකින් මේ වන පෙත පොහොසත්. අනිත් අතින් එයට හේතුව තමයි මෙය නිරිත දිග කලාපයට අයත් වී පිහිටීම. වැසි සමයෙන් පසු පැමිණෙන වියලි කාලයේදී වනාන්තරයේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 27 ක් වෙනවා.
වනය මැදින් ගලා බසින දිය මං ඇසුරේ සාරවත් මීවන ශාක ප්‍රජාවක්ද දක්නට ලැබෙනවා. එති උඩයන්, කෙටල සහ කෙකටිය කියන්නේ ඉන් ප්‍රභේද කිහිපයක්. මහාචාර්ය බී.එස්. සිංහකුමාරට අනුව මේ වන විටත් ශාක විශේෂ 305 ක් හදුණාගෙන ඇති අතර ඉනුත් විශේෂ 155 ක් ම අපේ රටට ආවේනික යි. තවද දැවමය ශාක විශේෂ 234 ක් ඇති අතර එයින් ලංකාවට ආවේණික සංඛ්‍යාව 141 ක් වෙනවා. කෙසේ වුව මේ සියල්ල අතරේ ඇති “මැන්ඩෝරා” නම් ශාක ප්‍රභේදය කන්නෙලිය වනාන්තරයේ දී දක්නට ලැබීම සාඩම්බරයට කරුණක් ලෙසිනුයි පරිසරවේදීන් සලකන්නේ.
වනපෙත සරසන උඩවැඩියා ශාක ප්‍රජාව අතර වැජඹෙන වන රාජ, ඉරු රාජ, නාරිලතා, අපූර්ව සිත්තම් සමූහයක් සේ විටින් විට නෙත හමුවෙනවා.
ඉහතදීත් මතක් කළ මීවන ශාක විශේෂ 22 ක් දැකගත හැකි අතර එයින් විශේෂ 9 ක් ම මෙරටට ආවේණිකයි. ඒ අතර කුඩා හැඩයා, මහ හැඩයා, කුරුළු කූඩු මීවන මෙන්ම ගිනි හොට ඒ අතර විශේෂ අවධානය දිනාගෙන තිබෙනවා.
කන්නෙලිය එක් අතකින් සුන්දර වනාන්තරයක්. අනිත් අතින් ජෛව පර්යේෂණාගාරයක්. කොහොම කොහොම ගත්තත් වනාන්තර යනු අවතක්සේරු නොකළ යුතු මහා ජෛව සම්පතක්.
ඡායාරූප - අරුණී මුතුමලී


