Friday, Sep 03rd

Last update:03:00:19 PM GMT

You are here: විශේෂාංග මහපොළවේ හෙට දවස අනාගත වැසි දිවයින

අනාගත වැසි දිවයින

අද ලෝකයේ දැවෙනම ප්‍රශ්නය දුප්පත්කම නොවේ. අධි පොහොසත් කමයි. ඒ අධික පෙහොසත්කම නිසා ඇති වුන අධි පාරිභෝජනයි.

එදා මෙදාතුර ලෝකය පිලිගත් ආර්ථික විද්‍යාවේ නිර්වචනය වන “සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා සපුරා ගැනීම” යන්න හාස්‍යයට ලක් වන්නේත් එවැනි පසුබිමකි තුළයි. ඒ අනුව ඉහත කියමන එසේ කියන්නා එක්කෝ ආර්ථික විද්‍යාඥයෙක්, එහෙම නැත්නම් මෝඩයෙක් යැයි ද ප්‍රකාශයට පත් වී තිබෙනවා.

ඒ මෝඩ ආර්ථික විද්‍යා න්‍යාය තමයි 2008 දී ලෝක ආර්ථිකය බිමට ඇදල දාන්න හේතු වුණේ. මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළදපොල කඩාගෙන වැටුණා. ඒ කඩා වැටීම මූල්‍ය අනාවැකිවලින්වත් හෙලිදරව් වුණේ නෑ. ඒ මහා මූල්‍ය අවපාතයක් සමාගම අතින් පැත්තෙන් ජලහිගය දේශගුණ විපර්යාස මුල් කරගත් ලෝක පාරිසරික අර්බුදයක් ද නිර්මාණය විම ඇරඹුණා.

ඇමරිකාවේ 300% ක් වූ ජන අනුපාතයක් සිය පාරිභෝජන කටයුතු කරන්න හුරු වෙලා සිටියේ ක්‍රෙඩිට් කාඩ් වලින්, වෙනත් ලෙසකට කියනවා නම් ඔවුන් ඇබ්බැහි වෙලා සිටියේ ණයට කන්න. අවසානයේ දී ප්‍රමාණය ඉක්මවා ගිය පාරිභෝජනයක් තුළ මේ ණය කාඩ් පත් හිරවුණා. ඊළගට නිවාස ණය ගෙවීම් ඇන හිටින තත්ත්වයක්ද මතුවුණා. දැවැන්ත මූල්‍ය සමාගම් බලා සිටිද්දීම ක‍ඩාගෙන වැටෙන්න පටන් ගත්තේ ඒත් සමගමයි. ඩුබායි ගුවන් තොටුපලේ ලෝක ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා 3000 ක් පමණ විකුණන්න නොහැකිව ගොඩ ගැසුනා. කඩා වැටෙන සමාගම් තමන්ට අයත්ව තිබූ වටිනා වාහන තැන තැන අත් හැර දමා තිබුණා.

මේ ආකාරයෙන් කඩා වැටුණ මේ සමාගම් නැවත ගොඩගන්න නම් ට්‍රිලියන 8 ක ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අර්බුදය කියන්නේ එයයි.

මේ ලෝක ආර්ථිකය 86% කින්ම රැදිල තියෙන්නේ පොසිල ඉන්ධන දහනය මතයි. අනිත් අතින් ලෝක පාරිසරික පැවැත්ම එවැනිම ප්‍රතිශතයකින් විනාශ කොට තිබෙන්නේ ත් එම ඉන්ධන දහනය නිසාම තමයි. තවත් ලෙසකට කියනවා නම් මෙය දෙ‍කොන ඇවිලුණ විලක්කුවක්. නොබෝදා අවසන් වුන කෝපන්හේගන් සමුළුව කිසිදු බලාපොරොත්තුවකින් තොරව අවසන් වන්නේත් මේ නිසාම තමයි.

අනික අපේ පෞද්ගලික පැවැත්ම පවා (වර්තමාන අර්ථයෙන්) රැදිලා තියෙන්නේද ඒ පොසිල ඉන්ධන දහනය කිරිම නිසායි. උදාහරණයක් වශයෙන් ඛනිජ තෙල් නිසා අද අපි ලබන ආදායම රුපියල් 100 ක් යැයි සිතුවොත් ඉදිරි අනාගතයේ දී ඛනිජ තෙල් වියෝ වූ විට අපේ ආදායම රුපියල් 10 ක් දක්වා අවම වෙනවා. මෙය සියයට 90 ක කඩා වැටීමක්. මෙය දරාගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.

2015 වසර ලෝක තෙල් නිෂ්පාදනයේ උපරිම අවස්ථාව වශයෙන් හදුණාගෙන තිබෙනවා. එතැනින් එහාට අප ගමන් කරන්නේ පොසිල ඉන්ධන නොමැති කාලයකට යි. ඒ අනුව 2050 වන විට ඛනිජ තෙල් සම්පත අවම ලක්ෂයක් කරා පැමිනෙනවා. එතැන සිට ලෝකයාට සිද්ධ වෙනවා තවමත් සීමිත මටිටමකින් තිබෙන පුනර්ජනනීය බලශක්තිය, සිය සම්පූර්ණ ශක්තිය බවට පත් කරගන්න.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් වුණත් වර්තමාන වැය තත්ත්වයට අනුව අධිකම වැයක් දරන්නට සිද්ද වෙන්නේ සූර්ය බල ශක්තියටයි. එහි අනිත් පැත්ත වන අඩුම මුදලක් වැය වන්නේ මූදුරළ වෙතින් සපයා ගන්නා බල ශක්තියට යි.

සූර්ය බල ශක්තිය ඒකකයටක රු. 80 ක් පමණ.

ගල් අගුරු               ඒකකයක් රු. 30 ක් පමණ.

සුළං, දර               ඒකකයක් රු. 20 ක් පමණ.

මූදූ රළ                 ඒකකයක් රු. 10 ක් පමණ.

ඉහත සටහන තුළ අර්බුදකාරී බලශක්තිය වන්නේ ගල් අගුරු යි. පළමුව එය දිනෙන් දින ඉහළ යන බලශක්ති ප්‍රභවයක් වෙලා තියෙනවා. දෙවනුව මිහිතලය උණුසුම් වීමේ තත්ත්වයට බරපතල දායකත්වයක් මෙම ගල් අගුරු වෙතින් ලැබෙනවා. මේ අනුව ගල් අගුරු කියන්නේ කොයි ආකාරයෙන්වත් බලාපොරොත්තු තබා‍ගත යුතු බලශක්තියක් නොවේ.

ඒ සියලු අර්බුද එසේ ගොඩනැගෙද්දී බිද වැටෙන පරිසරය අති තීරණාත්මක ලෙසින් ලෝකයට අභියෝගයක් එල්ල කොට තිබෙනවා. එහිදීත් ඒ බරපතල අවදානමට පහසු ගොදුරක් වී තිබෙන්නේ දකුණු ආසියානු කලාපයයි. ශ්‍රී ලංකාව අයිති වෙන්නෙත් ඒ කලාපයටම තමයි.

පරිසර විද්‍යඥයින්ට අනුව පවත්නා කාලගුණ විපර්යාස බරපතලම ප්‍රතිඵලය වන්නේ ඉදිරි කාලයේදී තෙත් කලාපය දිගින් දිගටම තෙත් සහිත වීම වගේම වියලි කලාපය නොනැවැත්විය හැකි අකාරයෙන් වියලී යෑම. ශ්‍රි ලංකාව මේ තත්ත්වයේ පහසු ගොදුරක්. ඒ ගැන ලෝක සිතියමේ සමශීතෝෂ්ණ රටක් වශයෙන් සටහන් වූ ශ්‍රී ලංකාව ඉන් පසුව වැසි දිවයිනක් බවට පත්වීම කියන කාරණයක් බවට පත් වෙනවා.

මේ වැසි බහුලබව ආපදා සුලබ පරිසරයක් ඇති කරන බවද පැහැදිලියි. දිගින් දිගටම ඇද හැලෙන වැසි නිසා නාය යෑම් මෙන්ම ගංවතුර තර්ජන ජනතාවට විනාශය සහ මරණය ගෙන එන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ.

ඊලග තත්ත්වය තමයි වියලි කලාපය දිගින් දිගටම වියලී යාම. මෙය දීර්ග නියග වශයෙන් ඇති වීමට නියමිතයි. ජල අර්බුදය ඒත් සමගම ඇතිවන බරපතලම අභියෝගයක් බවට පත් වන අතර අද වන විටත් රජරට ප්‍රදේශය එසේත් නැත්නම් අපේ ශිෂ්ඨාචාරයේ තොටිල්ල ශුෂ්ක වන අයුරු විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. තවද මෙම ශුෂ්ක වීමේ ප්‍රවණතාවය එම ප්‍රදේශයේ මහවැලි ගොවි බිම්වලට බරපතල තර්ජනයක් වීමට ඉඩ තිබෙනවා.

ඇත්තටම මෙතන දී සිද්ද වෙන්නේ දිනෙන් දින ඉහළ යන ගෝලිය උණුසුම කරණ කොටගෙන අධික වාෂ්පීකරණයක් ඇති වීමයි. එනම් පෘථිවි ගර්භයේ ඇති ජලය දිගින් දිගටම ඉහළට වාෂ්ප වීම යි. එහි අනිවාර්ය ප්‍රතිඵල දෙකක් තියෙනවා. පළමුවැන්න නියගය යි. දෙවැන්න නොනවතින වැස්සයි. ඒ අනුව මේ ආකාර දීර්ඝ නියගය, නොනවතින වැස්ස සාධක දෙකක් වශයෙන් ගත් කල එකිනෙකට වෙනස් වුණත් එකම මූලයකින් හටගන්නා තත්ත්වයක් බව තේරුම් ගැනීම වැදගත්.

ඊලගට මෙම අධික උණුසුම දිගින් දිගටම වායුගෝලය රත් කිරිම නිසා එහි හැසිරීම වේගවත් කරනවා. ඒ වේගවත් හැසිරීම තමයි අවසානයේදී මහා සුළි කුණාටු වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ. මේ අනුව නිරන්තරයෙන් ඇතිවන සුළි කුණාටු ද අනාගත‍ ලෝකයේ දුලබ නොවන පාරිසරික හැසිරීම් බවට පත් වෙනවා.

මේ අනුව පැහැදිලිවම ආනගත ලෝකය යැයි කියන්නේ බරපතල පාරිසරික කඩා වැටීමක්. එය නියත වශයෙන්ම ලෝක පැවැත්ම පිළිබද ප්‍රශ්නයක් බවට ද පත් වෙනවා.